මුදල් ප්‍රතිපත්ති වාර්තාව:පුරවැසි ඔබට වැදගත් ද ?

 මුදල් ප්‍රතිපත්ති වාර්තාව

ඡායාරූප මූලාශ්‍රය, CBSL

Published

ශ්‍රී ලංකාවේ පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව පසුගිය ජුලි 31 වැනිදා ශ්‍රී ලංකා මහබැංකු නිල වෙව් අඩවිය හරහා ප්‍රකාශයට පත් කෙරුණි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයන් අනුව, නව මහබැංකු පනත බලාත්මක කිරීමේ දී සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයකි.

මෙම වාර්තාව සකස් කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ය.

මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් යනු කුමක්ද යන කාරණය මෙන් ම ජනතාවගේ එදිනෙදා ජීවිතයට එය බලපාන්නේ කෙසේදැයි මේ ලිපියෙන් සාකච්ඡා කෙරේ.

1. මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් යනු කුමක්ද?

රටක මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන දිගු කාලීන හෝ මධ්‍යකාලීන මුදල් ප්‍රතිපත්ති පිළිබඳ දත්තයන් හා ඉදිරි පුරෝකථනයන් ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත්කෙරෙන වාර්තාවක් සරලව මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් ලෙස හැඳින්විය හැකියි. එමඟින් මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ විනිවිදභාවයකින් යුතුව මහජනතාවට දැන ගැනීමට ඉඩ සැලසේ. එමෙන් ම ආර්ථිකය හා උද්ධමනය පිළිබඳ පුරෝකථනයන් ද මෙම වාර්තාවන් තුළ අන්තර්ගත ය.

මෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තා කිහිපයක් සාමාන්‍යයෙන් වසරකට එළිදක්වනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරනු ඇත. එය මහබැංකුවේ නිල වෙබ් අඩවිය හරහා බාගත කරග හැකි ය.

2. ශ්‍රී ලංකාවට මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් අවශ්‍ය ද ?

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා මෙවැනි වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීම වැදගත් වේ.

මෙමඟින් නම්‍යශීලී ලෙස උද්ධමන ඉලක්කයන් පවත්වා ගැනීමට හැකි වේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

උදාහරණයක් වශයෙන් මෙම වාර්තාවෙන් ඉදිරි වසර දෙකක කාලය සඳහා උද්ධමන පුරෝකතනයන් ඉදිරිපත් කරන අතර එම සීමාවන් යටතේ නම්‍යශීලී ලෙස උද්ධමනය පාලනය කර ගැනීමට හැකි තීරණ ගැනීමට රජයට පහසු වේ.

මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ තවත් අරමුණක් වන්නේ දැනට පවතින සහ අපේක්ෂිත ප්‍රවණතා සලකා බලමින් උද්ධමනය සහ ආර්ථික වර්ධනය පිළිබඳව සිදුකර ඇති පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳ තක්සේරුවක් ලබා දීමයි. එමඟින් රජයට සහ ව්‍යාපාරිකයන්ට ඉදිරි කාලය සඳහා අවදානම් කළමණාකරණ ක්‍රමවේදයක් සකස් කරගැනීමට පහසු වේ.

මුදල් ප්‍රතිපත්ති වාර්තාව තුළින්, මහජනතාව මෙන් ම වෙළඳපොළ තුළ සිටින්නන් හට මහබැංකුව විසින් ගනු ලබන ප්‍රතිපත්ති හා තීරණ පිළිබඳ මහබැංකුවේ ස්ථාවරය තේරුම් ගත හැකියි.

මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වන අතර මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලද දත්ත සහ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම තුළින් ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීම තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කරන බව මහ බැංකුව සඳහන් කළේය.

3. එහි අඩංගු මොනවාද?

මෙම වාර්තාවේ මූලික වශයෙන් ම මහබැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අඩංගු වේ.

වාර්තාව ප්‍රකාශයට පත් කරන කාලවකවානු වලට අදාල ආර්ථික තත්ත්වය පිළිබඳ සාරංශයක් වාර්තාව තුළින් අවබෝධ කරගැනීමට හැකි ය.

ආර්ථිකයේ තීරණාත්මක සාධකයක් වන උද්ධමනය පිළිබඳ ව මූලික වශයෙන් ම වාර්තාව තුළ අන්තර්ගත ය. එය මෙම වාර්තාවේ ඇති ප්‍රධානත ම අංගයකි.

