මහත්මා ගාන්ධි 150 ජන්ම සංවත්සරය: පෙරළිකාර යෞවනයෙකුගේ සිට 'ඉන්දියාවේ පියා' තෙක් - ගාන්ධි දිවියේ අවස්ථා 7ක්

Mahatma Ghandi enjoys a laugh with his two granddaughters Ava and Manu at Birla House in New Delhi.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාන්ධි සිය මිනිපිරියන් වූ මනු (වමේ) හා අභා (දකුණේ) සමග
Published

1940 ගණන්වලදී, එතෙක් පැවති බලසම්පන්න අධිරාජ්‍යයක් ඉතා චාම් වස්ත්‍රයකින් සැරසුණු මිනිසෙකු විසින් පරාජයට පත් කරනු ලැබිණි. ඔහු, මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි නො එසේනම් බොහෝදෙනා හඳුන්වන පරිදි මහත්මා ගාන්ධි ය.

මේ කාලය වන විට ඉන්දියාව යනු බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ රටවල් සමූහයකින් සැදි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසකි. එහි නීතියේ අවසානාත්මක බලය පැවතියේ බ්‍රිතාන්‍යය සතුව ය.

නිපුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ගාන්ධි බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාවට නිදහස දිනා දීමට මෙන්ම අන්ත දිළින්දන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කළේය.

අවිහිංසාවාදය මුල් කරගත් විරෝධතාවට ඔහු ගෙන දුන් නිදර්ශනය අද පවා ලෝකයේ ගෞරවයට පාත්‍රව ඇත.

මහත්මා ගාන්ධිගේ 150 වෙනි ජන්ම සංවත්සරයේදී, ඔහුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථා පිළිබඳ මෙහි සලකා බැලේ.

An illustration of Mahatma Gandhi as a young man and an older man
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව, ඔක්තෝබර් 2 වෙනිදා මහත්මා ගාන්ධිගේ 150 වෙනි ජන්ම සංවත්සරය සමරයි

ප්‍රභූ පැලැන්තියේ උපත ලැබීම

1869 ඔක්තෝබර් 2 වෙනිදා වයඹ දිග ඉන්දියාවේ රාජකීය රාජ්‍යයක් වන පොර්බන්දාර් හිදී මෝහන්දාස් කේ. ගාන්ධි උපත ලැබීය.

ප්‍රභූ පැලැන්තියක පසුබිමක් ඔහුගේ පවුලට වූ අතර පියා එම රාජ්‍යයේ ප්‍රධාන අමාත්‍යවරයා විණි.

Gandhi as a seven-year-old boy in Porbandar, India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හත් හැවිරිදි ගාන්ධි උතුරු ඉන්දියාවේදී

බැතිමත් කාන්තාවක වූ මෑණියන් කුඩා ගාන්ධි තුළ බලවත් ලෙස හින්දු ආචාර ධර්ම පැළපදියම් කළේ නිර්මාංශතාව, ආගමික රිස්සුම, සරල දිවි පෙවෙතක් හා අවිහිංසාවාදය යනාදිය සමගය.

පියාගේ අවසන් මොහොතට එක්වීම අතපසුවීම

තමන්ට වයස අවුරුදු 13 වෙද්දී, එම ප්‍රදේශයේම සිටි 14 හැවිරිදි කස්තුර්බා සමග ගාන්ධි අතිනත ගත්තේය.

යෞවනයෙකු වන විට ගාන්ධි සිය පවුලේ උග්‍ර ආගමික විශ්වාසවලට එරෙහිව නැගී සිටියේය. මාංශ අනුභව කළ ඔහු ගණිකා නිවාස කරා ද ගියේය. එහෙත්, තමන් එහි අපේක්ෂිත ක්‍රියාවල නොයෙදුණු බව ඔහු කියා තිබේ.

පවුකාරබවේ මුව විටටම මා ගියත් දෙවියන්ගේ අපරිමිත කරුණාව විසින් මට එරෙහිව මාව ආරක්ෂා කරගනු ලැබුවා." යැයි පසුව ඔහු ලියා තැබීය.

තමන්ගේම වර්ධනයක් ඇති කරගැනීම ගැන උනන්දු වූ ගාන්ධි, සෑම "අවකල් ක්‍රියාවකටම" පසුව ඒ සම්බන්ධයෙන් පසුතැවිලි විය.

සිය පියා මරණාසන්නව සිටින අතරේදී තමන්ගේ බිරිඳ සමග සංවාසයේ යෙදීමට ගිය ගාන්ධිට පියා අවසන් හුස්ම හෙලන අවස්ථාව ගිලිහිණි.

