'ත්‍රිරෝද රථ රියැදුරු වයස් සීමාව': නලින් හේවගේ පැවසුවේ කුමක් ද? රියැදුරන් සහ ජනතාව කියන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.
පාසල් අධ්‍යාපනය අවසන් වූ වහා ම තරුණයන් ත්‍රිරෝද රථ පැදවීමට යොමුවීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා උත්සව සභාවක් අමතමින් සඳහන් කළේ ය.
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සඳහන් කළේ, මේ වන විට මෙරට ත්‍රිරෝද රථ රියැදුරන් ලක්ෂ 11ක් පමණ සිටින බව ය.
ත්‍රිරෝද රියැදුරු වයස් සීමාව වැඩි කිරීමේ අරමුණ කුමක් ද?
රජයක් ලෙස මානව සම්පත සංවර්ධනය සඳහා ප්රමුඛස්ථානයක් ලබා දෙන බවත්, ඒ වෙනුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැවසුවේ ය. මේ හේතුවෙන් බොහෝ තරුණයින් පාසල් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ රැකියාවට යොමු වන බැවින් ඊට පිළියමක් ලෙස ත්‍රිරෝද රථ රැකියාව සඳහා එක්වීමේ වයස් සීමාව අවුරුදු 40ක් දක්වා ඉහළ දැමීමට රජය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
"අපේ රටේ අනාගතය රැඳිලා තියෙන්නේ දරුවන්ගේ අතෙයි. මේ රටේ අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ. දියුණු මානව සම්පතක් දියුණු රටක් බවට ලංකාව පත් කරන්නේ. අපි රජයක් හැටියට ප්රමුඛස්ථානයක් දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට. ඒ වෙනුවෙන් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ගෙනත් තියෙන්නේ. මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා.
අපි ඉස්සරහට ත්‍රීවීල්වලට යන වයසත් ඇත්තට ම අවුරුදු 40ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලෙන් ගියපු ගමන් ත්‍රීවීල් එකක් අරන් පාරට එන්න බැහැ. ඒ නිසා අධ්‍යාපනයේ වෙනසක් කරනවා.
නිකම් හිතන්න ලංකාවේ දරුවෙක් ඉන්නවා එයා අධ්‍යපනයක නියැලෙන්නෙත් නැහැ, පුහුණුවක නියැලෙන්නෙත් නැහැ, රැකියාවක නියැලෙන්නෙත් නැහැ. ඉතින් අපි කුඩු බොනවා කියලා බැනලා වැඩක් තියෙනව ද? රස්තියාදු ගහනවා කියලා බැනලා වැඩක් තියෙනව ද? හොරකම් කරනවා කියලා බැනලා වැඩක් තියෙනව ද? කොතැන ද වැරැද්ද? ඒ අධ්‍යාපන මාවත් හැදිලා නැහැ. ඒක රේඛීය ගමන්මග වෙනුවට මේ දරුවන්ට බහු රේඛීය මාවත් අපි විවෘත කරලා නැහැ. ඒකෙ ප්‍රතිඵල තමයි සමාජයේ තියෙන්නේ. ප්‍රතිඵල වෙනස් කරන්න හේතුව හොයාගෙන හේතු සාධකවලට උත්තර හොයන්න ඕන. ඒක නිසා තමයි අපි මේ දැවැන්ත අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ගෙනල්ලා තියෙන්නේ," නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
'වෘත්තීය පුහුණුවල නියැලෙන පිරිස්වල අඩුවක්'
මේ අතර, නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වාර්ෂිකව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන 40,000කට අධික පිරිසක් හැරුණුවිට බොහෝ තරුණ තරුණියන් වෘත්තීය පුහුණුවක හෝ වෘත්තියක නියැලෙන්නේ නැති බව ය.
"මේ අධ්‍යාපනයේ ප්‍රතිඵල මොකක් ද අපිට අත්පත් කරලා දීලා තියෙන්නේ? ලක්ෂ 03ක් විතර පාසල්වලට ඇතුළත් වෙනවා. හත්ලිස් දාහකට වගේ විශ්වවිද්‍යාලවලට යන්න ඉඩ අවස්ථාව තියෙනවා. ඒ ගියත් ඒ අය අවශෝෂණය කර ගන්න ආර්ථිකයක් නැහැ. විශ්වවිද්‍යාලවලට ගිහින් ඇවිත් රැකියාවක් හොයා ගන්න උද්ඝෝෂණය කරනවා. 260,000ක් වගේ පිරිසක් එතැනින් පහළට හැලිලා හරි හමන් මාවත් නැතිව මේ වෙනකොට ලංකාවේ ත්‍රිරෝද රථවල ඉන්නවා මිලියන 1.1ක පමණ පිරිසක්. ලංකාවේ දර්ශකයක් තියෙනවා NEET කියලා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, රැකියා හෝ පුහුණුව යන කිසිවක නිරත නොවන තරුණ තරුණියන් ගැනයි මේ දර්ශකයේ සඳහන් වෙන්නේ. මේ දර්ශකයේ 2015 දී 40%ක් ලංකාවේ තරුණ තරුණියන් අධ්‍යපනයක නිරත වෙන්නේ නැහැ, පුහුණුවක නියැලෙන්නේ නැහැ, වෘත්තියක නියැලෙන්නේ නැහැ," ඔහු පැවසුවේ ය.

'නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන්න'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී සිංහල, ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් අදහස් විමසීමක් කළේ ය.
එහිදී අප වෙත අදහස් දැක්වූ කොළඹ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රැකියාවේ නිරත මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කියා සිටියේ, නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් තිබේ නම් පාසැලෙන් පිටවන දරුවෙකුට ත්‍රිරෝද රථ රැකියාවට පිවිසීමට අවශ්‍යතාවක් පැන නොනගින බව ය.
"හරි අධ්‍යාපන ක්‍රමයක් තියෙනව නම් ඉස්කෝලෙන් එළියට බහින ළමයෙකුට ත්‍රීවීල් එකක් දුවන්න ඕන නැහැ නේ. එයාට වෘත්තිමය හැකියාවක් තියෙන්න ඕන. ඇක්සිඩන්ට් වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අත්දැකීම් නැති එක යි, පළපුරුද්ද නැති එක යි. අවුරුදු 40 කරන එක නියාමනයක් කරලා කරන්න ඕන. එහෙම නැතිව එක සැරේ ම මේක කරන්න බැහැ නේ. මොනවා හරි දෙයක් තියෙන්නත් ඕන ළමයෙක්ට ඉගෙන ගන්නත්," ඔහු එලෙස සිය අදහස් පළ කළේ ය.
මේ අතර, කොළඹ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රැකියාවේ නිරතව සිටින මහනුවර පදිංචිකරුවෙකු වන ඩි.සී. රත්නායක කියා සිටියේ, ත්‍රිරෝද රථ රැකියාව යනු හුදෙක් රැකියාවක් නොව එය වගකීමක් සහිත වෘත්තියක් බව ය.
"ඇත්තට ම මේ අරන් තියෙන තීරණය හොඳ යි. මම පුද්ගලිකව හිතෙනවා මේක අවුරුදු 40 නෙමෙයි අවුරුදු 35 වෙනකම් අඩු කරනවා නම් කියලා. ඒ වගේ ම මේ වෘත්තියට එනවා නම් ඒකට කිසියම් ක්‍රමවේදයක් හදනව නම් තවත් වටිනවා.
මේ කේෂ්ත්‍රයේ ගොඩක් ගැටලු පටන් අරන් තියෙන්නේ කෙටිකාලීනව මේ රැකියාවට එන අය නිසා. දීර්ඝ කාලයක් මේ රැකියාව කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට හොඳ අත්දැකීමක් තියෙන්න ඕන. ත්‍රීවීල් එකක් දුවනවා කියන කොට ගොඩක් අය හිතන්නේ මේක ජොබ් එකක් කියලා. මේක ජොබ් එකක් නෙමෙයි වගකීමක්. වගකීමක් දරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන මේ රස්සාවට එන්න. සාමාන්‍යයෙන් තමන්ගේ පවුලේ අයව ත්‍රීවීල් එකේ දාගෙන යනවා වගේ තමයි කස්ටර්මර්ව නග්ග ගත්ත ම අපි යන්න ඕන," ඔහු පැවසුවේ ය.
වසර 8කට පෙර ආපසු හැරවුණු තීරණය
ත්‍රිරෝද රථ සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ දැමිය යුතු බවට යෝජනා ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය නොවේ.
2018 වසරේ බලයට පත්වූ යහපාලන රජය ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා මගී ප්‍රවාහන සේවය සඳහා රියැදුරු බලපත්‍රය ලබාදීම සඳහා වයස අවුරුදු 35ක් දක්වා ඉහළ දමන බවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
"මගී ප්‍රවාහන කටයුතු සඳහා නව ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයින් පරීක්ෂණ කිහිපයකට මුහුණ දිය යුතු වෙනවා. ඔවුන් වයස අවුරුදු 35 හෝ ඊට වැඩි අය විය යුතු යි. වයස අවුරුදු 35ට අඩු පුද්ගලයින්ට හිමි වන්නේ, පෞද්ගලික භාවිතය සඳහා වන ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍රයක් විතර යි. බලපත්‍රයක් නිකුත් කරනකොට, අයැදුම්කරු කිසියම් අපරාධ ක්‍රියාවකට සම්බන්ධ වී ඇත්දැයි අමාත්‍යාංශය විසින් පරීක්ෂා කරනවා," එහිදී අමාත්‍යවරයා පැවසුවේය.
