දුර්වල එල් නිනෝ තත්ත්වය මධ්‍යයේ ඉදිරි දින කිහිපයේදී සිදුවෙන කාලගුණයේ වෙනස්කම්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය මෙම සතිය පුරාවට පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් බීබීසී සිංහල වෙත පැවසුවේ පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක් හෙට (ජුනි 23) දිනයේ බලාපොරොත්තු විය හැකි නමුත් ඉන් පසුව නැවතත් වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවනු ඇති බවය.

බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත් වලටත් ගාල්ල, මාතර, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් ඇතැම් අවස්ථාවලදී මිලිමීටර් 100 ඉක්මවූ වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද ඔහු පැවසුවේය.

කාලගුණයේ වෙනසට බලපෑ හේතු මොනවාද?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාව ආශ්‍රිතව දුර්වල එල්-නිනෝ තත්ත්වයක් වර්ධනය වී ඇති බවය.

"දිවයිනට මේ දවස්වල දුර්වල එල්-නිනෝ තත්ත්වයක් බලපාලා තියෙන්නේ. ඒ වගේම ගෝලීයව ගත්තත් එල් - නිනෝ තත්ත්වය යම් විදිහකින් බලපෑම් එල්ල කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ එල් - නිනෝ තත්ත්වය මධ්‍යස්ථ සහ ප්‍රබල තත්ත්වයක් විදිහට බලපායි කියලා දිවයිනට. මේ බලපෑම තවමත් සෘජුවම දිවයිනට බලපාලා නැහැ." ඔහු පැහැදිලි කළේය.

දිවයින ආශ්‍රිතව පවතින දුර්වල එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම ප්‍රදේශයේ වැසි තත්ත්වයේ අඩුවීමක් ඇතිවන බවද වැඩබලන කාලගුණ අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේය.

"මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ වැසි තත්ත්වයේ සුළු අඩුවීමක් පෙන්නුම් කරනවා මේ එල් - නිනෝ තත්ත්වයත් එක්ක. දැන් ක්‍රමයෙන් මෝසම් සුළං ප්‍රවාහයේ යම් අඩුවීමක් පෙන්නුම් කරනවා."

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (ජුනි 22) නිකුත් කරන ලද වර්ෂාපතන අගයන්ට අනුව පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 110ක් ලෙස වාර්තා වී තිබේ. ඒ ගාල්ල වෝගන් වතු යායෙනි.

'ජූලි මාසයේ ඉඳලා වැස්ස අඩු වේවි'

ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි සති දෙක වන විට ක්‍රමයෙන් දුර්වල වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂක අජිත් විජේමාන්න පැවසුවේය.

"ඉදිරි දිනවලත් මේ වගේ කඩින් කඩ වැසි තත්ත්වය ඇතිවෙනවා. තව සතියකින් දෙකකින් වගේ පස්සේ මේ වැස්ස අඩුවෙලා යනවා. මේ එල්-නිනෝ සංසිද්ධියේ බලපෑමත් එක්ක ජුලි - අගෝස්තු මාසවලදී වැස්ස අඩුවෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

අපිට එල් - නිනෝ තත්ත්වය දැන් බලපාන්න පටන් අරන් තියෙනවා. අගෝස්තු මාසයේ දී ගොඩක් අඩු වෙනවා. ඒ වගේම ඔක්තෝම්බර් - නොවැම්බර් මාසය වෙනකොට අපිට වැසි තත්ත්වයේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන මට්ටමට වඩා වැඩියෙන් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම ලබන අවුරුද්දේ මුල් කාර්තුවේදී අපිට එල් - නිනෝ තත්ත්වයේ බලපෑම නිසා වැසි රහිත වගේම දැඩි උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්." ඔහු වැඩිදුරටත් පැවසුවේය.