ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ ළිඳක සිර වූ බිළිඳෙකු බේරා ගැනීමේ මෙහෙයුම තෙවන දිනටත් ක්‍රියාත්මක වේ
ඉන්දියාවේ පටු ළිඳක සිර වී සිටින බිළිඳෙකු බේරා ගැනීම සඳහා පුළුල් මට්ටමින් දියත් කර ඇති බේරා ගැනීමේ මෙහෙයුම තෙවන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි මීටර 180 ක් ගැඹුරු පටු ළිඳකට වැටුණු සුජිත් විල්සන් නමැති දෙහැවිරිදි බිළිඳා මීටර 10 ක් පමණ (අඩි 30) ගැඹුරේ සිර විය. මේ වන විට ඔහු තවත් පහළට ලිස්සා ගොස් තිබේ.
බේරා ගැනීමේ කණ්ඩායම් දරුවා වෙත ඔක්සිජන් පොම්ප කරන නමුත් මඩ තට්ටු නිසා දරුවාගේ තත්ත්වය පිළිබඳ තක්සේරුවක් කළ නොහැක.
බර යන්ත්‍ර යොදා ගනිමින් දරුවා වැටුණු ළිඳට සමාන්තරව තවත් සිදුරක් විදීම සඳහා බේරා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටිති.
බිළිඳා, අත්හැර දමන ලද ළිඳට වැටී තිබුණේ පසුගිය සිකුරාදා යහලුවන් සමග සෙල්ලම් කරමින් සිටින අතරතුරදීය.
ළිං කට අසල රැඳී සිටින දරුවාගේ මව නොඅඬා සිටින ලෙස ඔහුට කෑගසමින් සිටි බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පැවසූහ.
ඉන්දියාවේ දීපාවලී උත්සවය සමරන දීර්ඝ සති අන්තය පුරා ඉහත කී සිදුවීම සමාජ ජාල ඔස්සේ පුළුල් ලෙස අවධානයට ලක් විය.
සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයන් ද දරුවාගේ ආරක්ෂාව පතා අදහස් පළ කර ඇති ආකාරය දක්නට ලැබිණි.
දරුවා ආරක්ෂිතව ගොඩ ගැනීමට ඉඩ සලසන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්තය පුරා කෝවිල්, මුස්ලිම් පල්ලි සහ කිතුනු දේවස්ථාන තුළ යාඥා පැවැත්වේ.
සිදුරු කිරීමේ යන්ත්‍රයක් යොදා ගනිමින් සමාන්තර සිදුරක් හෑරීම සඳහා ගත් පළමු උත්සාහය පොළවේ දැඩි බව හේතුවෙන් ඉරිදා අසාර්ථක වූ අතර ඒ සඳහා තවත් සිදුරු කිරීමේ යන්ත්‍රයක් රැගෙන එනු ලැබ ඇත.
දෙවනුව රැගෙන යා යන්ත්‍රය යොදා ගනිමින් රාත්‍රිය පුරා ගත් උත්සාහය මන්දගාමීව ඉදිරියට ඇදුනු බව ප්‍රාදේශීය වාර්තාකරුවන් නිකුත් කළ ට්විටර් පණිවුඩවල දැක්වේ.
දරුවා හුස්ම ගන්නා හඬ එක් අවස්ථාවකදී ළිං පතුල වෙත යවන ලද කැමරාවක සටහන්ව තිබුණු බව බලධාරීන් උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ වසරේ ජුනි මාසයේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි මේ හා සමාන ළිඳකට වැටී සිර වූ බිළිඳෙකු දින දෙකකට පසු බේරා ගැනීමට හැකි වූ නමුත් පසුව දරුවා මිය ගියේය.
ඉහත කී ආකාරයේ අත්හැර දමන ලද පටු ළිං අනාරක්ෂිත ලෙස විවෘතව තබන පුද්ගලයන්ට එරෙහිව දඩ නියම කරන ලෙස යළිත් වරක් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී.
සමාන පුවත්: