ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම රේඩ් වෙලා තියෙනවා පස් සැරයක්': ගණිකා වෘත්තිය නීති විරෝධී ද? ස්පා වැටලීම් ගැන පොලිසිය කියන්නේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන ආයතන (ස්පා) කිහිපයක් වටලා එහි සේවයේ නිරත කාන්තාවන් අත්අඩංගුවට ගැනීම ගැන මේ වන විට සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.
ඒ ආකාරයෙන් සම්භාහන මධ්‍යස්ථානවල සේවයේ නියුතු කාන්තාවන් අත්අඩංගුවට ගැනීම් මීට පෙර ද සිදුව ඇති අතර එසේ අත්අඩංගුවට ගන්නා කාන්තාවන්ට එරෙහිව ගණිකා නිවාස ආඥ පනත හෝ පාදඩ ආඥා පනත යටතේ නඩු පැවරූ අවස්ථා ද වාර්තා වී තිබේ.
'මම රේඩ් වෙලා තියෙනවා පස් සැරයක්'
තම අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ තලවතුගොඩ ස්පා ආයතනයක සේවයේ නියුතු කාන්තාවක පැවසුවේ, තමන් කිහිප වතාවක් ම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.
ඇය පැවසූ පරිදි එලෙස අත්අඩංගුවට පත්වූ සෑම අවස්ථාවකදී ම අධිකරණයට ඉදිරිපත් කළ පසුව තමන් පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද චෝදනාවලට වරදකරු බවට පිළිගැනීමෙන් පසුව දඩයකට යටත් කර නිදහස කළ බව ඇය පැවසුවා ය.
"අපි කියන්නේ රේඩ් කළා කියලා. මම රේඩ් වෙලා තියෙනවා පස් සැරයක්.
"අපිව පොලිසියට අරන් ගියාට පස්සේ පොලිස් ඇපයක් දෙන්නේ නැහැ. එදා රෑ තියාගෙන ඉඳලා පහුව දා උසාවියට ඉදිරිපත් කළාට පස්සේ තමයි අපිට ගෙදර යන්න පුළුවන්. පොලිසියෙන් අපිව උසාවියට ඉදිරිපත් කරන චෝදනාව තමයි ගණිකා වෘත්තිය. ඒත් මම සෙක්ස් කරන්නේ නැහැ. ඒත් නඩුව වැටෙන්නේ ගණිකා කියලා," යැයි ඇය පැවසුවා ය.
'වැරැද්ද පිළිගත්තා ම රුපියල් 100ක දඩයක් නියම වුණා'
අධිකරණය හමුවේ ඉදිරිපත් කළ චෝදනාවට වරද පිළිගැනීමට හේතුව ද ඇය බීබීසී සිංහල වෙත පැවසුවා ය.
"අපි වැරැද්ද පිළිගත්තේ නැතිනම්, අපිට එන්න බැහැ නේ. ඒක නිසා වැරැද්ද පිළිගත්තා, වැරැද්ද පිළිගත්තා ම රුපියල් 100ක දඩයක් නියම කරනවා."
නිවැරදිකරු බවට අධිකරණය ඉදිරියේ සඳහන් කළහොත් චෝදනා සම්බන්ධව නඩුවක් විභාග වන අතර ඊට ගත වන කාලය හා මුදල් ගැන සලකා බලා වරද පිළිගන්නා බව ඇය සඳහන් කළා ය.
"මම වැඩට ගිය මුල් කාලේ හිටපු අක්කලා කිව්වා වැරැද්ද පිළිගත්තේ නැති නම් නඩුව අවුරුදු 6,7ක් යනවා කියලා. ඒ අය වැරැද්ද පිළිඅරගෙන නැහැ. එයලා දිගින් දිගට ම නඩු කියලා. ඊට පස්සේ ටික කාලයක් ගියා ම ඒගොල්ලො ම වැරැද්ද පිළිඅරගෙන ඒ නඩුවලින් අයින් වෙනවා."
වැටලීම් ගැන පොලිසිය කියන්නේ කුමක් ද?
මෙලෙස සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට හෝ අත්අඩංගුවට ගන්නා තෙරපිවරියන්ට එරෙහිව ගණිකා සේවයේ නිරත වීම වැනි චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි දැයි බීබීසී සිංහල විමසා බැලීය.
ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ, ලැබෙන පැමිණිලි අනුව අධිකරණයේ අවසරය මත එවැනි ස්ථාන පරීක්ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත් පසුගිය දා තලවතුගොඩ පිහිටි සම්බාහන මධ්‍යස්ථානවල පිරිස් අත්අඩංගුවට ගත්තේ ද ඒ ආකාරයට බවත් ය.
