Birth Plan: ඔබේ දරු ප්‍රසූතිය ගැන තීරණ ගත යුත්තේ ඔබ ද? වෛද්‍යවරයා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ගැබිණි මවක සිය දරු ප්‍රසූතිය සිදුවන ආකාරය පිළිබඳව තීරණ ගැනීම සම්බන්ධයෙන් සකසනු ලබන සැලැස්මක් ලෙස සැලකෙන Birth Plan සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සාකච්ඡාවක් මතුව තිබේ.

ඒ, සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝවක් සම්බන්ධයෙන් ආරම්භ වූ විවාදයක් මුල් කර ගනිමිනි.

සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරිකයෙකු වන යශෝධරා පතන්ජලී මේ සම්බන්ධයෙන් වීඩියෝවක් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ අදහස් දක්වා තිබිණි.

වීඩියෝවේ ඇතුළත් වූයේ කුමක් ද?

ඉංග්‍රීසි භාෂාවෙන් ඇය විසින් අදහස් පළ කරනු ලබන වීඩියෝවේ ඇය ප්‍රසූතියට පෙර Birth Plan එකක් සකසා ගන්නා ආකාරය සම්බන්ධයෙන් විස්තර කරයි.

ඒ සඳහා ඇය විසින් ඇගේ දරු ප්‍රසූතියට පෙර සකස් කළ එවැනි සැලසුමක් උදාහරණයට ගෙන පෙන්වන අතර, එහි විවිධ දේ සම්බන්ධයෙන් ඇයගේ තේරීම් සඳහන් විය.

නිදසුනක් වශයෙන් ඇය දරු ප්‍රසූතියට පෙර අතේ කැනියුලාවක් සවි කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි.

දරු උපතක් යනු වෛද්‍ය විද්‍යාත්මක දෙයක් නොවන හෙයින් ඇය එසේ කිරීම ප්‍රතික්ෂේප කළ බව ඇය පවසයි.

එමෙන් ම, දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේදී වේදනා නාශක ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද ඇය සිය සැලැස්මේ සඳහන් කර තිබේ.

දරු ප්‍රසූතිය වන අවස්ථාවේදී එයට සහය වන වෛද්‍ය කාර්ය මණ්ඩලයට එම සැලැස්ම ලබා දීම සිදුවන බව ඇය වීඩියෝවේ විස්තර කරයි.

එහිදී ඇය පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ, යම් කෙනෙකුගේ ශරීරය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය පවතින්නේ තමාට ම බව ය.

මේ නිසා කාන්තාවන් තමන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් වන අයිතීන් සම්බන්ධයෙන් දැනුවත්ව සිටිය යුතු බව ඇය සිය වීඩියෝවේ පවසයි.

මෙම වීඩියෝවේ සඳහන් වන කරුණු සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබූ අතර, බොහෝ වෛද්‍ය කාර්ය මණ්ඩලවල පිරිස් එය විවේචනය කර තිබුණේ ඇය ඒ සම්බන්ධ ප්‍රාමාණික දැනුමක් නොමැති අයෙකු බව පවසමිනි.

තවත් අය පෙන්වා දී තිබුණේ, ශ්‍රී ලංකාවේ ළදරු සහ මාතෘ මරණ අනුපාතිකය වර්තමානයේ පවතින මට්ටමට ගෙන ඒමට දැනට පවතින ක්‍රියාවලීන් හේතු වී ඇති නිසා, යශෝධරා පැහැදිලි කරන ආකාරයට සැලසුම් කිරීමෙන් එම මට්ටම් ඉහළ යාමට ඉඩක් පවතින බව ය.

සමාජ මාධ්‍යයේ පළ කර තිබූ අදහස්

විශේෂයෙන් ම, වෙනත් රටවල්වලදී දරු ප්‍රසූතිය සිදු කළ අය ඔවුන් ඔවුන්ගේ Birth Plan සැකසූ ආකාරය ගැන බොහෝ දෙනෙකු විස්තර කර තිබිණි.

ඔස්ට්‍රේලියාවේදී සිය දරු උපත සිදු කළ කාන්තාවක විස්තර කර තිබුණේ, ඇයගේ Birth Plan එක සැකසීම සඳහා ඔවුන්ගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහය වූ බව ය.

නමුත් දරුවාට වඩාත් යහපත් තේරීම් සිදු කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත අවස්ථාව ලබා දෙමින් ඔවුන් ඇතැම් තේරීම් සිදු නොකළ බව ඇය සඳහන් කර තිබිණි.

