ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශුරියෝ: 'පිතිකාරිනියන්ට හිසරදයක් වන' ශ්‍රී ලංකාවේ වමත් දඟ පන්දු යවන්නිය නිමාෂා
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
2026 විස්සයි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරන ක්‍රීඩකාවන් අතරට නිමාෂා මදුශානි මීපගේ ඇතුළත් වේ.
මෙවර කාන්තා ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරග දෙකේදී ඇය ඉතා හොද පන්දු යැවීමක නිරත විය.
නිමාෂා මදුශානි යනු කවුද?
1990 අගෝස්තු 15 වන දා උපත ලද නිමාෂා මදුශානි මීපගේ, පොතුපිටිය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවාය. ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස ඇය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම සමග එක්වීමෙන් අනතුරුවය.
වමතින් දඟ පන්දු යවන්නියක වන ඇය දිනෙන් දින තම දක්ෂතා ඉහළ නංවා ගනිමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දක්වා පැමිණීමේ අරමුණට ළඟා වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ කාන්තා දේශීය ක්‍රිකට් තරගාවලි ඇයට ඒ සඳහා මනා පිටිවහලක් විය.
ක්‍රීඩා පිටියේ දැක්වූ දක්ෂතා
දේශීය තරගාවලි රැසකදී නිමාෂා ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළාය. 2022 වසරේ පැවති කාන්තා සුපිරි කණ්ඩායම් හතර අතර පැවති තරගාවලිය ද එවැන්නකි.
නිමාෂා එහිදී ග්‍රීන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර බ්ලූස් පිලට එරෙහිව කොළඹ BRC පිටියේ පැවති තරගයේදී ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 13කදී දවා ගැනීමට නිමාෂා සමත් වූවාය. එය සටහන් වූයේ එවර තරගාවලියේ එතෙක් පන්දු යවන්නියක ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය ලෙසය.
ග්‍රීන්ස් කණ්ඩායමට එම තරගය කඩුලු අටකින් ජය ගැනීමට ද හැකි විය.
2023 ආසියානු කාන්තා නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද නිමාෂා ඇතුළත් විය. එමෙන් ම ශ්‍රී ලංකා කාන්තා A ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ඇය සමත් වූවාය.
නිමාෂාට පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර වරම් හිමි වූයේ පසුගිය වසරේදීය. ඒ සත්කාරක ඉන්දියාව සමග පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දා තිරිවන්තපුරම්හිදී පැවැති තරගයේදීය. මේ දක්වා පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර තරග 4කට සහභාගි වූ ඇය කඩුලු 5ක් දවාගෙන තිබේ.
මෙම වසරේ පෙබරවාරි 20 වන දා එක්දින ජාත්‍යන්තර වරම් හිමි කරගත් නිමාෂා තරග 4කදී කඩුලු පහක් දවාගෙන ඇත.