Gandhi's peaceful protest proved more persuasive than violence

ඡායාරූප මූලාශ්‍රය, iStock

මේ ගැන කොපමණ වූ වරදකාරී හැගීමක් ඇති වුයේද යන්න ඔහු තම ස්වයං චරිතාපදානයේ සඳහන් කළේය.: "මට අතිශයින්ම ලැජ්ජාවක් වගේම කාලකන්ණි බවක් දැනුණා. මං ඔහුගේ කාමරයට දිව්වා. තිරිසන් කාමාශාවෙන් මගේ ඇස් නොවැසෙන්න, ඔහු මියයන්න තිබුණේ මගේ දෑතේයි."

සිය බිරිඳට ලැබුණු දරුවා උපතින් සුළු වෙලාවකට පසු මියයාම ගාන්ධි දුටුවේ සිය පියා ළඟ නොසිටීම නිසා ලද ඵල විපාකයක් ලෙසිනි.

බ්‍රහ්මචර්යාවේ සපථවීම

නීති ශිෂ්‍යයකු ලෙස ලන්ඩනයේදී ගත කළ ජීවිතය තුළදී ගාන්ධිට හමුවූ පරම විඥානාර්ථ සමිතියේ සාමාජිකයෝ, විශේෂයෙන්ම භගවත් ගීතාව ඇතුළු හින්දු පත පොත සමීපව පරිශීලනය කිරීම සඳහා ඔහු දිරිමත් කළහ.

පුරාණ හින්දු ග්‍රන්ථ තමන්ට සැනසුමක් උදාකර දුන් බව පසුව ඔහු කියා තිබිණි.

හින්දු ආගම පිළිබඳ ඔහුගේ ඇගයීම වැඩිණි. අනෙකුත් ආගම් දෙසටද සමීප නැඹුරුවක් දැක්වූ ඔහු විශේෂයෙන්ම යේසුස් වහන්සේගේ 'කන්ද උඩ දේශනාවේ' ආභාෂය ලැබීය. ලියෝ තෝල්ස්තෝයි වෙතින් ද ඔහු උත්තේජනයක් ලද්දේය.

Mahatma Gandhi posing next to his wife Kasturba. India, 1915

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාන්ධි සිය බිරිඳ කස්තුර්බා සමග. 1915 ඉන්දියාවේදී

මේ අත්දැකීම්, සිය කුඩා කළ ලද සම්ප්‍රදායික හින්දු ප්‍රතිපත්ති කරා යළි ඔහුව රැගෙන යාමට උපකාරී විණි. නිර්මාංශතාව, අමද්‍යප වීම හා ලිංගික සබඳතාවලින් වැළකීම.

පසුව ඔහු බ්‍රහ්මචාරී දිවියකට සපථ වූ අතර (ඒ වනවිට දරුවන් සිවු දෙනෙකු සිටි අතර පස්වැන්නා උපතේදී ම මියගොස් තිබිණි.) සිය 'වලප්නා ලෝගුව' ලෙස ඔහු විසින් හඳුන්වාගන්නා ලද සම්ප්‍රදායික ඉන්දියානු ධෝතිය ඇඟලීමට පටන්ගත්තේය.

විවාදයට තුඩු දුන් පරීක්ෂාවක යෙදුණු ගාන්ධි, තමන් නග්නව නිදියන විට එම ඇඳටම පැමිණෙන ලෙස සිය මිනිබිරියක වන මනු හා තවත් කාන්තාවන්ට දැන්වූයේ, "ලිංගික ආශාව යටපත් කිරීම පරීක්ෂා කරන්න, නැතිනම් තවදුරටත් පරීක්ෂා කරන්න." යැයි රාමචන්ද්‍ර ගුහා විසින් රචිත චරිතාපදානයේ වචන අතර දැක්වේ.

මේ කිසිදු කාන්තාවක් සමග කිසිවිටක සංවාසයේ යෙදුණු බවට සාධක නොවූ අතර සති දෙකක් පමණ පුරා මේ පරීක්ෂාව කෙරිණි. පැතිරී ගිය විවේචනයක් ඒ කෙරෙහි එල්ල විය.

වෙන් කිරීමට එරෙහිව දකුණු අප්‍රිකාවේ කළ අරගලය

උපාධිය ලැබීමෙන් අනතුරුව නීතිඥ වෘත්තියේ යෙදීමේ අරමුණින් ගාන්ධි ඉන්දියාව වෙත පැමිණියේය. සිය පළමු නඩු හබයෙන්ම පරාජයට පත් ගාන්ධිව, ඔහු සේවය කරමින් සිටි බ්‍රිතාන්‍ය නිලධාරියකුගේ කාර්යාලයෙන් නෙරපා දැමිණි.

