ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය අප සතුව නැහැ': ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය දැනට නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පවසයි.
කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (ජුනි 25 වැනිදා) පැවති මාසික ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, "මේ වන විට ව්‍යාපෘතියේ කටයුතු සිදුවෙමින් පවතිනවා. අපට අවශ්‍ය ව්‍යාපෘතියේ අවසන් විෂය පථය කුමක්ද යන්න අප නැවත සමාලෝචනය කළ යුතුයි. මොකද මුලින් අනුමත කරන ලද ව්‍යාපෘතිය පිළිබඳ අපගේ සමාලෝචනයට අනුව, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔරොත්තු දෙන මට්ටමකට වඩා වැඩියි. එමෙන්ම එය නිම කිරීම සඳහා අවශ්‍ය වත්මන් මූල්‍ය ශක්තිය අප සතුව නැහැ," යනුවෙනි.
යාපනය, මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් 2025 වසරේ සැප්තැම්බර් 01 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
එම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය පසුගිය වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළත පැවැත්වීමටත් හැකි වනු ඇති බවට එම අවස්ථාවේදී ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේ ය.
යෝජිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතියේ මුල් සැලසුම තම වත්මන් මූල්‍ය ධාරිතාවට ඔරොත්තු නොදෙන බව ප්‍රකාශ් ෂාෆ්ටර් අද (ජුනි 25 වැනිදා) පැවති සාකච්ඡාවකදී කියා සිටියේ බීබීසී සිංහල කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
මෙම ව්‍යාපෘතිය දැනට සමාලෝචනය වෙමින් පවතින බවත්, පවතින ප්‍රතිපාදනවලට අනුකූලව එහි විෂය පථය නැවත ඇගයීමට ලක් කරමින් සිටින බවත් ඔහු කියා සිටියේ ය.
යාපනය ප්‍රදේශයේ ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් කැපවී සිටින නමුත් ව්‍යාපෘතියේ පරිමාණය කෙතරම් දුරකට යා යුතු දැයි සලකා බලන බව ඔහු කියා සිටියේ ය.
"යාපනය තුළ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අප කැපවී සිටිනවා. නමුත් අපගේ වත්මන් මූල්‍ය ප්‍රතිපාදන ධාරිතාවන්ට අනුව, යාපනය ව්‍යාපෘතිය සඳහා අප කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද යන්න පිළිබඳව අප නැවත සමාලෝචනය කරමින් සිටිනවා,"
"යාපනයේ පමණක් නෙවෙයි, වෙනත් කිසිම ස්ථානයක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට තරම් ප්‍රතිපාදන මේ මොහොතේ අප සතුව ඇතැයි මා සිතන්නේ නැහැ," යැයි ඔහු ප්‍රකාශ කළේය.
යාපනය මුල් ව්‍යාපෘතිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයකින්, ක්‍රීඩා නගරයකින් (Sports City) සහ නිවාස ව්‍යාපෘතියකින් සමන්විත විය.
මෙම ව්‍යාපෘතියේ ඇති දැවැන්ත බව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු වත්මන් ප්‍රතිපාදනවල සැබෑ තත්ත්වය හේතුවෙන් ම, මෙම අවධියේදී ඒ පිළිබඳව සලකා බැලීමට නොහැකි බව අපට හැඟී යන බව ෂාෆ්ටර් පැවසීය.
නව ක්‍රිකට් ව්‍යවස්ථාව සැකසීමට මොකද වෙන්නේ?
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න, කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් සහ ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් පැහැදිලි කළේ ය.
නව ව්‍යවස්ථාව අනුමත කරගැනීමේ කාර්ය සඳහා නිෂ්චිත කාලරාමුවක් ප්‍රකාශ කළ නොහැකි වුවත්, වේගවත් ක්‍රියාවලියක් තුළින් හැකි ඉක්මනින් එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් පරිවර්තන කමිටුව අනාවරණය කර සිටියේ ය.
"ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක්ක බොහොම සාර්ථක සාකච්ඡාවක් තිබ්බා. අපි ඒගොල්ලන්ට පැහැදිලි කලා අපි යන මාර්ගය" ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න කියා සිටියේ නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවට හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.
ජුලි මසදී කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බවද ඔහු සඳහන් කළේය.
අනතුරුව ඒ සඳහා විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට මහජනතාවට සති දෙකක කාලයක් ලැබෙනු ඇත.
කෙටුම්පත දෙවනවර හා තෙවනවර කියවීමෙන් පසු එය පාර්ලිමේන්තුවේදී සම්මත වනු ඇත.
"මෙම ව්‍යවස්ථාව අයි.සී.සී. (ICC) සහ අනෙකුත් රටවල ව්‍යවස්ථාවලට අනුකූල වනවා," එය අයි.සී.සී. ප්‍රතිපත්තිවලට ද අනුකූල වනු ඇතැයි ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් පැවසීය. මෙම ක්‍රියාවලිය සඳහා මඟපෙන්වීමට අයි.සී.සී. හි හිටපු නීති ප්‍රධානී ඩේවිඩ් බෙකර් සම්බන්ධ කරගත් බවද ඔහු සඳහන් කළේය.
නව ව්‍යවස්ථා කෙටුම්පත සැකසීමේදී පවතින ව්‍යවස්ථාව, පැරණි ව්‍යවස්ථා, චිත්‍රසිරි කමිටු වාර්තාව මෙන් ම දකුණු අප්‍රිකා, එංගලන්ත, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ව්‍යවස්ථාවන් සැලකිල්ලට ගත් බව මෙහිදී අනාවරණය කෙරිණි.
නව පාලන ව්‍යුහය යටතේ නායකත්ව තනතුරු සඳහා කාන්තාවන් ඇතුළත් කරන බව පරිවර්තන කමිටුව තහවුරු කළේය
"හැකි ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට අප පූර්ණ ලෙස කැපවී සිටින බව අප අයි.සී.සී. (ICC) වෙත ද දන්වා තිබෙනවා. නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීමෙන් සහ එය නිම කිරීමෙන් පසුව, නව මණ්ඩලයක් පත් කරනු ලබනවා, එය අයි.සී.සී. හි සියලුම අවශ්‍යතාවලට අනුකූල වනු ඇති," යැයි ප්‍රකාශ් ෂාෆ්ටර් කියා සිටියේ ය.