2026 FIFA ලෝක කුසලානය: දශක 5කට පසු පාපන්දු ක්‍රීඩකයන්ගේ වේගය සහ උස වැඩි වී තිබේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෆර්නැන්ඩෝ ඩුවාර්ටේ
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
FIFA පිරිමි ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ සුවිශේෂී ගෝල ද්විත්වයක් සලකා බැලූ විට, පාපන්දු ක්‍රීඩාව මෙන් ම ලොව ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩකයන්ගේ ශරීර ස්වභාවය ද කෙතරම් විප්ලවීය වෙනසකට ලක්ව තිබේ ද? යන්න පිළිබඳව මනාව පෙන්නුම් කරයි.
1970 වසරේදී ආතතිමය හා උද්යෝගිමත් තත්පර 30ක කාලයක් තුළ, බ්‍රසීල ක්‍රීඩකයින් 8 දෙනෙකු අතර පන්දුව හුවමාරු වූ අතර, පසුව දකුණුපස පසුපෙළ ක්‍රීඩා කළ කාලෝස් ඇල්බර්ටෝ එල්ල කළ ප්‍රබල පහරකින් ගෝලයක් ලබා ගත්තේ ය.
FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයකදී බ්‍රසීල කණ්ඩායම ඉතාලියට එරෙහිව වාර්තා කළ එම සිව් වන ගෝලය, එම තරගාවලි ඉතිහාසයේ විශිෂ්ටතම අවස්ථාවක් ලෙස අදටත් බොහෝ දෙනාගේ අගැයීමට ලක්වේ.
එහෙත්, දශක පහකට පසු, 2022 අවසන් මහා තරගයේදී ප්‍රංශයට එරෙහිව ආර්ජන්ටිනාවේ ක්‍රීඩකයන් 7 දෙනෙකු හරහා පාපන්දුව හුවමාරු කර ගනිමින් අවසානයේ කණ්ඩායමේ වින්ගර් ලෙස ක්‍රීඩා කළ ඒන්ජල් ඩි මරීයා විසින් ලබා ගත් ගෝලයට ගත වූයේ තත්පර 12ක් පමණි.
ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු මෙන් ම, ව්‍යායාම කායික විද්‍යාව පිළිබඳ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකු වන වෛද්‍ය ඔර්ලන්ඩෝ ලයිටානෝ පවසන්නේ, 1970 වසරේදී වාර්තා වූ ආකාරයේ ගෝලයක් "මේ යුගයේ වාර්තා වීමට නොහැකි," බව ය.
බ්‍රසීල කණ්ඩායමට කාලය හරහා ගමන් කිරීමට හැකි වූයේ නම්, ඔවුන්ගේ එවැනි චලන මෙකල සිටින ප්‍රතිවාදී ක්‍රීඩකයන් මැඩපවත්වනු ඇත. "මේ සඳහා බලපාන ප්‍රධානතම පරතරය දක්ෂතාව නෙවෙයි, ඒකට බලපාන්නේ කායික විද්‍යාව," වෛද්‍ය ලයිටානෝ පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'සෑම අඟලක ම සටනක්'
2014 FIFA ලෝක කුසලාන තරගාවලියේදී බ්‍රසීල ජාතික කණ්ඩායම සමග ද කටයුතු කළ වෛද්‍ය ලයිටානෝ පවසන්නේ, වර්තමාන පාපන්දු ක්‍රීඩකයන් ජීව විද්‍යාත්මක අතින් තම පූර්වගාමීන්ට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් ක්‍රීඩකයන් පිරිසක් බවට පත්ව ඇති බව ය.
ව්‍යායාමවල සහ වෛද්‍ය විද්‍යාවේ පරිණාමට හා පාපන්දු ක්‍රීඩා කරන ආකාරයේ සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් ඉහළ පෙළේ පාපන්දු ක්‍රීඩා පිටියේ සෑම අඟලක ඉඩක් සඳහා ම සටනක් පවතින බව ඔහු පවසයි. "එහි ප්‍රතිඵලයක් විදිහට, නවීන ක්‍රීඩකයින් වේගවත් හා ශක්තිමත් විය යුතු යි."

