'වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට මානව හිමිකම් නිලධාරීන්ට ඉඩ දුන්නේ නැහැ'


SRI LANKA-PRISON-RIOT

Security personnel escort prisoners to a bus at Negombo prison on the outskirts of Colombo on July 6, 2026, following overnight clashes between inmates of two drug gangs.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඉන්පසුව බන්ධනාගාර කිහිපයකට මාරු කරන ලද රැඳවියන්ට එරෙහිව සිදු වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය විසින් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර වෙත ජූලි 08 වන දා යොමු කළ ලිපියකින් දැනුම් දී තිබේ.

2020 වසරේදී කළ අධ්‍යයනයේ නිර්දේශ යළි සිහිපත් කරයි

බන්ධනාගාර තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් 2020 වසරේ එම කොමිසම ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක නිරීක්ෂණ සම්බන්ධයෙන් මෙන් ම, එහි නිර්දේශ සම්බන්ධයෙන් ද වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත සිහිපත් කර ඇත.

"පද්ධතිමය 'අඩු පාඩු' මෙන් ම, 'සම්පත් සහ කාර්ය මණ්ඩලයේ දැඩි හිඟය' නිසා 'බන්ධනාගාර තුළ සිරකරුවන්ට ඉතා අවදානම් සහිත පරිසරයක්' බවට පත්ව ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි. බන්ධනාගාර තුළ වධ හිංසා පැමිණවීම් සහ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලිවලට ලක්වන රැඳවියන් සහ එවැනි උල්ලංඝනයන් සම්බන්ධව වගවීමක් නොමැතිකම සම්බන්ධයෙන් වූ සොයා ගැනීම් ද මෙම අධ්‍යයනයට ඇතුළත් ය. 'බන්ධනාගාර තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ක්‍රියා පටිපාටි සහ යාන්ත්‍රණයන්' සම්බන්ධයෙන් කරනු ලැබු පහත නිර්දේශ මගින් සිහිපත් කරනු ලබයි," යනුවෙන් එහි සඳහන් කර තිබේ.

එමෙන් ම, එම ලිපියේ පහත නිර්දේශ ද සඳහන් කර තිබේ.

  • සිරගත කිරීමට පෙර වධ හිංසාවන්ට ලක්වීම පිළිබඳ පැමිණිලි කරන සිරකරුවන් පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටීම, ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම, අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සහ එකී හිංසාවන්ට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම, ඒ මගින් එවැනි ප්‍රචණ්ඩත්වයෙන් සිදුවන මරණ වළක්වා ගැනීම.
  • ප්‍රතිවාදී සිරකරුවන් අතර ඇති වන හිංසනයන් අවම කිරීමෙන් සහ සිරකරුවන්ට කරන තර්ජන හේතුවෙන් වාට්ටු වෙනස් කිරීම සඳහා ඉල්ලා සිටියහොත් ඒ සඳහා පරීක්ෂා කර අවසර දීමෙන් රැඳවියන් අතර ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පියවර ගැනීම හා එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම.
  • අපරාධ චක්‍රලේඛ 19/2014 (IG චක්‍රලේඛ 2508/2014) අනුව බන්ධනාගාරයට රහස්‍ය වාර්තාවක් මගින් ලබා දෙන සිරකරුගේ පසුබිම පිළිබඳ තොරතුරු පිළිපැදීමෙන් අනෙකුත් සංවිධානාත්මක අපරාධ කල්ලිවල සහ ප්‍රතිවාදීන්ගේ සාමාජිකත්වය ඇතුළුව සිරකරුවන් ඵලදායී ලෙස වෙන් කර ඇති බව සහතික කිරීම.
  • 1956 දෙපාර්තමේන්තු ස්ථාවර නියෝගවල 15 වන වගන්තියට අනුව, අයුතු සැලකිලි, පහරදීම් හෝ වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සඳහා බලය සහ සීමා කිරීමේ උපකරණය භාවිතා කිරීම පිළිබඳ නීතිමය සීමාවන් පිළිබදව බන්ධනාගාර නිලධාරින් හා බන්ධනාගාර අධිකාරි දැනුවත් කිරීම.
  • ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මරණයක් සිදු වුවහොත් වගකිව යුතු පාර්ශවයන් හඳුනා ගැනීම සඳහා මියගිය අයගේ වාට්ටු මාරු කිරීමේ වාර්තා පවත්වා ගැනීම.