"ඒ පොලිස් බල ප්‍රදේශයන්වල මහ ජනතාවගෙන් ලැබෙනවා පැමිණිලි, යම් යම් තොරතුරු ලැබෙනවා, ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය ඒ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා අධිකරණයට දැනුම් දුන්නා ම, අධිකරණය විසින් සෝදිසි වරෙන්තුවක් දෙනවා.
"ඒ අනුව සෝදිසි වරෙන්තුව හරහා ඒ අංශය ක්‍රියාත්මක වෙනවා. එහිදී නීති විරෝධි, සමාජ විරෝධී අනීතික කටයුතුවල යෙදෙනවා නම් ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා," ඔහු පැහැදිලි කළේ ය.
"ඒ විදිහට ස්ථාන 9ක් සෝදිසි කිරීමට ලක් කරලා කාන්තාවන් 34 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඒගොල්ලෝ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනවා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය දා සිදු කළ වැටලීම ගැන ද සඳහන් කරමින් පැවසීය.
උපයා දූතයන් යොදා ගනිමින් සාක්ෂි සහිතව මෙම වැටලීම් සිදුකර බව පැවසූ ඔහු, එලෙස අත්අඩංගුවට ගන්නා ඇතැම් පිරිස් ගණිකා වෘත්තියේ යෙදීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කළේ ය.
ස්පා වැටලීමට පොලිසියට බලයක් තිබේ ද?
මේ පිළිබඳව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්, නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ, සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම සඳහා බලය ඇත්තේ ආයුර්වේද දෙපාර්තුමේන්තුවට පමණක් බවත් එවැනි ස්ථාන වැටලීමට පොලිසියට අධිකරණ නියෝගයක් අවශ්‍ය බවත් ය.
"පොලිසියට ස්පා වටලන්න බලයක් නැහැ. ගණිකා වෘත්තිය හරි, මොනවා හරි [නීති විරෝධී] දෙයක යෙදෙනවා කියලා එනවා නම් පොලිසිය සොකෝ නිලධාරියෙක් යවලා, ඒ තොරතුර සැබෑ නම් ඒක අධිකරණයට ඉදිරිපත් කරලා වරෙන්තුවක් අරන් යන්න ඕනේ. එහෙම නැතුව පොලිසියට යන්න බැහැ. ස්පා එකක වෙන ගැටලු තියෙනවා නම් ඒක බලන්න අයිතිය තියෙන්නේ ආයුර්වේද දෙපාර්තුමේන්තුවට."
ගණිකා වෘත්තිය නීති විරෝධී ද?
ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීම නීතිවිරෝධී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහාකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පැවසීය.
"සමහර රටවල්වල එය නීතියක් බවට පත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය තහනම්. ගණිකා ආඥා පනතක් හැටියට ඒ සියලු ම වරදවල් ඒකේ සංස්ථාපනය වෙලා තියෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අදහසට පරස්පර අදහසක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ, ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තිය නීතිවිරෝධී නොවන බව ය.
"ගණිකා වෘත්තිය ලංකාවේ නීතිවිරෝධී නෑ. ගණිකා වෘත්තියේ යෙදුණා කියලා අත්අඩංගුවට ගන්න නීතියක් අපේ රටේ නැහැ. නමුත් ගණිකා නිවාසයක් පාලනය කිරීම, කළමනාකරණය කිරීම වරදක්. හැබැයි එතකොට අත්අඩංගුවට ගන්න ඕන අයිතිකාරයා සහ කළමනාකරු මිසක් කාන්තාවන් නෙවෙයි.
"ගණිකා වෘත්තියේ යෙදුණා කියලා [අධිකරණයට] ඉදිරිපත් කරන්න බැහැ. ඒක එහෙම නීතියෙන් අපරාධයක් හැටියට සැලකෙන්නේ නැහැ.
"ඒ අය සමහර විට ඉදිරිපත් කරන්නේ, කොවිඩ්වලදී යොදා ගත්ත නිරෝධායන ආඥා පනත යටතේ. යම් කිසි සමාජ රෝගයක් සමාජයේ පැතිරෙන්න ඉඩ තියෙන කටයුතු කළා ද නැද්ද කියන එක උඩ පරීක්ෂා කරන්න තමයි ඒ අය ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ.
"ඒත් ඒ අයව බන්ධනාගාරගත කරන්න බැහැ. එහෙනම් රෝහලක තියලා තමයි ඒ ගැන පරීක්ෂාවක් කරන්න ඕනේ," යැයි නීතිඥ නිමල් පුංචිහේවා වැඩිදුරටත් පැවසීය.