රාහුල් සහ සෝනියාට අධිකරණයේ පෙනී සිටීමට නියෝග

ඡායාරූප මූලාශ්‍රය, Getty
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අරමුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවක් මත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඉන්දියාවේ විපක්ෂය නියෝජනය කරන සෝනියා ගාන්ධි සහ ඇයගේ පුත් රාහුල් ගාන්ධිට නියෝග නිකුත් කොට තිබේ.
මුදල් අවභාවිත චෝදනා සම්බන්ධයෙන් අධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කොට තිබෙන්නේ ඉන්දීය ආණ්ඩුවේ දේශපාලනඥයෙක් විසින්.
මුද්‍රණය නවතා දැමූ 'නැෂනල් හැරල්ඩ්' පුවත්පත් සමාගමකට අයත් වත්කම් මිළදී ගැනීම සඳහා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි විසින් කොංග්‍රස් පක්ෂයේ අරමුදල් භාවිතා කොට ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
එල්ල කෙරෙන චෝදනා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
ඉන්දියාවේ ගාන්ධි සහ නේරු පවුලට අයත් සාමාජිකයකු හැත්තෑව දශකයෙන් පසු අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට නියමිත පළමු අවස්ථාව මෙයයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
අධිකරණ නියෝගය හේතුවෙන් සිත් තැවුලට පත් වී ඇති බවට පළ වන වාර්තා සෝනියා ගාන්ධි ප්‍රතික්ෂේප කළාය.
‘ඇයි මම සිත් තැවුලට පත් වෙන්නේ? මම මගේ මිතුරන්ට කිව්වේ, මම ඉන්දිරා ගාන්ධිගේ ලේලි. මම කිසිවෙකුටත් බය නැහැ’ ඇය පැවසූ බවට එන්ඩීටීවී වෙබ් පුවත් පිටුවේ සඳහන්.
පසුගිය වසරේ පැවති මහ මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය පරාජයට පත් විය.
වසර දහයක් ඉන්දියාවේ පාලන බලය හෙබවූ කොංග්‍රස් පක්ෂයට පාර්ලිමේන්තු ආසන 543 කින් දිනා ගත හැකි වූයේ ආසන 44 ක් පමණි.
මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය.



