'ආරක්ෂක ගැටලු හේතුවෙන් මීගමුව බන්ධනාගාරයට ඇතුළු වීමට නොහැකි වුණා'

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ජූලි 06 වන දා, මීගමුව බන්ධනාගාරයට ගොස් තත්ත්වය නිරීක්ෂණය කිරීමට උත්සහ කළ නමුත් බරපතළ ආරක්ෂක ගැටලු හේතුවෙන් එම ස්ථානයට ඇතුළු වීමට නොහැකි වූ බව කොමිසම පවසයි.

කොමිසමේ නිලධාරීන් ජූලි 07 වන දා තුවාල ලැබූ රැඳවියන් කිහිප දෙනෙකු රඳවා තබා ඇති ජාතික රෝහලට ගොස්, රෝගී රැඳවියන්ගේ ශුභසාධනය පිළිබඳව විමසීමට කටයුතු කර ඇත.

"විමර්ශන අධ්‍යක්ෂවරයා සමග දුරකතන සංවාද කිහිපයකදී HRCSL වෙත ඔබෙන් ඍජු යාවත්කාලීන කිරීම් ද ලැබිණි. එසේ ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අංශය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු මෙම දුරකතන සංවාද අතරතුර තුවාල ලැබූ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ශුභසාධනය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, ඔබ වාර්තා කළේ අනෙකුත් රැඳවියන්ගෙන් වෙන් කර ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සිරකරුවන් ටික දෙනෙකු අඟුණකොළපැලැස්ස, බූස්ස, යාපනය, දුම්බර, මඩකලපුව සහ වැලිකඩ යන බන්ධනාගාරවල පිහිටි අනෙකුත් බන්ධනාගාර වෙත මාරු කර ඇති බව යි," යනුවෙන් මානව හිමිකම් කොමිසම යවන ලද ලිපියේ සඳහන් කර ඇත.

මානව හිමිකම් නිලධාරීන් ජූලි 06 වෙනිදා මීගමුව බන්ධනාගාරය අසල සිට රැඳවියන්ගේ ඥාතින් හමුවූ අවස්ථාව
ඡායාරූප ශීර්ෂ වැකිය, මානව හිමිකම් නිලධාරීන් ජූලි 06 වෙනිදා මීගමුව බන්ධනාගාරය අසල සිට රැඳවියන්ගේ ඥාතින් හමුවූ අවස්ථාව

'වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට මානව හිමිකම් කොමිසමට ඉඩ දුන්නේ නැහැ'

වෙනත් බන්ධනාගාරවලට මාරු කර යවන ලද රැඳවියන් කිහිප දෙනෙකුට වධහිංසා පැමිණවීම සහ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලිවලට ලක්ව ඇති බවට මානව හිමිකම් කොමිෂන් සභාවට තොරතුරු ලැබී ඇති බව අවධාරණය කරන කොමිසමේ සභාපතිවරයා, එසේ ලැබුණ තොරතුරක් සම්බන්ධව පරීක්ෂා කිරීමට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට කොමිසමේ නිලධාරීන්ට ඉඩ ලබා නොදීම සම්බන්ධව දැඩි කනස්සල්ල පළ කර තිබේ.

"වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී සිරකරුවෙකු මිය යාම පිළිබඳ තොරතුරක් ද එහිදී ලැබුණු අතර, රාත්‍රී 8.30 ට පමණ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්ෂණික ප්‍රතිචාර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිකඩ බන්ධනාගාරයට පැමිණ රැඳවියන්ගේ සුභසාධනය පිළිබඳව විමසා සිටින ලදී. එහිදී වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඉහත සඳහන් කණ්ඩායමට බන්ධනාගාරයට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කොමිෂන් සභාව දැඩි කනස්සල්ලට පත්ව සිටී. එහිදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, එය රාත්‍රි කාලය බැවින්, කණ්ඩායමට ප්‍රවේශ වීමට අවසර දීමට නොහැකි වූ බව ය," යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ලිපියේ සඳහන් වේ.

'ඕනෑ ම වේලාවක බන්ධනාගාරයකට ඇතුළු වීමට මානව හිමිකම් කොමිසමට බලය තිබෙනවා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත මගින්, අධිකරණ නියෝගයක් මගින් හෝ වෙනත් ආකාරයකින්, රැඳවුම් ස්ථාන පරීක්ෂා කිරීමටත් රඳවා තබා ඇති පුද්ගලයින්ගේ ශුභසාධනය නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ රැඳවුම් කොන්දේසි වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය විය හැකි නිර්දේශ ඉදිරිපත් කිරීමටත් මානව හිමිකම් කොමිසමට බලය ඇති බව මෙම ලිපිය මගින් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සිහිපත් කර දී තිබේ.