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පසුගිය දශක 5ක දත්තවලට අනුව, ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයින් පෙරට වඩා උසින් යුක්ත වන අතර, වඩාත් සිහින් සිරුරුවලින් සමන්විත බව එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.
ඔවුන් 1970 දශකයේ සිට 2020 දශකය දක්වා එංගලන්තයේ පළමු පෙළ පාපන්දු තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයින් දහස් ගණනකගේ තොරතුරු සංසන්දනය කර ඇත. ඊට අමතරව, ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කරන ප්‍රිමියර් ලීග් පාපන්දු ක්‍රීඩකයින්ගේ තොරතුරු සංසන්දය කර තිබේ.
මෙම අධ්‍යයනයට අනුව, 1973 සිට 2013 දක්වා කාලය තුළ ක්‍රීඩකයින්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 4කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
පසුගිය දශකය තුළදී ද දැල් රකින්නන් සහ පසුපෙළ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මෙම උස වැඩිවීමේ ප්‍රවණතාව එලෙස ම පැවතිය ද, ඉදිරිපෙළ සහ මැදපෙළ ක්‍රීඩකයින්ගේ සාමාන්‍ය උස සුළු ප්‍රමාණයකින් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇත.
වර්තමාන ඉහළ පෙළේ පාපන්දු ක්‍රීඩකයින් "කෙසඟ සිරුරු සහිත සහ උසින් වැඩි," ක්‍රීඩකයින් බව පර්යේෂකයෝ පවසති.
මෙයින් අදහස් කරන්නේ, ක්‍රීඩකයින් උසින් වැඩි, සිහින්, ශරීරයෙන් සැහැල්ලු පුද්ගලයින් වන අතර දිගු අත් සහ පාද සහිත පුද්ගලයින් බව ය. මෙම ප්‍රවණතාව ශරීර වර්ධක දර්ශකය (RPI) ලෙස හඳුන්වන මිනුමක ඉහළ ලකුණු මගින් පෙන්නුම් කරන අතර, එය පුද්ගලයෙකුගේ උස හා බර සංසන්දනය කර අතර ඔවුන් කෙතරම් සිහින් ද යන්නට වැඩි වැදගත්කමක් ලබා දෙයි.

ක්‍රීඩකයින්ගේ ශරීර හැඩයේ සිදු වී ඇති මෙම වෙනසට හේතුව, වර්තමාන පාපන්දු ක්‍රීඩාංගණ ඉතා උසස් මට්ටමක පැවතීම සහ නූතන පාපන්දු ක්‍රීඩාවේදී ක්‍රීඩකයෙකුට අධික පුහුණුවීම්වල නිරතවීමට සිදුවීම බව ද අධ්‍යයනයේ කතුවරු පවසති.
1970 දශකයේ ශීත ඍතුවේදී ක්‍රීඩා පිටි අධික ලෙස මඩ සහිත වූ නිසා "හොඳින් ක්‍රීඩා කරන්න නම් ක්‍රීඩකයින්ට ශක්තිමත් මස්පිඬු සහිත සිරුරක් තිබීම අත්‍යවශ්‍ය වුණා," මෙම අධ්‍යයනයේ සම කතුවරයෙකු වන සම්මානිත මහාචාර්ය ඇලන් නෙවිල් පවසයි.
නමුත් වර්තමානයේ පවතින හොඳ තත්ත්වයේ ක්‍රීඩා පිටි නිසා, "ඔබට දකින්න පුළුවන් මේ බරින් අඩු, සිහින් සහ දිගු වෙලාවක් ක්‍රීඩා කිරීමට ශක්තිය ඇති ක්‍රීඩකයන්," ඔහු පවසයි.
විශේෂඥයින් පවසන්නේ, ක්‍රීඩකයින් එලෙස වැය කරන ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් යොමු වන්නේ ඔවුන්ගේ වේගය සඳහා බව යි.
