ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ගිය මාලිමාවේ මන්ත්‍රීවරුන්ට විරෝධයක් එල්ල වුණේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, screenshot
දුෂණයට, වංචාවට එරෙහිව අති විශාල මහජන මනාපයක් ලබා ගනිමින් ඓතිහාසික ජයක් ලැබු ජාතික ජන බලවේගය ආණ්ඩුවට එම ජයග්‍රහණයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් සිය මන්ත්‍රීවරුන් දෙපළක් කප්පම් ලබා ගැනීමට උත්සාහ දැරූ බවට චෝදනා එල්ල කරමින් නිකුත් කරන ලද වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ අන්දෝලනයක් ඇති කර තිබේ.
බිංගිරිය - විලත්තව පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වෙත (දෙසැම්බර් 30 වැනිදා) ගිය ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී විජේසිරි බස්නායක සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්ට අදාළ චෝදනාව එල්ල වී ඇත.
පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ගේට්ටුව අසළදී කිසියම් පිරිසක් මන්ත්‍රීවරුන් දෙදෙනාට විරෝධය දක්වමින් කප්පම් චෝදනා එල්ල කරන අයුරු දැක්වෙන, වීඩියෝවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් (දෙසැම්බර් 30 වැනිදා) සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ, "මාලිමාවේ පා.ම බිංගිරිය ආසන සංවිධායක විජේසිරි බස්නායක මහතා බිංගිරියේ Benji කර්මාන්ත ශාලාව වෙත පැමිණ පිටව යන අවස්ථාවේ සිදුවීමක්. ජනතාවගේ විමසුම පිණිසයි." යනුවෙන් සඳහන් කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, screenshot
මාලිමා මන්ත්‍රීවරුන්ට එල්ල වු කප්පම් චෝදනාව කුමක්ද?
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේපළ අදාළ පුද්ගලික ඇගලුම් කම්හලෙන් කප්පම් ලබා ගැනීමට උත්සාහ දරන ලද බවට අදාළ අන්දොලනාත්මක විඩියෝවේ විරෝධය දක්වන පිරිස කියනු ඇසේ.
"පාර්ලිමේන්තු මන්ත්‍රී බෙන්ජි එකෙන් කප්පම් ගන්න ඇවිල්ලා" යැයි යමෙකු කියන අයුරු එම විඩියෝවේ පැහැදිලිව ශ්‍රවනය කළ හැකිය.
වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට කප්පම් චෝදනාවක් එල්ලවු පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක් වන අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ.
මෙම සිදුවීම සම්බන්ධව මන්ත්‍රී විජේසිරි බස්නායක ද වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එමගින් අදාළ කප්පම් චෝදනා සම්බන්ධව කිසිවක් ඔහු ප්‍රකාශ කර නොමැත.
එම අවස්ථාවේ දී විරෝධය දක්වන පිරිස "පාර්ලිමේන්තු මන්ත්‍රී" ලාංඡනය සහිත ජීප්රථයකට මඟ හරස් කරමින් විරෝධයක දක්වන අයුරු එම වීඩියෝවේ පටිගත වී තිබේ.
විරෝධතාකරුවන් පරුෂ වචනයෙන් බැණ වඳිමින් තවත් වෑන් රථයකට පහර දෙන අයුරු එම වීඩියෝවේ දැක්වේ.
"ගහන්න එපා, ගහගෙන ප්‍රශ්න විසඳන්න බෑ" යි ද එම වීඩියෝවේ තවත් ප්‍රකාශයක් ඇසෙන අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද එම ස්ථානයේ සිටින අයුරු පෙනෙයි.
ඉන් පසු පිටව යාමට පැමිණි වෑන් රථය නැවතත් පසු බසිනු වීඩියෝ දර්ශනවල දැක ගත හැකිය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
"මේගොල්ලෝ ෆැක්ටරියට ඇවිල්ලා ෆැක්ටරියට බලපෑම් කරනවා."
දැනටත් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන කටයුතුවල යෙදෙන මාලිමාවට සම්බන්ධ ක්‍රියාකාරී පිරිස් දැනට සිටින පිරිස ඉවත් කර ප්‍රවාහන කටයුතු තමන් සතු කර ගැනීමට උත්සාහ දරන බව එක් විරෝධතාකරුවකු මාධ්‍ය වෙත කියා තිබේ.
"ෆිනෑන්ස් දාලා ගොඩක් කට්ටිය මේ වාහන දුවන්නේ, ඒ සියලු දෙනාම අයින් කරලා ඒගොල්ලන්ගේ වාහන දාගෙන, ඒගොල්ලන්ගේ රජය කියලා ඒගොලන්න්ට මේක කරන්න ඕන කියලා අපිට අයින් වෙන්න වෙලා යන්න කියලා තමයි කියන්නේ. අපිට ඉල්ලීම් ගණනාවක් කරා මීට කලින් අපි ඒවට එකඟ වුණේ නැහැ. අවසානයේ මේගොල්ලෝ ෆැක්ටරියට ඇවිල්ලා ෆැක්ටරියට බලපෑම් කරනවා."