ලැජ්ජාවට පත් ගාන්ධි දකුණු අප්‍රිකාවේ රැකියාවක් ලැබ 1893 අප්‍රේල් මාසයේදී ඒ වෙත යාත්‍රා කළේය. ඉන් පසු වසර 21 ම ඔහුගේ ජීවිතය ගෙවුණේ එහි ය.

රට වටා ගමනේ යද්දී පළමු පන්තියේ දුම්රිය මැදිරිවලින් ඔහුව ප්‍රතික්ෂේප කෙරුණේ සමේ පැහැය හේතුවෙනි.

Indian lawyer, activist and statesman Mohandas Karamchand Gandhi recuperating after being severely beaten in South Africa, 18th February 1908.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නීතිඥවරයෙකු ලෙස ගාන්ධි, දකුණු අප්‍රිකාවේදී

ඉන්දීය සංක්‍රමණිකයින්ට දක්වන මේ සැලකිල්ලෙන් භීතියට පත් ඔහු, වෙන්කොට සැළකීමට එරෙහිව අරගල කිරීම සඳහා නටාල් ප්‍රදේශයේදී ඉන්දීය කොංග්‍රසය ගොඩ නැංවීය. ඒ සමග ස්ව-පවිත්‍රීකරණය පිළිබද අදහස අදහස වර්ධනය කිරීමට හා අවිහිංසාවාදී සිවිල් විරෝධතා ලෙස 'සත්‍යග්‍රහ' ඇරඹීය.

ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින් කෙරෙහි පනවන ලද බද්දකට එරෙහිව වැඩ වර්ජනයක් හා පාගමනක් සංවිධානය කිරීම හේතුවෙන් ගාන්ධි අත්අඩංගුවට ගැනුණු ද පසුව අදාළ බද්ද අත්හැරීමටත්, ගාන්ධි නිදහස් කිරීමටත් බ්‍රිතාන්‍යය පියවර ගත්තේය.

මේ පිළිබඳ පුවත එංගලන්තයේදී වාර්තා කෙරුණු අතර ගාන්ධි ජාත්‍යන්තර චරිතයක් බවට පත්වීමට පටන් ගැනිණි.

රාජද්‍රෝහී චෝදනාව

සික් ජාතිකයින්ගේ ශුද්ධ නගරය වන අම්රිත්සාර් හි ඇතිවූ ඝාතනයෙන් අනතුරුව පෙරලා ඉන්දියාවට පැමිණි ගාන්ධි ඉන්දියාවේ නිදහස වෙනුවෙන් ව්‍යාපාරයක් දියත් කරන්නට පටන් ගත්තේය. අම්රිත්සාර් හි හටගත් විරෝධතාවකට බ්‍රිතාන්‍ය පාලනය වෙඩි තැබීම නිසා පුද්ගලයින් 400 දෙනෙකු පමණ මරණයට පත්වී තවත් 1,300ක් තුවාල ලැබුහ.

ගාන්ධි ඇරඹු අවිහිංසාවාදී විරෝධතාව ඉන්දියාව පුරා සියලු සමාජ පන්ති හා ආගමිකයින් විසින් වැළඳගනු ලැබීය. බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීමද ඇතුළුව බ්‍රිතාන්‍යයට සහය නොදීමේ වැඩපිළිවෙලක් ගාන්ධි විසින් දිරිමත් කරනු ලැබිණි.

ප්‍රතිචාරය වූයේ, රාජද්‍රෝහීවීම මත අත්අඩංගුවට ගැනුණු ගාන්ධි වසර දෙකකට සිරගත කිරීමය.

Indian statesman Mahatma Gandhi (Mohandas Karamchand Gandhi, 1969 - 1948) fasts in protest against British rule after his release from prison in Poona, India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිරෙන් මිදුණු ගාන්ධි බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව උපවාසයේ යෙදිණි

යටත් විජිත ව්‍යාපාරයට විරුද්ධ ව්‍යාපාර මර්ධනය කිරීම සඳහා අර්බුදයට ලක්වූ රාජද්‍රෝහී නීතිය බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දෙනු ලැබුවේ, 1870 ගණන්වලදීය.

ගාන්ධිගේ ප්‍රකට කියමන වූයේ, මේ නීතිය "පුරවැසියන්ගේ නිදහස මැඩපැවැත්වීම සඳහා සකසුනක්" යනුවෙනි.