කෙසේ වුව ද එවකට කැබිනට් මණ්ඩලය එම තීරණයට විරුද්ධ වීම හේතුවෙන් 2018 අගෝස්තු මස 21 වන දා ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා මගී ප්‍රවාහනය සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අවම වයස් සීමාව ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.

'දැන් ඉන්න අය රේස් එකට දුවනවා'
සිය දෛනික කටයුතු සඳහා ත්‍රිරෝද රථ භාවිත කරන කිහිප දෙනෙකු ද බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ, අද වන විට බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන් තරගයට මෙන් රිය ධාවනය කරන නිසා අනතුරු සිදුවීම් බහුල බව ය.
"ජනතාවගේ ආරක්ෂාව ගැන නේ බලන්න ඕන. වගකීමක් ඇතිව මගියාව රැගෙන යන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ කියල යි මම හිතන්නේ. දැන් ඉන්න අය රේස් එකට දුවනවා. ගොඩක් තරුණ අය යන මනුස්සයාගේ සේෆ්ටි එක බලන්නේ නැහැ. ඒ වගේ ම සාපේක්ෂව ඉන්නවා අවුරුදු 40ට වැඩි කට්ටියත්. එක එක්කෙනාට අනුව ඒක වෙනස් වෙනවා. මගියව සේෆ්ලි එක්කන් යනවා නම් ප්‍රශ්නයක් නැහැයි කියලයි මම කියන්නේ." ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක වන උපේක්ෂි බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවා ය.
මේ අතර, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක වන දනූෂි බීබීසී සිංහල වෙත කියා සිටියේ, ත්‍රිරෝද රථ ධාවනය සඳහා තරුණ පිරිස් යෙදවීම සුදුසු බව ය.
"ත්‍රීවීල්වල තමයි ගමන් යන්නේ. අවුරුදු 40ට වැඩි අය නෙමෙයි... තරුණ අය ම ඒ දේ කළා නම් හොඳයි නේද? ඒක ඉතින් එයාලට පැවරෙන වගකීමක් නේ. අපි යනවා එනවා කියන්නේ එයාලටත් වගකීමක් තියෙනවා එතකොට. අවුරුදු 40ක් කියන්නේ වයසින් මුහුකුරා ගියපු අය නේ ඉන්නේ. ඒ නිස යි මම කියන්නේ තරුණ අය හිටියනම් හොඳයි කියලා," ඇය සඳහන් කළා ය.
'එයාලට හිතෙන විදිහට නීති ගේන්න බැහැ'
ත්‍රිරෝද රථ රියැදුරන්වීම සඳහා වන වයස් සීමාව වයස අවුරුදු 40ක් ලෙස නියම කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙකු වන මංජුල කුමාර කියා සිටියේ, රජය එවැනි නීතියක් ගෙන එන්නේ නම් ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා දීමනාවක් ගෙවිය යුතු බව ය.
"අපි ජීවත් වෙන්නේ මේකෙන්. අවුරුදු 10ක් 15ක් ඉඳලා මමත් මේ ත්‍රිරෝද රැකියාවෙන් තමයි ජීවත් වෙන්නේ. මගේ වයස දැන් අවුරුදු 49ක් වෙනවා. මේ රැකියාවට එන්න පුළුවන් වයස අවුරුදු 40ක් කියලා වැඩි කරනවා නම් කොහොම ද ගොඩක් දෙනා ජීවත් වෙන්නේ කියලා හිතන්න ඕන. ත්‍රීවීල් ගොඩක් තියෙනව නේ මේ ලංකාවේ. කී දෙනෙක් මේ රැකියාව නිසා ජීවත් වෙනව ද? මිලියන ගාණක් ඉන්නවා. ඒගොල්ලෝ කියන විදිහට මේක කරන්න බැහැ. ඒ නීතිය කොහොම ද ගැලපෙන්නේ? එහෙනම් රජයෙන් වෙනවා මිනිස්සුන්ට දීමනාවක් ගෙවන්න. මේක තමයි අපේ රැකියාව," ඔහු පැවසුවේ ය.

මේ අතර, ත්‍රිරෝද රථ රියැදුරන්ගේ රැකියාව සඳහා සීමාවන් පැනවීම සම්බන්ධයෙන් ප්‍රචාරය වූ පුවත සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් ලබා ගැනීම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකර තිබේ. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ, රජයේ බලාපොරොත්තුව ත්‍රිරෝද රථ රැකියාව සීමා කිරීම නොව එම රැකියාවේ නිරත තරුණ පිරිසට සිය නිපුණතාව වර්ධනය කර ගනිමින් ඉදිරියට යා හැකි වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම බව ය.
බීබීසී සිංහල මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැනගැනීම සඳහා අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද මෙම ලිපිය පළවන තෙක් එය සාර්ථක නොවී ය.

































