තායිලන්ත වනෝද්‍යානයක දිය ඇල්ලකට වැටී මිය ගිය අලි රංචුව

ඡායාරූප මූලාශ්‍රය, THAILAND DNP
එකිනෙකා බේරා ගැනීමට ගිය අලි හය දෙනෙකු තායිලන්තයේ දිය ඇල්ලකට වැටී මිය ගොස් තිබේ.
මධ්‍යම තායිලන්තයේ 'කාවෝ යායි' ජාතික වනෝද්‍යානය පිහිටි දිය ඇල්ලකට අලි පැටවෙකු ලිස්සා වැටීමෙන් පසු එම පැටවා බේරා ගැනීම සඳහා අනෙක් අලි උත්සහ කිරීමේදී මෙය සිදුව ඇතැයි නිලධාරීහු පවසති.
සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පිහිටි ප්‍රපාතයක කෙළවර සිටි තවත් අලි දෙදෙනෙකු තායිලන්ත නිලධාරීන් විසින් බේරා ගනු ලැබ තිබේ.
මින් ඉහතදීත් මේ හා සමාන සිද්ධි කීපයක් වාර්තා වූ මෙම දිය ඇල්ල හඳුන්වන්නේ 'හේවෝ නවොක්' (අපායේ දිය ඇල්ල) නමිනි.
1992 වසරේ ද මෙම දිය ඇල්ලට වැටී අලි රංචුවක් මිය යාමේ සිද්ධියක් ගැන ජාතික අවධානය යොමු වී තිබිණි.
සෙනසුරාදා (ඔක්තෝබර් 5) දින අලි රංචුවක් දිය ඇල්ලට යන මාර්ගය අවහිර වන ආකාරයට සිටින බවට ලැබුණ තොරතුරක් අනුව තායිලන්ත ජාතික වනෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ වන සත්ත්ව සහ ශාක සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට වාර්තා කර තිබිණි.
පැය තුනකට පසු දිය ඇල්ලේ ජලය වැටී රැඳී තිබෙන ස්ථානයකින් කුඩා අලි පැටවෙකුගේ සිරුරක් හමු වී ඇති අතර, ඒ ආසන්නයේ තිබී තවත් වැඩුණු අලි පස්දෙනෙකුගේ සිරුරු හමු විය.

ඡායාරූප මූලාශ්‍රය, KHAO YAI NATIONAL PARK
ප්‍රපාතය අද්දර සිට බේරාගත් අනික් අලි දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවන බව තායිලන්ත ජාතික වනෝද්‍යාන ප්‍රධානියා වන කන්චිත් සීනෝපවන් පැවසීය.
විශාල රංචුවකින් වෙන් වූ පසු ඔවුන් දෙදෙනාට ආරක්ෂා වීම සහ ආහාර සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇති බව 'වයිල්ඩ් ලයිෆ් ෆ්‍රෙන්ඩ්ස් (Wildlife Friends)' පදනමේ නිර්මාතෘ එඩ්වින් වීක් පැවසීය.
මේ තොරතුරුද කියවන්න:
එමෙන්ම, සිය රංචුවට සිදු වූ විපත හේතුවෙන් අලි දෙදෙනා මානසික පීඩනයකට ගොදුරු වීමේ අවදානමක් ද ඇත. අලි ඇතුන් සිය ශෝකය පළ කරන හැසිරීම් මින් පෙර හඳුනාගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, THAILAND DNP
"ඒක හරියට ඔයාගේ පවුලෙන් බාගයක් නැති වෙනවා වගේ," එඩ්වින් වීක් බීබීසී වෙත පැවසීය.
"අවාසනාවට මේ ස්වභාවධර්මයේ හැටි. මේ ගැන කරන්න කිසිවක් නැහැ," ඔහු පැවසුවේය.
තායිලන්තය තුළ ආසියානු අලි 7,000ක් පමණ සිටින බව තක්සේරු කෙරේ.




