ජයග්‍රහණ සඳහා වේගවත් ලෙස කෙටි දුර දිවීම
මෑතකාලීනව සිදුකළ අධ්‍යයන කිහිපයකට අනුව, 1970 සහ 80 දශකවල ක්‍රීඩකයින් පැයට කිලෝමීටර 30 සීමාව පසුකර දිව ගොස් ඇත්තේ, ඉතා කලාතුරකින් වුවත් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රීඩකයින් 10 දෙනෙකු ම පැයට කිලෝමීටර 35කට වඩා වැඩි වේගයකින් දිව ගොස් තිබේ.
තීරණාත්මක සාධකය වන්නේ, වර්තමාන ක්‍රීඩකයින්ට තරගයක් අතරතුර මෙවැනි උපරිම වේගයක් කරා ළඟා වීමට සිදුවන වාර ගණන බෙහෙවින් වැඩි වී තිබීම ය.
"පසුගිය සියවසේ සිටි ඉදිරිපෙළ ක්‍රීඩකයින් දෙස බැලුවොත්, ඔවුන් තරගයේ වැඩි වේලාවක් කළේ පිටිය පුරා ඇවිදීම. නමුත් එක්වර ම ක්ෂණිකව ක්‍රියාත්මක වී ගෝලයක් වාර්තා කිරීමට ඔවුන්ට හැකියාව තිබුණා. නමුත් ඒ තත්ත්වය තවදුරටත් පවතින්නේ නෑ," කොපන්හේගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෙන්ස් බැන්ග්ස්බෝ පවසයි.
යුරෝපයේ පාපන්දු පාලක මණ්ඩලය වන යුරෝපීය පාපන්දු සම්මේලනයේ (UEFA) දත්තවලට අනුව, 2024 වසරේ ජර්මනියේ පැවති පිරිමි යුරෝපීය පාපන්දු ශූරතාවලියේදී ක්‍රීඩකයින් එක් තරගයකදී සාමාන්‍යයෙන් 12 වතාවක් පමණ පැයට කිලෝමීටර 25ක හෝ ඊට වැඩි වේගයකින් දිව ගොස් තිබේ.
මෙලෙස වේගයෙන් දිව යන වාර ගණන ඔවුන් ක්‍රීඩා කරන ස්ථානය අනුව වෙනස් වේ. කෙසේ වෙතත්, පසුපෙළ මැද සහ මැදපෙළ මැද ක්‍රීඩකයින් තරගයකදී සාමාන්‍යයෙන් අවස්ථා 08කදී මෙලෙස උපරිම වේගයෙන් දිව යන අතර, ඉදිරිපෙළ ක්‍රීඩකයින් අවස්ථා 12කදී ද, ෆුල්බැක් ක්‍රීඩකයෝ අවස්ථා 14කදී එලෙස වේගයෙන් දිව යති.
මහාචාර්ය බැන්ග්ස්බෝ පෙන්වා දෙන්නේ, වේගයෙන් දිවීම එක් දෙයක් පමණක් වුව ද, වඩාත් ම වැදගත් වන්නේ එම වේගවත් දිවීම් තරගය පුරා ම නැවත නැවතත් සිදු කිරීමට ඇති හැකියාව බව ය.
"මූලිකව ම, අද කාලේ පාපන්දු ක්‍රීඩාව කියන්නේ [ශරීරය] යථා තත්ත්වයට පත්වීම ගැන ප්‍රශ්නයක් - හැකි තරම් ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමේ හැකියාව," යනුවෙන් හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු මෙන් ම පාපන්දු ශාරීරික යෝග්‍යතාව සහ කායික විද්‍යාව පිළිබඳ ලොව ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකු වන මහාචාර්ය බැන්ග්ස්බෝ පැහැදිලි කරයි.

විශේෂයෙන් ම, පසුගිය වසර 10 තුළ ක්‍රීඩාවේ වේගයේ මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වේගවත් ආක්‍රමණශීලී උපක්‍රම වැඩි වශයෙන් භාවිතා කිරීම ය. එය ක්‍රීඩකයන් පාපන්දුව තණතීරුව හරහා යැවීමට පෙර, ප්‍රතිවාදී කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් පන්දුව ලබා ගැනීමට සාමූහික උත්සාහයන් මෙයින් හැඟවේ.
