ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝකෙන්ම 3 වැනි තැන සිටින රුමේෂ්ට ගෝල්ඩන් ස්පයික් පිටියේ සුපිරි ජයග්‍රහණයක්
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
චෙක් ජන රජයේදී පැවති 65වන ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike ) මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඔහු තමන්ට හිමිවූ පළමු අවස්ථාවේදී මීටර් 85.87ක දක්ෂතාවක් දැක්වීය.
රුමේෂ් තමන්ට හිමිවූ දෙවෙනි අවස්ථාවේදී මීටර 86.30ක් දක්වා ඉදිරියට යෑමට සමත් විය.
මෙම තරගයේ ඔහු ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළේ තුන්වෙනි අවස්ථාවේදී වන අතර රුමේෂ් එහිදී මීටර් 86.57ක දක්ෂතාවක් දැක්වීය.
ඉන් අනතුරුව ඔහුට හිමි වූ අවස්ථා තුනේදීම සාර්ථක වීමට නොහැකි වුවද තුන්වෙනි අවස්ථාවේදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව හේතුවෙන් තරගය ජයගැනීමට රුමේෂ්ට හැකි විය.
ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලිය
1961 වසරේදී ආරම්භ වූ මෙම ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලිය යුරෝපයේ පැවැත්වෙන ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලියකි.
එය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (World Athletic ) රන් කාණ්ඩයේ තරගාවලියක්ද වේ.
එම තරගාවලි ඉතිහාසයේ තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද රුමේෂ් තරංග වාර්තා අතරට එක්විය.
මෙම තරගයේ දෙවැනි ස්ථානය හිමිවූයේ ග්‍රැනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්ටය. ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම අනුව දෙවන ස්ථානයේ පසුවේ.
පසුගිය 9 වැනිදා නිකුත් කළ හෙල්ල විසි කිරීම ක්‍රීඩක ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව රුමේෂ් තරංග සිටින්නේ තුන්වන ස්ථානයේ ය.
පළමු ස්ථානයේ සිටින්නේ, ජර්මනියේ ජූලියන් වෙබර්ය.
කෙසේ නමුත් මෙම වසරේදී හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වට ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා ලෙස තවදුරටත් ඉදිරියෙන්ම සිටින්නේ රුමේෂ් තරංග ය.
පසුගියදා රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවක් දැක්වීමට ඔහුට හැකි විය.
ලබන 19 වැනිදා කටාර්හි දෝහා නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා අදියර සඳහාද රුමේෂ් සහභාගි වීමට නියමිතය.
එම තරගය සඳහා සුපිරි ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රාද සහභාගි වීමට නියමිත බැවින් හොඳ තරගයක් දැක ගැනීමට අවස්ථාව උදාවෙනු ඇත.
රුමේෂ් තරංග යනු කවුද?
2003 වසරේ මාර්තු 21 වැනිදා කලුතර දී උපත ලද රුමේෂ් තරංග පතිරගේ මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙනි.
පසුව ඔහු බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළු විය.
ඔහුගේ පියා හිටපු යගුලිය විසිකිරීම සහ කවපෙත්ත විසිකිරීමේ තරග ඉස්ව්වල ශූරයෙකි.
ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයෙක් වූ රුමේෂ් 2019 වසරේ පැවැති යොවුන් වේග පන්දු යවන්නන් තේරීමේ තරගාවලියකදී පැයට කි.මි 134ක දක්ෂතාවයක් දැක්වීය.
හෙල්ල විසිකිරීම පුහුණුකරුවෙකු වන ටෝනි ප්‍රසන්න ඔහුව හෙල්ල විසිකිරීමේ ඉසව්වට කැඳවා ගත්තේ ඉන් අනතුරුවය.
ඔහු මේවන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරයි.
රුමේෂ්, 2024, 2025 ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කම දිනූ අතර පසුගිය වසරේ ජපානයේ පැවති මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී 7 වැනි ස්ථානයට පත් විය.