එමෙන් ම ඇයගේ දරු ප්‍රසූතිය සිදුවූ අවස්ථාවේදී ඇයට වේදනා නාශක ලබා දීම ඇතුළු ඇතැම් දේ කිරීමට පෙර වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇයගෙන් විමසීමක් සිදු කළ බවත්, එහිදී ඇය ඒවාට අනුමැතිය ලබා දුන් බවත් ඇයගේ අදහස් දැක්වීමේ සඳහන් විය.

නමුත් තවත් අයෙකු සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාවේ රෝගීන් වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න ඇසීමට බියක් දක්වන බව ය.

තව ද ඔහු පෙන්වා දී ඇති තවත් කරුණක් වන්නේ, රජය දැනටමත් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ ලේඛන සිංහල භාෂාවෙන් මහජනතාවට ලබාගැනීමට අවස්ථාව තිබිය යුතු බව ය.

තව ද මෙවැනි කලින් සැලසුම් කිරීමකට අනුව දරු ප්‍රසූතිය සිදු කිරීමට අවශ්‍ය බවට වෛද්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හරහා අනවශ්‍ය අන්දමින් සිසේරියන් සැත්කම් සිදු වන ප්‍රමාණය අඩු වන බව ද යශෝධරාගේ වීඩියෝවේ ඇතුළත් වූ කරුණකි.

මේ සම්බන්ධයෙන් ද මිශ්‍ර අදහස් පළ වී තිබූ අතර, එහිදී ඇතැම් අය පවසා තිබුණේ ඔවුන් සිය කැමැත්තෙන් සිසේරියන් සැත්කම් සිදු කළ බව ය.

තවත් අය ඔවුන්ට වෛද්‍යවරුන් හෝ රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිසේරියන් සැත්කම් කිරීමට යෝජනා කළ බව දක්වා තිබිණි.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය

වර්තමානයේ ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන පවුල් සැලසුම් සේවාවක් පවතින අතර, දරු උපතක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් පවා අලුත විවාහ වූවන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා "නව දිවි සායනය" වැනි සායන පැවැත්වේ.

ගැබ් ගැනීමෙන් පසුව බොහෝ ප්‍රදේශවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් නිරන්තරයෙන් අදාළ ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් පරීක්ෂා කරයි.

එමෙන් ම ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වෙන සායනවලට සම්බන්ධ කර ගැනීම සිදුවේ.

පසුව, ඔවුන්ගේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීමට අවශ්‍ය උපදෙස් ලබා දීම ද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් සිදු කරනු ලබයි.

මවට හෝ දරුවාට අවදානමක් පවතින්නේ නම් මිස රජයේ රෝහල්වල සිදුවන දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කම් හරහා සිදු කිරීම අවම බවත්, බොහෝ මව්වරුන් ස්වභාවිකව දරු ප්‍රසූතිය සිදු කරන බවත් බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ වෛද්‍යවරු පැවසූහ.

සාමාන්‍යයෙන් බොහෝ මව්වරුන් දරු ප්‍රසූති සඳහා යොමු වන්නේ රජයේ රෝහල්වලට ය.

ශ්‍රී ලංකාවේ දරු උපතකදී සිදුවන මාතෘ මරණ අනුපාතිකය 2024දී දරු උපත් ලක්ෂයකට 25ක් වන අතර, ළදරු මරණ අනුපාතිකය සජීවී දරු උපත් 1,000කට 7.2ක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෙබ් අඩවියේ සඳහන් වේ.

ලෝක බැංකු වාර්තාවල සඳහන් වන අන්දමට, 2024 වසරේ ඉන්දියාවේ මාතෘ මරණ අනුපාතය දරු උපත් දහසකට 23ක් වන අතර, ඇෆ්ඝනිස්ථානයේ එම අගය 48කි.

'Birth Plan කියන එක හොඳ ආරම්භයක්'

Birth Plan සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන සාකච්ඡාව හේතුවෙන්, එහි ඇති ප්‍රයෝගිකභාවය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීම සඳහා බීබීසී සිංහල, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විද්‍යායතනයේ සභාපති සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ මහාචාර්ය රුක්ෂාන් ප්‍රනාන්දුපුල්ලේගෙන් විමසීමක් කළේ ය.

"මේ ගැන කතා කරද්දී ඒක අපේ මව්වරුන්ටත් අලුත් දෙයක් වෙන්න පුළුවන්. සමහර විට නොවෙන්නත් පුළුවන්. ඒ වගේ ම අපේ පූර්ව ප්‍රසව සායනටත් මේ Birth Plan කියන එක අලුත් දෙයක්. අලුත් දෙයක් ගැන කතා කරද්දී ඒ ගැන විවිධ මත තියෙන්න පුළුවන්, ඒ වගේ ම විරුද්ධ මත තියෙන්නත් පුළුවන්," ඒ සම්බන්ධයෙන් විස්තර කරමින් මහාචාර්යවරයා විස්තර කළේ ය.