"ඔය ආපු කට්ටියත් අපි එක්ක ගාමන්ට් එකේ තාමත් දුවන කට්ටිය. එයාලා මේ කරන්න හදන්නේ එයාල පාලනය අරගෙන බස්නායක මහත්තයලා කරන්න හදන්නේ. බලපුළුවන්කාරකම එයාලා අරගෙන එයාලා පාලනය කරන්න හදන්නේ මුළු ෆැක්ටරියෙම ට්‍රාන්ස්පෝර්ට එක."
මන්ත්‍රීවරු ගාර්මන්ට් එකට ගියේ ඇයි?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම සිදුවීම පැහැදිලි කරමින් විජේසිරි බස්නායක මන්ත්‍රීවරයා වීඩියෝවක් නිකුත් කර තිබේ.
කලින් සැලසුම් කර ගත් පරිදි අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාකච්ඡාවක් සඳහා ගිය බව මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
අදාළ කර්මාන්ත ශාලාවෙන් පිටවන යන අවස්ථාවේ දී පිරිසක් කලහකාරි ලෙස හැසිරෙමින් පරුෂ වචනයෙන් බැණ වැඳුන බව පවසන විජේසිරි බස්නායක මන්ත්‍රීවරයා එම පිරිස තමන්ට පහර දුන් බව ද පවසයි.
"මමත් මගේ පිරිස සමගින් එළියට යෑමට යන විට අපේ වාහනයත් වට කරගෙන අපේ වාහනයටත් ප්‍රහාර එල්ල කරමින්, පරුෂ වචනයෙන් බැන වඳිමින් අපි ගිය කාර්යයට බාධා කරමින් ඔවුන් හැසිරුණා. මෙහිදී අපි සිටි වාහනයේ එක් ෂටර් එකක් ඇරලා එක් පුද්ගලයෙක් මට ප්‍රහාරයක් එල්ල කළා, මගේ කමිසයෙන් ඇඳලා එළියට ගන්න හැඳුවා.මෙතන දී අපි පසුපසට පැමිණ තත්ත්වය සමනය වෙන තෙක් සිට අපි එළියට පැමිණියා."
එම අවස්ථාවේ එතන පොලිස් නිලධාරින් තිදෙනක් සිටි බවත් ඔවුන්ට තත්ත්වය පාලනය කර ගත නොහැකි වු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"විශේෂයෙන් මෙතන සමාගමේ ප්‍රවාහනය ලබා දීම පිළිබඳව ගම්මුන්ගෙන් විශාල පැමිණිලි රාශියක් ලැබිලා තිබ්බා. ඒ අවශ්‍ය සාමය නීතිය රැකීමට අවශ්‍ය කටයුත්ත තමයි අපි සමාගමත් එක්ක සාකච්ඡා කරලා නිවැරදිව විසඳුම් රැගෙන එළියට එන විට මෙම පිරිස කලහකාරී ලෙස අප වෙත පහර දුන්නේ. මේ පිටුපස අපි දකිනවා පසුගිය කාල පරිච්ඡේදයේ පැරදිච්ච දේශපාලඥයන්ගේ අතකොළු විදියට විශාල මුදලක් සමග ඒ කප්පම් මුදලක් සමග, කොමිස් මුදලක් සමග කටයුතු කරන පිරිසක් ඉන්නවා මෙන්න මේ පිරිස තමයි අපිට එරෙහිව මේ අවස්ථාවේ දී ඉදිරියට පැමිණියේ."

ඡායාරූප මූලාශ්‍රය, screenshot
"අපි කවුරුත් මේ කොමිස් ගන්න නෙමේ"
"මෙතෙක් කල් බෙන්ජි ගාමන්ට් එකේ ට්‍රාන්ස්පෝර්ට් එක සනත් නිශාන්තලා, දයාසිරි ජයසේකරලා, නලින් බණ්ඩාරලා අත්පත් කරගෙන හිටියේ. එතන කඩලා අපි කවුරුත් මේ කොමිස් ගන්න නෙමේ. මේ සියලු දෙනාටම සාධාරණයක් ඉටු කරන ලෙස තමයි සාකච්ඡා කළේ." යැයි අජිත් ගිහාන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කියා සිටියේය.
විරෝධතාවය දැක්වු පිරිසට අවස්ථා ගණනාවක දී මේ පිළිබඳව සාකච්ඡා කිරිමට ආරාධනා කළ ද ඔවුන් නොපැමිණි බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් සඳහන් කළේය.
එක් සැකකරුවෙක් අත්අඩංගුවට
අදාළ සිදුවීම සම්බන්ධව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක විසින් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ වෙත පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව විමර්ශන කරන බවත් ඊයේ දිනයේම (දෙසැම්බර් 30 වැනිදා) එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
මෙන්ම තවත් සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග බීබීසි සිංහල වෙත පැවසීය.
































