ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිලන්ත ගලවා ගැනීමේ මෙහෙයුම: 'සිරවී සිටි සියලුදෙනා ගලවාගත්තා'
උතුරු තායිලන්තයේ ලෙන් සංකීර්ණයක කොටුවී සිටි සියලු දෙනා මුදාගත් බව එරට නාවික හමුදාව නිවේදනය කළේය.
ඒ අනුව දින ගණනාවක් පුරා ක්‍රියාත්මක කෙරුණු අසීරු ගලවා ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර වූ අද දිනයේදී (ජූලි 10) අවසන් පිරිමි ළමුන් සිව් දෙනා සහ පුහුණුකරු ගලවා ගැනිණි.
ඉරිදා සහ සඳුදා බේරා ගැනුණු පිරිමි දරුවන් අට දෙනා රෝහල්ගත කොට තිබෙන අතර ඔවුන් සියලු දෙනාම අනෙක් රෝගීන්ගෙන් වෙන්කොට තබා තිබේ.
ඒ සියලු දෙනාම ගලවා ගනු ලැබුවේ අත්දැකීම් සහිත විශේෂඥ කිමිදුම්කරුවන් විසින් ලෙන ඔස්සේ ඇදගෙන යාමෙනි.
ඔවුන් සමග සිටි බේරා ගැනීමේ වෛද්‍යවරයෙකු සහ නාවික හමුදා භටයන් තිදෙනෙකු තවමත් පිටතට පැමිණ නැත.
වයස අවුරුදු 11 ත් 16 ත් අතර පිරිමි ළමුන් සහ ඔවුන්ගේ 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු ජුනි 23 දින වියළි කාලගුණයක් පැවති අවස්ථාවක ලෙනට ඇතුළු වී ඇති අතර හදිසියේ ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් ඇති වූ ජල ගැලීම් නිසා එයින් පිටවන ස්ථානය අවහිර වී තිබේ.
කොටු වූ පිරිස බේරාගැනීමේ මෙහෙයුම එදිනම දියත් කෙරුණු අතර ඉන් දින නමයකට පසු ජුලි 02 වෙනි දින ඔවුන් සොයා ගන්නා ලද්දේ ලෙන් මුඛයෙන් කිලෝමීටර හතරක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක රැඳී සිටියදීය.