කෙසේ වෙතත්, සිත්ගන්නා කරුණ නම්, ක්‍රීඩාවේ ක්‍රීඩකයින් ආවරණය කරන දුර ප්‍රමාණයෙහි විශාල වැඩිවීමක් දක්නට නොලැබීම ය.
අධ්‍යයන මගින් යෝජනා කරන පරිදි 1970 දශකයේදී ක්‍රීඩකයෙකු තරගයකදී සාමාන්‍යයෙන් ඇවිදීම, සෙමින් දිවීම හෝ වේගයෙන් දිවීම මගින් ආවරණය කර ඇති දුර ප්‍රමාණය කිලෝමීටර 8.7ක් වූ අතර, 1990 දශකයේදී එය කිලෝමීටර 11.4ක් දක්වා ඉහළ ම අගයකට පත්වූ නමුත් ඉන්පසුව එය ක්‍රමයෙන් පහළ වැටී ඇත. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට අනුව, 2022 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයෙකු තරගයකදී ආවරණය කර ඇති සාමාන්‍ය දුර ප්‍රමාණය කිලෝමීටර 10.6ක් නමුත් ක්‍රීඩා කරන ස්ථානය අනුව එය වෙනස් වී ඇත.
පාපන්දු ක්‍රීඩකයින් සීමාව ඉක්මවා ක්‍රීඩා කරනවා ද?
එමෙන් ම දත්ත මගින් යෝජනා කෙරෙන්නේ ලොව ඉහළ ම පෙළේ ඇතැම් පාපන්දු ක්‍රීඩකයින්ට නිරන්තරයෙන් ක්‍රීඩා කිරීමට සිදුව ඇති බව ය. ලොව පුරා බොහෝ පාපන්දු සමාජ වසරකට තරග 42ක් පමණ ක්‍රීඩා කරන බව අධ්‍යයනවලින් පෙනී යයි.
ලොව ප්‍රමුඛ පෙළේ සුපිරි ක්‍රීඩකයින්ගේ කාර්ය භාරය මීට වඩා බෙහෙවින් වැඩි විය හැක.
උදාහරණයක් ලෙස ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයන්ගේ වෘත්තීය සමිතිය වන Fifpro ප්‍රකාශයට පත් කළ දත්තවලට අනුව, ලිවර්පූල් කණ්ඩායමේ සාමාජික සහ නෙදර්ලන්තයේ සුපිරි පසුපෙළ ක්‍රීඩක වර්ජිල් වැන් දායික් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර පමණක් මෙම තරග කාල පරිච්ඡේදය තුළ තරග 65කට ක්‍රීඩා කර තිබේ. මෙයට ඔහු තම මව් රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 10ක් ද ඇතුළත් ය.
වත්මන් පාපන්දු ක්‍රීඩකයින් මුහුණ දෙන පීඩනය "මීට පෙර මෙතරම් ඉහළ ගොස් නොමැති" බව පවසන Fifpro ක්‍රීඩකයන්ගේ විවේකය සහ යථා තත්ත්වයට පත්වීම වෙනුවෙන් ආරක්ෂිත ක්‍රමවේද වහා වැඩි කළ යුතු බවට බලකර සිටියි.
"ක්‍රීඩකයින් ක්‍රීඩා කරන තරග සංඛ්‍යාව අධික වීම ඔවුන් ආබාධවලට ලක්වීමේ අවදානම සමග ඍජුව ම බැඳී පවතින ගැටලුවක්," මහාචාර්ය බැන්ග්ස්බෝ පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Uefa විසින් සිදු කරන ලද 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, පසුගිය තරග වාර අට තුළ කලවා මාංශ පේශි හානි වීමේ සංඛ්‍යාවේ වැඩි වීම "කණස්සල්ලට" කරුණක් ලෙස හඳුනාගෙන ඇති බව ය. අවස්ථා 10න් 6කදී, ක්‍රීඩකයින් දුවන විට හෝ වේගයෙන් කෙටි දුරක් දිව යන විට අබාධයට ලක්ව තිබිණි. මෙම තුවාලවලට නිශ්චිත හේතුව අධ්‍යයනයෙන් පරීක්ෂා කර නොමැති වුවත්, ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ තීව්‍රතාව සහ කෙටි කාලයක් තුළ තරග විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීම හේතු විය හැකි බව පර්යේෂණයට සහභාගී වූවන් යෝජනා කර තිබේ.
