මරියසෙල් ගුණතිලක: අවුරුදු 7දී ගායන වේදිකාවට පා තබා 68දී ජීවිත වේදිකාවෙන් බැස ගිය 'කැන්ඩි ළමිස්සි'

Mariazelle Goonatillake

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

"ඇයට ලංකාවේ ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් අතර දකින්න අමාරු දුර්ලභ හැකියාවක් තිබුණා"

මේ, සිංහල සංගීත ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන ගිය ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ මරියසෙල් ගුණතිලක පිළිබඳව ප්‍රවීණ සංගීතඥයෙකු වන නවරත්න ගමගේ බීබීසී සිංහල සේවයට පළ කළ අදහසකි.

"ඇයට තිබුණ විශේෂ දක්ෂතාව තමයි, හාර්මනි, ඒ කියන්නෙ මූලික කටහඬට තවත් ස්වර එකතු කරල ගායනා කරන එක. ඒක ලංකාවේ අමාරු ම ගායන ශෛලියක්. අපි ඒකට කියන්නෙ හාර්මනි කරනව කියල. ඒ ගැන ඇයට විශිෂ්ට හැකියාවක් තිබුණා."

සුවිශේෂී ගායන ශෛලියකින් අතිශය ජනාදරයට පත්ව සිටි මරියසෙල් ගුණතිලක අද (ජූලි 10) කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවා ය.

68 වන වියේ පසුවූ ඇය, මාස කිහිපයක් තිස්සේ බඩවැල් ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පීඩා විඳි බව ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් බීබීසී සිංහල සේවයට පැවසීය.

වයස අවුරුදු 7න් ඇරඹි ගායන දිවිය

1958 ජූනි 11 වන දා නුගේගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ මරියසෙල් ගුණතිලක සිය සංගීත දිවිය ආරම්භ කළේ, වයස අවුරුදු 7දී ය.

ඇය නුගේගොඩ, ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා ය.

වයස අවුරුදු 10දී ඇය 1970 වසරේ පැවති Sunday Observer Talent Search නමැති ගායන තරගයේ කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහිකාව වූවා ය.

එම ජයග්‍රහණයෙන් පසුව යොවුන් සංගීත කණ්ඩායමක් වූ Junior Rhythmiers සමග එක්වීමට අවස්ථාව උදා විය.

60 දශකයේදී එම සංගීත කණ්ඩායම ශ්‍රී ලංකාවේ රසිකයින් අතර අතිශයින් ජනප්‍රිය විය. ඊට අමතරව, Emeralds සහ The Midnight Mist යන සංගීත කණ්ඩායම්වල ද ඇය ගායිකාවක ලෙස කටයුතු කළා ය.

"කණ්ඩායම් සංගීතය, විශේෂයෙන් ම ක්ලැරන්ස් විජේවර්ධනයන් යටතේ ඒ පරම්පරාවේ වෙනස් ආකාරයක ගායන රටාවක් අපේ ලංකාවට බිහි කරපු කෙනෙක්. බටහිර ශෛලියට අනුව ගීත ගායනා කිරීමේ හැකියාවක් ඇයට තිබුණා. ඒක ලංකාවේ සමාජගත වුණා. ඒක ඉදිරියේදිත් පවතියි කියල හිතන්න පුළුවන්," ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ පවසයි.

'කැන්ඩි ළමිස්සි' සහ 'යොවුන් සිහින ලෝකේ'

සිංහල සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පවසන ආකාරයට මරියසෙල් ගුණතිලකගේ හැරවුම් ලක්ෂය වූයේ, 'කැන්ඩි ළමිස්සි' ගීතය යි.

1977 වසරේදී පටිගත කරන ලද එම ගීතය ක්ෂණිකව අතිශයින් ජනප්‍රිය වූ අතර, මරියසෙල් ගුණතිලක සිංහල සංගීත ක්ෂේත්‍රයේ සලකුණක් තැබුවේ, එම ගීතය හරහා ය.

ඉන්පසු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මග පෙන්වීම යටතේ, 'යොවුන් සිහින ලෝකේ' ගීතය හරහා ඇයි තවදුරටත් ශ්‍රී ලාංකික රසිකයින් අතර ජනාදරයට පත්වූවා ය.

බයිලා ශෛලිය සමග බැඳී තිබූ ඇයගේ ගීත ගායනය, ආචාර්ය අජන්තා රණසිංහයන් රචනා කළ 'සිහින නෙළුම් මල්' ගීතය සහ වසන්ත කුමාර කොබවක රචනා කර, නවරත්න ගමගේ සංගීතවත් කළ 'බිම්මලට පිපෙන්නට' (සතිපූජා ටෙලිනාට්‍යය) යන ගීත හරහා වෙනස් මගකට අවතීර්ණ විය.

අලුත් පරපුරක්

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් පවසන්නේ, මරියසෙල් ගුණතිලකගේ ආභාසය ලැබූ අලුත් පරපුරක් සිංහල සංගීත ක්ෂේත්‍රයට බිහි වී ඇති බව ය.

"අවුරුදු 55කට වැඩි කාලයක් මරියසෙල් ක්ෂේත්‍රයේ හිටියා. බයිලා ශෛලියේ සහ බටහිර ශෛලියේ සිංහල ගීත ගායනා කරපු ගායිකාවෝ හිටියෙ ගොඩක් අඩුවෙන්. ඒ නිසා මරියසෙල් ගොඩක් ජනප්‍රිය වුණා. ගොඩක් ඇයව අනුගමනය කරන්න පටන් ගත්තා. එයාගෙ සින්දු කියලා ගොඩක් අය නමක් හදාගෙන ක්ෂේත්‍රයට ආවා. ඒකෙන් අලුත් පරපුරක් බිහි වුණා."