බ්‍රිතාන්‍ය මහ මැතිවරණය: වසර 5කදී පැවැත්වෙන තුන් වන මහ මැතිවරණය

ඡායාරූප මූලාශ්‍රය, EPA
වසර 5කට අඩු කාලයකදී එක්සත් රාජධානියේ පැවැත්වෙන තෙවන මහ මැතිවරණය අද (දෙසැ: 12) පැවැත්වේ.
මීට පෙර 2015 සහ 2017 වසරවලදී ද එක්සත් රාජධානියේ මහ මැතිවරණය පැවැත්විණි.
බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයක් දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන්නේ, ආසන්න වශයෙන් වසර 100කට පසුවය.
එංගලන්තය, වේල්ස්, උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තය පුරා මැතිවරණ කොට්ඨාස 650ක් වෙනුවෙන් ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 7.00 සිට ඇරඹෙයි.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
ඡන්දය භාවිත කිරීම රාත්‍රී 10.00ට අවසන් වීමෙන් පසු ඡන්දය ගණනය කිරීම ආරම්භ වනු ඇත. ඡන්ද ප්‍රතිඵල බොහොමයක් සිකුරාදා (දෙසැ: 13) අලුයම වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 650 දෙනෙකු තෝරා ගැනෙන්නේ, මැතිවරණ කොට්ඨාසය ජය ගැනීමේ පදනම මතය.
2017 වසරේදී ප්‍රතිඵල නිකුත් කෙරුණු පළමු මැතිවරණ කොට්ඨාසය වූයේ, මධ්‍යම නිව්කාස්ල් මැතිවරණ කොට්ඨාසයයි. එහි ප්‍රතිඵල නිකුත් කෙරුණේ, ඡන්ද විමසීම අවසන් වී පැයක් පමණ ගතවූ පසුවය.
සාම්ප්‍රදායිකව එක්සත් රාජධානියේ මැතිවරණ පැවැත්වෙන්නේ, වසර 5කට හෝ 4කට වරකි. කෙසේ වෙතත්, දෙසැම්බර් මාසයේදී මහ මැතිවරණයක් අවසන් වරට පවත්වා ඇත්තේ, 1923 වසරේදීය.
වයස අවුරුදු 18 හෝ ඊට වැඩි බ්‍රිතාන්‍ය පුරවැසියන් හෝ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටක පුරවැසිභාවයට සුදුසුකම් ලැබූවන්ට මහ මැතිවරණයේ ඡන්ද දායකයින් ලෙස ලියාපදිංචි විය හැකිය. ඔවුන් ලියාපදිංචි කිරීම නොවැම්බර් 26 වන දා අවසන් කෙරිණි.
බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණ උණුසුම ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින අතරවාරයේ පාලක කොන්සර්වේටිව් සහ ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබූ මැතිවරණ ප්‍රකාශනයන්හි අන්තර්ගත ශ්‍රී ලංකාවට අදාළ කරුණු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් අතර බලවත් නොසන්සුන් තත්වයක් උද්ගත වී තිබිණි.
ඒ පිළිබඳ තොරතුරු පහත දැක්වෙන ලිපියෙන් කියවන්න.



