"Birth Plan කියන එක හොඳ ආරම්භයක්, මම හිතන්නේ Birth Plan කියන එක පහු වෙලා හෝ ශ්‍රී ලංකාවේ ඇති වෙන්න ඕනේ දෙයක්."

තව ද වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් විස්තර කරමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, Birth Plan යනු කුමක්දැයි අවබෝධ කර ගැනීම වැදගත් බව ය.

"හැමෝට ම එක ම Birth Plan එක හරියන්නේ නෑ, Birth Plan එක හදද්දී තමන්ගේ රුචිකත්වය අනුව ඒකෙ තියෙන දේවල් වෙනස් වෙනවා," ඔහු පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ නොමැති "පූර්ව ගර්භණී සායන" Birth Plan බොහෝවිට බටහිර රටවල්වල ක්‍රියාත්මක වන බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

එම නිසා ගැබ්ගැනීමට පෙර සිට ම ගර්භණී වීම සැලසුම් කිරීම සඳහා එවැනි සායනයක අවශ්‍යතාවක් පවතින බව ඔහු පවසයි.

ලෙඩක් නෙවෙයි, සාමාන්‍ය කායික විද්‍යාත්මක දෙයක්

එමෙන් ම, මහාචාර්ය රුක්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ පෙන්වා දුන්නේ, දරු උපතක් යනු කායික විද්‍යාත්මක සංසිද්ධියක් බව ය.

"ගොඩක් අයගේ අදහසක් තියෙනවා ගැබ් ගැනීමක් කියන්නේ සාමාන්‍ය දෙයක්, ඒක ලෙඩක් නෙවෙයි කියන එක. ඔව්, ඒක ලෙඩක් නෙවෙයි, සාමාන්‍ය කායික විද්‍යාත්මක දෙයක්. ඒක එහෙම වුණත් දරු උපතක් වුණාට පස්සේ දරුවටත් අම්මටත් හොඳ විදිහට ගෙදර යන්න පුළුවන් වෙයි කියලා හිතුවට ඒක හැම තිස්සෙ ම එහෙම වෙන්නේ නෑ," ඔහු පවසයි.

කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාව දියුණු නොමැති සමයන්හිදී එය වර්තමානයේ තරම් පහසු නොවූවක් බව ඔහු පෙන්වා දෙයි.

"දැනට අවුරුදු දෙතුන් සීයකට කලින් මාතෘ මරණ ගැන කතා කරනකොට, සාමාන්‍යයෙන් දරු උපත් ලක්ෂයකට මව්වරුන් දෙතුන් දාහක් මිය ගියා. උපතේදී මිය ගිය බිළිඳුන් සංඛ්‍යාව ඊට වඩා වැඩියි."

"මේක සාමාන්‍ය කායික විද්‍යාත්මක සිද්ධියක් ලෙස අර්ථ දක්වද්දී අපි වෛද්‍ය විද්‍යාව මේ තරම් නොදියුණු තත්ත්වයකදී තිබුණු ප්‍රතිඵල සහ අද වෛද්‍ය විද්‍යාව දියුණු තත්ත්වයේ තියෙද්දී දකින්න තියෙන ප්‍රතිඵල එක්ක සලකලා බලලා තමයි මේ ඇති වෙලා තියෙන කතිකාවන් සඳහා පදනමක් ගත යුත්තේ. අපි මොන දේවල් කතා කළත් ප්‍රායෝගිකව වෙලා තියෙන්නේ මේක තමයි."

'ලෝකයේ ම සිසේරියන් සැත්කම්වල වැඩි වීමක් තියෙනවා'

සිසේරියන් සැත්කම් වැඩිවීම සම්බන්ධයෙන් විස්තර කරමින් මහාචාර්යවරයා පැවසුවේ, එම තත්ත්වය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ම වැඩි වී ඇති බව ය.

විශේෂයෙන් ම වර්තමානයේ දරුවන් ලැබීමේ වයස ප්‍රමාද වීම සිසේරියන් සැත්කම් ඉහළ යාමට හේතුවක් බව ඔහු පැවසුවේ ය.

"ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ ම සිසේරියන් සැත්කම්වල වැඩි වීමක් තියෙනවා, එක හේතුවක් තමයි ගොඩක් අය දරුවන් ලබා ගන්න පහු කරනවා. එතකොට වයස එක්ක එන සංකුලතා එනවා… දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාවේ දියවැඩියා අවදානම, අධිරුධිර පීඩනය ඇති වීමේ අවදානම වැඩි යි වගේ ම තරබාරුකම නිසාත් අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වයසත් එක්ක අවදානම වැඩි වෙනවා."

තව ද මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, ඇතැම් මව්වරුන් සිසේරියන් සැත්කමක් සිදු කිරීමට ඉල්ලා සිටින බව ය. කෙසේ නමුත් සාමාන්‍ය දරු උපතකට සාපේක්ෂව සිසේරියන් සැත්කමකදී මවට ඇති වන අතුරු ආබාධ ඉහළ බව ඔහු පවසයි.

'අන්‍යෝන්‍ය අවබෝධයෙන් කළ යුතු දෙයක්'

"වර්තමානයේ අපි දැනට පවතින පද්ධතියේ වෙනස් විය යුතු තැන් වෙනස් කරමින් පවතිනවා. සමහර රෝහල්වල දරු ප්‍රසූතිය වෙන අවස්ථාවේදී සැමියාට ළඟ ඉන්න අවස්ථාව දෙනවා. නමුත් පවතින පහසුකම් සහ අනෙකුත් සූතිකාගාරයේ ඉන්න මව්වරුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්නත් අවශ්‍ය වෙන නිසා සෑම රෝහලක ම ඒ පහසුකම දෙන්න අමාරු යි. ඒත් ඇතැම් රෝහල්වල මව විසින් නම් කරනු ලබන කාන්තාවකට ඉන්න අවස්ථාව ලබා දීලා තියෙනවා," වර්තමානයේ රෝහල්වල පවතින තත්ත්වය සම්බන්ධයෙන් විස්තර කරමින් මහාචාර්යවයා පැවසුවේ ය.

තව ද ඔහු පෙන්වා දුන්නේ, දරු ප්‍රසූතිය සඳහා පැමිණෙන මව්වරුන් සමග වඩා හොඳින් කටයුතු කිරීම සඳහා ඊට මැදිහත් වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු කාර්යමණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහන් ද පවත්වන බව ය.

මේ නිසා, මහාචාර්ය රුක්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ පවසන්නේ, සෑම විට ම Birth Plan සැකසීම අන්‍යෝන්‍ය අවබෝධය මත සිදුවිය යුතු දෙයක් බව ය.

එය සෑම විට ම වෙනස් වීමට ඉඩ ඇති බව ඔහු පවසයි.

"වෙනත් රටවල්වලදී අපි දැකලා තියෙනවා Birth Plan එක්ක එන අයගේ ඉල්ලීම් සමහර වෙලාවට අවස්ථාවත් එක්ක වෙනස් වෙනවා. සමහර අය වේදනා නාශක එපා කිව්වත් දරු උපත අතරේදී ඒ අය ඒවා ඉල්ලන්න පුළුවන්. එතකොට වෛද්‍යවරුන් ඒවා ලබා දෙනවා. මේක අන්‍යෝන්‍ය අවබෝධයෙන් වෙන්න ඕනේ වගේ ම වෙනස් වෙන්න පුළුවන් කියන එක තේරුම් ගත යුතු යි," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

"ඒ විදිහට දැනුවත්ව Birth Plan එකකට යන එක ප්‍රශ්නයක් නෑ."

"Birth Plan එකක් ගැන කතා කරද්දී දියුණු රටවල්වල සිදුවන දේවල් තුන්වන ලෝකයේ දියුණුවන රටවල්වලට ඇප්ලයි කරන්න අමාරු යි. අපට තියෙන පහසුකම් ගැනත් අවධානයක් ඇතුව, දෙපැත්තෙන් ම තීන්දු තීරණ ගන්න වෙන්නේ," මහාචාර්යවරයා පැවසුවේ ය.

තව ද ඔහු පෙන්වා දුන්නේ, දරු ප්‍රසූතියකදී දරුවා ගර්භාෂයේ සිට උපත ලැබීමට ගමන් කරන්නේ සෙන්ටිමීටර් 10ක පමණ දුරක් බව ය.

"සාමාන්‍යයෙන් දරු උපතකදී දරුවෙක් ගර්භාෂයේ ඉඳලා ගමන් කරන්නේ සෙන්ටිමීටර් 10ක පමණ දුරක් වුණත්, ඒ පොඩි දුර ගමන් කරද්දී ඕනේ තරම් අවදානම් ඇති වෙන්න පුළුවන්. මේ නිසා මේ දුර දරුවාට ගමන් කරන්න සැලසුම් කරන එක ඉතා හොඳයි වගේ ම, ඒකෙ තියෙන අවදානම් සහගතභාවයත් නිසා වෛද්‍යවරුන්ට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා මම හිතනවා," මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.