2026 පළමු මාස 6 අවසන් වීමට පෙර ඩෙංගු රෝගීන් 40,000 ඉක්මවයි: ඩෙංගු වේගයෙන් ව්‍යාප්ත වීමට බලපා ඇති හේතුව කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

මේ වසරේ පළමු මාස 6 අවසන් වීමටත් පෙර ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 40,443ක් වාර්තා වී ඇතැයි පසුගිය සතියේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ ය.

එමෙන් ම මෙම රෝගය හේතුවෙන් මෙතෙක් මෙම වසරේ මරණ 24ක් වාර්තා වී තිබේ.

මැයි 31 වන විට එනම්, පළමු මාස 5 අවසන් වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,572ක් වූ අතර, එය දින 13ක පමණ කාලයක් තුළදී අසන්න වශයෙන් 7,000කින් පමණ ඉහළ ගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට මදුරුවන්ගෙන් බෝවන රෝග අතරින් වඩාත් ම වේගයෙන් ව්‍යාප්ත වන්නේ, ඩෙංගු රෝගය යි.

ගෝලීයව වසරකට ඩෙංගු අසාදනය වන සංඛ්‍යාව මිලියන 390ක් පමණ වන බවට එම සංවිධානය ගණන් බලා ඇති අතර, නිල වශයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මිලියන 14ක් පමණ වේ.

නිවර්තන කලාපයේ රටවල්වල පැතිරෙන වෛරසයක් වන ඩෙංගු වෛරසයේ කාණ්ඩ 4ක් ඇති අතර, පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ එම කාණ්ඩ 4 ම අසාදනය වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

සෑම ආසාදිතයන් 20කින් එක් අයෙකුට ම මෙම තත්ත්වය බරපතළ විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වැඩි වී ඇත්තේ ඇයි?

පසුගිය වසර 5 සමග සංසන්දනය කර බැලීමේදී 2023 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩි ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර, එම සංඛ්‍යාව 82,956කි.

ආසන්න වසර පහේ අඩු ම රෝගීන් සංඛ්‍යාව ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ, 2021 වසරේදී ය.

එම සංඛ්‍යාව 31,162කි.

කෙසේ වෙතත්, මේ වසරේ මාස 6ක් ගත වී අවසන් වීමටත් පෙර රෝගීන් සංඛ්‍යාව 40,000 ඉක්මවා යාමට බලපෑ හේතු මොනවා දැයි බීබීසී සිංහල ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගරගෙන් විමසීමක් කළේ ය.

"දිට්වා සුළි කුණාටුව නිසා ඒ ඇති වෙච්ච ගංවතුර තත්ත්වයන්, නායයාම් නිසා විශාල කසළ ප්‍රමාණයක් පරිසරයට ඇතුළු වුණා. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගොඩක් තිබුණා අවට පරිසරයේ," අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

"ඒක සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම පළාත් පාලන ආයතනවලට ලොකු අභියෝගයක් වුණා, සැහෙන්න කාලයක් ගත්තා ඒවා පරිසරයෙන් ඉවත් කරන්න. ඒකෙන් රෝගීන් සංඛ්‍යාවත් වැඩි වුණා."

ඉහත කී කරුණ හේතුවෙන් මෙම වසර ආරම්භ වූයේ, ඉහළ මට්ටමක රෝගීන් සංඛ්‍යාවක් සමග බව වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

ඩෙංගු කාණ්ඩ 4න් පසුගිය කාලයේ 'ඩෙංගු 3' කාණ්ඩය වැඩි වශයෙන් පැතිරී ගිය නමුත් මේ වන විට එම කාණ්ඩය සඳහා මිනිසුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගොඩ නැගී ඇති හෙයින්, 'ඩෙංගු 2' කාණ්ඩයේ වැඩි පැතිරීමක් නිරීක්ෂණය වන බව ඔහු පැවසුවේ ය.

ඩෙංගු පැතිරීම සහ කාලගුණික තත්ත්වයන් අතර ඇති සම්බන්ධය

ඉහත සඳහන් කළ ආකාරයට කුණාටු තත්ත්වය හේතුවෙන් ඇති වූ පාරිසරික ගැටලු සහ මේ වසර මුල සිට මේ දක්වා කඩින්කඩ ඇති වූ වර්ෂාපතනය මදුරු ගහනය ඉහළ යාමට හේතුවක් වූ බව වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය.

එම කාලගුණ තත්ත්වය සහ ජනතාවගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් ද මදුරුවන් බෝවන ස්ථාන වැඩි වූ බව ඔහු පැවසුවේ ය.

"අවුරුදු ගාණක් තිස්සේ පෙන්නුම් කරලා තියෙනවා, නිරිත දිග මෝසම් සුළං, ඒ කියන්නේ මැයි, ජූනි, ජූලි ඒ වගේ කාලවලදී [ඩෙංගු] වැඩිවීමක් පෙන්නුම් කරනවා, හැම අවුරුද්දක ම. ඊසාන දිග මෝසම් සුළං, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් කාලයේ නැවත වරක් වැඩිවීමක් වෙනවා," වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

ඒ අනුව සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම සක්‍රිය වී ඇති මෙම කාලයේදී වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන නමුත්, මෙම වසර මුල සිට ම වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම නිසා රෝගීන් සංඛ්‍යාව මේ වසරේදී ඉහළ ගොස් ඇති බව ඔහු පැවසුවේ ය.