තවමත් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ අඩංගුවන මේ නීතිය බලයට පැමිණි සෑම ආණ්ඩුවක් විසින්ම ශිෂ්‍යයන්, මාධ්‍යවේදීන්, බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන් හා ආණ්ඩුව කෙරෙහි විවේචනශීලීවුවන් උදෙසා භාවිතයට ගනිමින් තිබේ.

අසාර්ථක සාකච්ඡා

1931 දී ගාන්ධි ලන්ඩනයට ගියේ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ එකම නියෝජිතයා ලෙස වටමේස සම්මන්ත්‍රණයකට සහභාගි වීමටය.

සිය සම්ප්‍රදායික වස්ත්‍රයෙන් සැරසී ඔහු ඉතා බලවත් ස්වභාවයක් පෙන්නුම් කළේය.

නමුත්, එවක 62 හැවිරිදි වූ ගාන්ධි එම සම්මන්ත්‍රණයේදී අසාර්ථක විණි.

Mahatma Gandhi leaves the Friends' Meeting House, Euston Road, after attending the Round Table Conference on Indian constitutional reform.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ අනාගතය ගැන සාකච්ඡා කෙරුණු වටමේස සම්මන්ත්‍රණයට එක්වූ ගාන්ධි, 1931 දී

ඉන්දියාවට නිදහස පිරිනැමීමට බ්‍රිතාන්‍යය සුදානම් නොවූ අතර ගාන්ධි තමන් වෙනුවෙන් කතා කරන්නේ යැයි විශ්වාස නොකළ මුස්ලිම්වරුන්, සික්වරුන් හා අනෙකුත් නියෝජිතයෝ එක්සත් ඉන්දියාවක් පිළිබඳ ඔහුගේ දැක්මට සහය නොදැක්වූහ.

මෙයින් අනතුරුව ගාන්ධි කොංග්‍රස් පක්ෂයෙන් හා දේශපාලනයෙන් පියවරක් පසුපසට ගත්තද, දලිත් නම් වූ පීඩිත කුලවල ජනතාව වෙනුවෙන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිය වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කළේය.

මහජනයා මෙහෙයවීම හා විරෝධතාව දැක්වීමේ සෘජු, සාමකාමී සුළු ක්‍රියාවලට ප්‍රවේශවීමට ගාන්ධි සතුවූ හැකියාව නිසා බ්‍රිතාන්‍ය අධිකාරීහු ක්‍රමයෙන් සාකච්ඡා මාර්ගයට පිවිසියහ.

අධිරාජ්‍ය පෙරලීම

දෙවෙනි ලෝක යුද්ධය විසින්, සිය අධිරාජ්‍යය කෙරෙහි වූ බ්‍රිතාන්‍ය ග්‍රහණය වියැකී යද්දී ගාන්ධිගේ අරමුණු ද ජයග්‍රහණය කරන්නට විය.

ඔහුගේ ආදරණීය රටට 1947 දී නිදහස ලැබිණි.

නමුත්, ඉන්දියාව හා පාකිස්තානය ලෙස රට දෙකඩ වීමෙන්, හින්දු හා මුස්ලිම් ජනයා එකම රාජ්‍යයක එක්ව විසීම පිළිබඳ ගාන්ධිගේ අපේක්ෂා සුන් වී ගියේය.

රට වෙන්වීම ප්‍රචණ්ඩත්වය වඩා උත්සන්න කෙරිණි. ඔහු දිල්ලිය වෙත පැමිණියේ ඉන්දියාවේ විසීම තෝරාගත් මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීමට සහයවීම හා මුස්ලිම්වරුන්ගේ අයිතීන් වෙනුවෙන් උපවාසයක් ඇරඹීම සඳහාය.

නිදහස ලබා මාස හයකට අඩු කලකදී, නගරයේ පැවති නැමදුම් රැස්වීමකට සහභාගීවීම සඳහා පියනගමින් සිටි ගාන්ධි උග්‍ර හින්දු මතවාදී තරුණයෙකුගේ වෙඩි පහරට ලක්විණි.

මුස්ලිම් ප්‍රජාව හා පාකිස්තානය කෙරෙහි ගාන්ධි තුළ වූ සමගි සම්පන්න ආකල්පය කෙරෙහි එම පුද්ගලයා උරණව සිටියේය.

ආගම, කුලය හා පන්තිය මත නොබෙදුණු ඉන්දියාවක් පිළිබඳ තමන්ගේ හීනය කිසිදා යථාර්ථයක් වනු නොදුටු, සාමය පිළිබඳ ගෝලීය රූපකයක් වූ ගාන්ධිගේ මරණයෙන් ශෝක වීමට ලොව පුරා ජනතාව එක්වූහ.