තව ද, කොමිෂන් සභාව විසින් බලය පවරන ලද නිලධාරීන්ට ඕනෑ ම අවස්ථාවක, ඕනෑ ම රැඳවුම් ස්ථානයකට, පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ අධිකරණ නියෝගයක් මගින් හෝ වෙනත් ආකාරයකින් යම් තැනැත්තෙකු රඳවා තබා ඇති ස්ථානයකට ඇතුළු වී එහි සිටින පුද්ගලයින්ගේ රඳවා තබා ගැනීමේ තත්ත්වය තහවුරු කර ගැනීමට අවශ්‍ය විය හැකි ඕනෑ ම පරීක්ෂණයක් ඒ ස්ථානයෙහි කළ හැකි බව මෙන් ම, එසේ නැතහොත් එහි සිටින යම් තැනැත්තෙකුගෙන් විමසීම් කළ හැකි බවත් මෙම ලිපියෙන් අවධාරණය කර ඇත. ඒ බව මානව හිමිකම් කොමිසමේ ලිපියේ මෙලෙස සඳහන් කර තිබේ.

"ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ බලතල සහ කාර්යයන් මගින් එයට ඕනෑ ම අවස්ථාවක බන්ධනාගාරයකට හෝ රැඳවුම් ස්ථානයකට ඇතුළු වීමට අවසර ලබා දී ඇත. ඒ අනුව, ඕනෑ ම සිරකරුවෙකු රඳවා තබා ගැනීමේ කොන්දේසි තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඕනෑම වේලාවක වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට ව්‍යවස්ථාපිතව බලය පවරා ඇත."

සම්පූර්ණයෙන් සහ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතු නියමයන්

එම තත්ත්වය යටතේ සම්පූර්ණයෙන් සහ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතු නියමයන් කිහිපයක් වැඩ බලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත නිකුත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කර තිබේ. ඒවා පහත පරිදි ය.

  • ඕනෑ ම අවස්ථාවක එවැනි රැඳවියන් පරීක්ෂා කිරීමට පැමිණෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම සඳහා කටයුතු කළ යුතු බවට සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් සහ ප්‍රධාන ජේලර්වරුන් ඇතුළු සියලු ම බන්ධනාගාර නිලධාරීන්ට ලිඛිත උපදෙස් නිකුත් කළ යුතු යි.
  • මීගමුව බන්ධනාගාරයෙන් මෑතකදී මාරු කරන ලද සිරකරුවන් ඇතුළුව, ඔවුන්ගේ භාරයේ සිටින ඕනෑ ම සිරකරුවෙකුට එරෙහිව වධහිංසා පැමිණවීම හෝ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලි ඇතුළුව ඕනෑ ම පළිගැනීමේ ආදී ක්‍රියාවකින් වැළකී සිටින ලෙස සියලු ම බන්ධනාගාර නිලධාරීන්ට ලිඛිත උපදෙස් නිකුත් කිරීම.
  • මීගමුව, අඟුණකොළපැලැස්ස, බූස්ස, යාපනය, දුම්බර, මඩකලපුව සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් කෙරෙහි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සියලු සාක්ෂි සංරක්ෂණය කිරීමට සහ එවැනි සාක්ෂි විනාශ කිරීමෙන් හෝ විකෘති කිරීමෙන් වැළකී සිටීමට සියලුම බන්ධනාගාර නිලධාරීන්ට ලිඛිත උපදෙස් නිකුත් කිරීම.
  • අඟුණකොළපැලැස්ස, බූස්ස, යාපනය, දුම්බර, මඩකලපුව සහ වැලිකඩ බන්ධනාගාර වල රැඳවියන් වධ හිංසා පැමිණවීම හෝ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලි වලට ලක් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම, එවැනි ක්‍රියාවන්හි නිරත වූ බවට හෝ එවැනි ක්‍රියාවන් වැළැක්වීමට අපොහොසත් වූ බවට සොයා ගන්නා ලද ඕනෑම නිලධාරියෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ එවැනි විමර්ශනය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් HRCSL වෙත ලබා දීම.
  • මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වය සහ ඉන් පසුව අනෙකුත් බන්ධනාගාරවල ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වත්මන් විමර්ශනයට පූර්ණ සහයෝගය ලබා දීම.