කෙසේ නමුත් ඔහු පෙන්වා දෙන්නේ, මදුරුවන් බෝවීමට වර්ෂාව පමණක් හේතු වූ බව පැවසිය නොහැකි බව ය.

"මදුරුවන් බෝවෙන්නේ මදුරුවන්ට බෝවෙන්න ස්ථාන අපි ඇති කරලා දෙන නිසා වැස්සත් එක්ක වතුර ඇවිල්ලා බෝවෙනවා."

ලෝක ඩෙංගු දිනය වන ජූනි 15 දිනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති ලේඛනවල සඳහන් වන ආකාරයට ඩෙංගු වේගවත්ව පැතිරී යාමට දේශගුණික විපර්යාස හේතුවක් වේ.

නිවර්තන කලාපවල ඩෙංගු රෝගය බහුල වීමට උෂ්ණත්වය ඉහළ යාම සහ වෙනස් වන වර්ෂාපතන රටාව බලපා තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් වෙනත් කලාපවල පවා ඩෙංගු පතුරුවන මදුරුවන් සඳහා නව වාසස්ථාන නිර්මාණය වන බව එම සංවිධානය පෙන්වා දෙයි.

මේ වන විට මේ වසරේ ඇති වන ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් සම්බන්ධයෙන් ද අනතුරු අඟවා තිබේ.

එමෙන් ම ජනාකීර්ණ ප්‍රදේශවල දුර්වල කසළ කළමනාකරණය ද මදුරුවන් බෝ වීමට වැඩි ඉඩක් සලසන බව එම සංවිධානය පෙන්වා දෙයි.

'උදේට දත් මදිනවා වගේ නිවස අවට පිරිසිදු කරන්න'

තමන්ගේ නිවස සහ අවට ප්‍රදේශය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ ය.

"හැම දා ම උදේට දත් මදිනවා වගේ දවස ගාණේ පිරිසිදු කිරීම් කරන්න ඕනේ… ඒ වගේ ම මේ මදුරුවෙකුට මීටර් 150-200 අතර දුරක් යන්න පුළුවන් නිසා තමාගේ නිවස අවට විතරක් මදි, අසල්වැසි තැන්වලත් මේ බෝවන ස්ථාන ශ්‍රමදාන මගින් හෝ සතියකට සැරයක්වත් මේ දේවල් ඉවත් කරලා පිරිසිදු කරන්න ඕනේ," අධ්‍යක්ෂවරයා කියා සිටියේ ය.

පාසල්, ආගමික සිද්ධස්ථාන, රජයේ කාර්යාල ආශ්‍රිතව වැඩි ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද ඔහු පැවසුවේ ය.

මේ අතර, වෛද්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය වසරේ ඩෙංගු හේතුවෙන් වාර්තා වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව 28ක් වුවත් මේ වසරේ පළමු මාස 6 අවසන් වීමටත් පෙර මරණ 24ක් වාර්තා වීම බරපතළ තත්ත්වයක් බව ය.

"මේ මරණ අතර දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. අවුරුදු 15ට අඩු එක්කෙනක්, 19ට අඩු එක්කෙනෙක්, අවුරුදු 4ත් 1ත් අතර දරුවන් දෙන්නෙක් ඉන්නවා සහ කුඩා බිලිඳෙක් ඉන්නවා මාස ගාණක," වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ ය.

මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලින් වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඉදිරි වසර දෙකත් හතරත් අතර කාලය තුළ ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් ම තුරන් කිරීම ඉලක්ක කර ගනිමින් ජූනි 15 වන දා සිට 20 වන දා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මේ වන විට කටයුතු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මෙම දැවැන්ත කාර්යය තනිව ම කළ නොහැකි බැවින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මේ සඳහා සක්‍රීයව මැදිහත් වන බව මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පසුගිය ජූනි 11 වන දින පැවසුවේ ය.

දිවයිනේ සමස්ත පළාත් පාලන ආයතන 341 ම, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පරිසර පොලිසිය ඒකාබද්ධව මෙම දින 6ක මෙහෙයුම දින අනුව එම වැඩසටහන පහත පරිදි ක්‍රියාත්මක වේ .

  • ජූනි 15, 16 සහ 17 (සඳුදා, අඟහරුවාදා, බදාදා): නගර ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළෙඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු සියලු ම පොදු ස්ථාන පිරිසිදු කිරීම.
  • ජූනි 18 (බ්‍රහස්පතින්දා): පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලු ම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම.
  • ජූනි 19 (සිකුරාදා): සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන් ම කර්මාන්ත ශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම.
  • ජූනි 20 (සෙනසුරාදා): පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම.