ඉන්දියාවේ සිසුහු හිසේ කාඩ්බෝඩ් පෙට්ටි පැළඳ විභාගයට ඉඳ ගනිති

ඡායාරූප මූලාශ්‍රය, ANI
සිය හිස මත කාඩ්බෝඩ් පෙට්ටි පැළඳ විභාගයකට පෙනී සිටි සිසුන් පිරිසකගේ ඡායාරූප ප්‍රසිද්ධ වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ පාසලක බලධාරීහු සමාව ඉල්ලා සිටියහ.
අදාළ ඡායාරූප ගෙන ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ හවෙරි හි පිහිටි 'භාගත් ප්‍රී-යුනිවර්සිටි කොලේජ්' නමැති උසස් අධ්‍යාපන ආයතනයේ පැවති රසායනික විද්‍යා විභාග පරීක්ෂණයක් අතරතුරදීය.
අන් අයගේ උත්තර පත්‍ර දෙස බැලීම වළකාලීම සඳහා විභාග අපේක්ෂකයන් එක් පැත්තක් පමණක් විවෘත කරන ලද කාඩ්බෝඩ් පෙට්ටි හිස පැළඳ සිටින ආකාරය ඡායාරූපවල දැක්වේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් පළ කළ පාසලේ කනිෂ්ඨ පරිපාලකයෙක් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන්ගෙන් ඒ පිළිබඳ සමාව අයැද සිටියේය.
විභාග වංචා වැළැක්වීමේ අරමුණින් අසාමාන්‍ය ක්‍රමවේදයක් අත්හදා බැලීම පිළිබඳ කණගාටුවට පත්වන බව එම් බී සතිෂ් බීබීසී හින්දි සේවයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, ANI
ඉහත කී ක්‍රමවේදය වෙනත් විභාග පරීක්ෂණයක් සඳහා යොදා ගෙන ඇතැයි අසන්නට ලැබීමෙන් අනතුරුව සිය පාසල එය "පරීක්ෂණ මට්ටමින්" ක්‍රියාත්මක කළ බව ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ සිසු සිසුවියන්ගේ කැමැත්ත මත එය ක්‍රියාත්මක කළ බවය. සිසු සිසුවියන් විසින්ම සිය කාඩ්බෝඩ් පෙට්ටි රැගෙන එන ලද බවත් ඔහු පැවසීය.
"කිසිදු ආකාරයේ බල කිරීමක් සිදු වුණේ නැහැ. ඇතැම් සිසුන් පෙට්ටි පැළඳ නොසිටින ආකාරය ඡායාරූප ඔස්සේ දැකිය හැකියි. පෙට්ටි පැළඳ සිටි ඇතැම් අය මිනිත්තු 15 කට පමණ පසු ඒවා ඉවත් කළා. සමහර අය මිනිත්තු 20 කට පස්සේ ඉවත් කළා. ඒවා ඉවත් කරන ලෙස පැයකට පසු අප විසින්ම කියා සිටියා."

ඡායාරූප පිළිබඳ කනවැකුණු කලාප අධ්‍යාපන බලධාරීහු අවශ්‍ය පියවර ගැනීම සඳහා වහාම අදාළ පාසලට පැමිණ තිබේ.
ප්‍රාදේශීය පූර්ව විශ්වවිද්‍යාල අධ්‍යාපන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස් සී පීර්ජේඩ් විසින් ඉහත කී පියවර හඳුන්වනු ලැබුවේ "අමනුෂ්‍ය" ක්‍රියාවක් ලෙසිනි.
"මේ ගැන පණිවුඩය ලැබුණ වහාම මම වහාම ඒ පාසලට ගිහින් එම ක්‍රමවේදය නවත්වන ලෙස කළමනාකරණයට නියෝග කළා," යනුවෙන් ඔහු පැවසු බව 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' වාර්තා කර තිබුණි.
"ඒ වගේම මේ අදහස ක්‍රියාත්මක කිරීම ගැන මම පාසලේ කළමනාකරණයට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

විභාග වංචා කිරීම් සහ ඒවාට වැට බැඳීම සඳහා යොදා ගන්නා අසාමාන්‍ය ක්‍රමවේද ඉන්දියාවේ දුලභ නොවේ.
හමුදා සේවයට අයදුම් කළ තරුණයන් සිය ගණනකට සිය යට ඇඳුමින් ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සිදු වූ පුවතක් 2016 වසරේදී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා විය.

විභාග වංචා වැළක්වීමේ අරමුණින් අයදුම්කරුවන්ට ඇඳුම් උනා දැමීමට නියෝග කර තිබුණු අතර සිය යට ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූපවල එවක පළ විය.
විභාග අපේක්ෂකයන්ට පිළිතුරු ලබා දීම සඳහා දෙමව්පියන් සහ ඔවුන්ගේ මිතුරන් විභාග ශාලා ගොඩනැගිලි බිත්ති මත නැග සිටින අයුරු දැක්වෙන ඡායාරූප 2015 වසරේදී මාධ්‍ය තුළ පළ විය.
තවත් කියවන්න:




