"දැන් කාලේ ක්‍රීඩකයෝ තමන්ගේ සීමාව ඉක්මවා වෙහෙස වෙනවා. යථා තත්ත්වයට පත් වෙන්න ප්‍රමාණවත් කාලයක් නැතිව ඔවුන්ගේ ශරීර වෙහෙසට පත් වෙනවා," මහාචාර්ය ලයිටානෝ පවසයි.
නැගී එන ප්‍රවීණයන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, මෙහි සුබදායී පැත්තක් ද තිබේ. ක්‍රීඩා විද්‍යාවේ දියුණුව, නවීන පුහුණු ක්‍රමවේද, පෝෂණය සහ ශරීර සුවතා ප්‍රතිකාර හේතුවෙන් ඉහළ මට්ටමේ දක්ෂතා දැක්වීමට පාපන්දු ක්‍රීඩකයන්ට දැන් දීර්ඝ කාලයක් හිමිව තිබේ.
ලොව ප්‍රධානතම පාපන්දු සමාජ තරගාවලිය වන UEFA චැම්පියන්ස් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ සාමාන්‍ය වයස 1992 වසරේදී අවුරුදු 24.9 ක් ලෙස සටහන් වුව ද, 2018 වන විට එය අවුරුදු 26.5 දක්වා ඉහළ ගොස් තිබිණි.
FIFA තරගාවලියට අනුව, ඉතිහාසයේ "වැඩි ම වයස්ගත" ක්‍රීඩකයින් පිරිසක් ක්‍රීඩා කළ ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වය ලෙස වාර්තා වූයේ, අවසන් වරට පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි තුන ය. එහිදී 2018 ලෝක කුසලානය ඉතිහාසයේ ඉහළ ම සාමාන්‍ය වයස වන අවුරුදු 27.9 සටහන් කළ තරගාවලිය බවට පත් විය.
ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ දත්ත විද්‍යාඥයෙකු සහ ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය ජෝෂුවා සී. ෆ්ජෙට්සුල් පෙන්වා දෙන පරිදි, 1990 ලෝක කුසලානයට සහභාගී වී තිබුණේ වයස අවුරුදු 35 හෝ ඊට වැඩි ක්‍රීඩකයින් 7 දෙනෙකු පමණි. නමුත් 2022 ලෝක කුසලානයේදී එම සංඛ්‍යාව 41ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
මෙම වසරේ නිල FIFA සංචිත ලේඛන දෙස බැලීමේදී වයස අවුරුදු 35 ඉක්මවූ ක්‍රීඩකයිනව් 72 දෙනෙක් ඇතුළත්ව සිටිති. ඉන් ක්‍රීඩකයින් 8 දෙනෙකු ම වයස අවුරුදු 40 හෝ ඊට වැඩි අය වන අතර, එය මෙතෙක් පැවැත්වුණු සියලු ම ලෝක කුසලාන තරගාවලිවල සිටි එවැනි ක්‍රීඩකයින්ගේ එකතුවටත් වඩා වැඩි අගයකි.
"තම සිරුර ගැන නිසි අවධානයක් යොමු කරන, නිවැරදි පුහුණු ක්‍රමවේද සහ ශරීර සුවතා ප්‍රතිපත්ති අනුගමනය කරන ක්‍රීඩකයින්ට, පෙර පරම්පරාවලට වඩා වැඩි කාලයක් උපරිම දක්ෂතා අතර රැඳී සිටීමේ භාග්‍යයය දැන් උදාවී තිබෙනවා," වෛද්‍ය ලයිටානෝ පවසයි.
ග්‍රැෆික් නිර්මාණය: කැරොලයින් සූසා සහ ඩැනියෙල් ආර්ස් ලෝපෙස්
































