වැසි සහිත කාලගුණය : ආපදාවන් නිසා පුද්ගල මරණ 12ක්. 5ක් අතුරුදන්
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ජුනි මස පළමු වෙනිදා සිට අද (ජුනි මස 03 වෙනිදා) දක්වා පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේය.
රත්නපුර, කොළඹ සහ මාතර යන දිස්ත්‍රික්කවල ජල ගැලීම් හේතුවෙන් මරණ 08ක්, පස් කණ්ඩි කඩා වැටීමෙන් මරණ 03ක් සහ ගස් කඩා වැටීමෙන් එක් මරණයක් වාර්තා වී තිබේ.
මීට අමතරව ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

කාලගුණය නිසා ආපදාවට ලක්වූ ජනතාව
අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක ජනතාව පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධස්ථානය සඳහන් කළේය.
නුවරඑළිය, කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පවුල් 1,489කට අයත් පුද්ගලයින් 5575 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින බව ආපදා කළමනාකරණ මධස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම පවුල් 10,975කට අයත් පුද්ගලයින් 41,852ක් අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක්ව සිටියි.

ගංඟාවන් හි ජල මට්ටම් ගැන දැනුම් දීමක්
වැසි තත්ත්වයත් සමග කැළණි, කළු සහ නිල්වලා යන ගංඟාවන් හි මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් හි ගංවතුර තත්ත්වය තවමත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කැළණි ගඟේ නාගලම්වීදිය අසල ජල මාපකය අඩි 6.20ක් ලෙස ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේය.
කළු ගඟ ආශ්‍රිතව පිහිටි පහත් බිම් සහ නිල්වලා ගඟේ, තල්ගහගොඩ මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිතව පිහිටි දුනමලේ ප්‍රදේශයේ මහා ගංවතුර තත්ත්වයක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
පාසැල් පැවැත්වීම ගැන දැනුම් දීමක්
වැසි සහිත කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (ජුනි මස 04 වෙනිදා) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව, සබරගමුව පළාතට අයත් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පාසැල් ද, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හි සියලුම පාසල් සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම පාසල් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ සියලුම පාසැල් හෙට (ජුනි මස 04 වෙනිදා) නොපැවැත්වේ.
ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
මේ අතර වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටින අතර විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස එහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

කාලගුණයෙන් දැනුම් දීමක්
මේ අතර දිවයින වටා පිහිටි මුහුදු කලාපයේ විටින් විට පැයට කිලෝමීටර් 50-60 අතර වේගයෙන් හමා යන තද සුළං සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා පාර්තමේන්තුව නිවේදනය කරයි.
කන්කසන්තුරේ, මන්නාරම සිට කල්පිටිය හරහා ගාල්ල සහ මාතර දක්වා මුහුදු කලාපය රළු විය හැකි බවත් මේ සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව සිය අවධානය යොමු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.
ජනතාවට විශේෂ දැනුම් දීමක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 117 හදිසි දුරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක කර තිබේ.
එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා පොලීසිය විසින් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක යාවත්කාලීන කර තිබේ.
(ජුනි මස 02 වෙනිදා) පස්වරු 06 සිට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබිය.
ඒ අනුව 011 2 42 18 20 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
මීට අමතරව 011 2 43 92 12, 011 20 130 36 හෝ 011 20 130 39 යන දුරකථන ඔස්සේ ද එම මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබා දිය හැකි වේ.
එමෙන්ම disaster.ops@police.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ද තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

