පසුගිය ජුලි මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 6.3ක් දක්වා, එනම් තනි අගයක් දක්වා පහළ බැසීම විශේෂ කරුණකි. එම අගය සුළු වෙනස් කම් සහිතව මධ්‍යකාලීන රාමුව තුළ දී යම් ස්ථාවරත්වයකට පත්වනු ඇති බවට වාර්තාවෙන් පුරෝකතනය කර ඇත.

4. මුදල් වාර්තාව ගැන දැන සිටීම මට වැදගත් ඇයි?

මෙම වාර්තාව තුළින් උද්ධමන අගය නම්‍යශීලීව පාලනයක පවත්වාගෙන යාමට බලාපොරොත්තු වේ. එය ජනතාවට සෘජුවම බලපානු ලබයි.

උද්ධමන අගය පෙර වසරේ උපරිම වශයෙන් 70%ක් පමණ දක්වා ඉහළ ගිය අතර, ඒ අනුව භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. උද්ධමන අගය ඉලක්ක ගත ප්‍රමාණයකට අනුව පාලනය කරගැනීමට හැකිවන විට දී භාණ්ඩවල මිල ඉහළ යාමේ වේගය පහළ බසින අතර ඒ අනුව භාණ්ඩවල මිල ගණන් ක්‍රමයෙන් පහළ බසියි. නමුත් එය එක්වරම අපේක්ෂා කරගත නොහැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආචාර්‍ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර විසින් මෙම වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත්කිරීම වෙනුවෙන් අගෝස්තු 03 වැනිදා පැවති වැඩසටහනක දී ප්‍රකාශ කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ උද්ධමනය අඩු වීම යනු භාණ්ඩවල මිල ගනන් පහළ යාම නොව මිලගණන් ඉහළ යාමේ වේගය අඩුවීම බවයි.

මිල ගණන් පහළ යාම අපේක්ෂා කළ හැකි වන්නේ ක්‍රමානුකූලව බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ලෝක බලශක්ති මිල ඉහළ යාම වැනි හේතු සාධක මත එය යම් ප්‍රමාදයකට ලක් විය හැකි බව ද ඔහු කියයි.

එමෙන් ම මුදල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත හැකි බැවින් ජනතාවට සිය ආයෝජන ආදිය පිළිබඳව ද තීරණ ගැනීමට ද පහසු වේ. විශේෂයෙන්ම පොළී අනුපාත සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත හැකි නිසා ස්ථිර තැන්පතු වැනි ආයෝජන ගැන ජනතාවට තීරණ ගැනීමට පහසු වේ.

5.මුදල් වාර්තාව ගැන දැන සිටීම ව්‍යාපාරිකයන්ට වැදගත් වෙන්නේ කෙසේද?

ව්‍යාපාරවල නිරත වන්නන් හටද මෙම වාර්තාවෙන් අවබෝධයක් ලබා ගැනීමට හැකි ය. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ව්‍යාපාරයක් සඳහා මුදල් යෙදවීමට බලාපොරොත්තු වන අය සඳහා ද එය වැදගත් ය. උද්ධමනය පිළිබඳ පුරෝකථනයන් අනුව ව්‍යාපාරිකයන්ට තව ව්‍යාපාර සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ගත හැකි ය.

ඔවුන්ගේ භාණ්ඩවල මිල ගණන් ඉහළ පහළ යාම සම්බන්ධයෙන් මෙම පුරෝකථනයන් වලින් අදහසක් ලබා ගත හැකි නිසා නව නිෂ්පාදන හඳුන්වා දීම, නිෂ්පාදනවල ඉල්ලුමට සරිලන සැපයුම හා ලාභ ඉපයීම යන කරුණු සම්බන්ධයෙන් සැලසුමක් නිර්මාණය කරගැනීමට අවස්ථාව හිමි වේ.

මේ වාර්තාව තුළ මෙම පුරෝකථනයන් අවදානමකට ලක් විය හැකි ආකාරය පිළිබඳව ද කරුණු අඩංගු නිසා ව්‍යාපාරිකයන්ට අවදානම් කළමණාකරණ සැලැස්මක් ද සකස් කරගැනීමට අවස්ථාව ඇත.