මහත්මා ගාන්ධි ජීවමාන කරන ඉන්දියානු නළුවා

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK / DEEPAK ANTAN
ඉන්දියාව ජාතියේ පියා ලෙස සලකන මහත්මා ගාන්ධිගේ වේෂයෙන් යම් පුද්ගලයෙකු ජනතාව අතරට ගියහොත් කුමක් වේ ද?
මේ එවැනි අත්දැකීමකි.
ඔහුගේ නම දීපක් අන්ටානි, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට නළුවෙකි. ඔහු තම අත්දැකීම් විස්තර කළේ මෙසේය.
මෑතකදී මධ්‍යම රජයේ අමාත්‍ය සහ භාරතීය ජනතා පක්ෂ නායක මන්සුඛ් මණ්ඩාවියා ගුජරාට් ප්‍රාන්ත ගම්මාන ආවරණය කරමින් පාද යාත්‍රාවක් සංවිධානය කළ අතර දීපක් අන්ටානි ද ඊට සහභාගි විය.
"පසුගිය අට වසර පුරා ගාන්ධිතුමාගේ චරිතය විවිධ නාට්‍ය සහ වාර්තා වැඩසටහන්වල රඟපාමින් සිටිනවා," දීපක් පවසයි.
"එම රඟපෑම පැය කිහිපයකට හෝ නාට්‍යයේ ප්‍රදර්ශන වාරයට සීමා වෙනවා. නමුත් පාද යාත්‍රාවේදී ප්‍රථම වරට මම උදෑසන සිට රාත්‍රිය දක්වා ගාන්ධිතුමා විදියට ඇඳගෙන සිටියා", දීපක් පැවසීය.
"එසේ මිනිසුන් අතර සිටීම සුවිශේෂී අත්දැකීමක්. මිනිසුන් පැමිණ තිලක තබන විට සහ මල් මාලා දමන විට ඇති වුණේ පුදුමාකාර හැඟීමක්".

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK / MANSUKH MANDAVIYA
පාද යාත්‍රාව ජීවන යාත්‍රාව බවට පත් වීම
භාරතීය ජනතා පක්ෂ නායක මන්සුඛ් මණ්ඩාවියා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ජනවාරි 16 සිට 22 දක්වා පාද යාත්‍රාවක් සංවිධානය කළ අතර එය හැඳින්වූයේ, "පාද යාත්‍රාව ජීවන යාත්‍රාව බවට පත් වීම" යනුවෙනි.
"මිනිස්සු ගෞරවය දැක්වීමට මගේ පාද ස්පර්ශ කරන විට ගාන්ධිතුමාගේ චරිතය රඟපෑම කෙතරම් වගකීමක්දැයි මට දැනුණා", යැයි දීපක් පවසයි.
"මම මිනිසුන් අතරට සාමාන්‍ය ඇඳුමින් ගියොත් ඔවුන්ට මාව හඳුනා ගන්න බැහැ. එසේ ම එවැනි ගෞරවයක් මට ලැබෙන්නේත් නැහැ" "මේ ගෞරවය ලැබුණේ ගාන්ධි වෙනුවෙන්. මගේ ඇඳුම තමයි සියල්ල වෙනස් කළේ."
මේ තොරතුරුද කියවන්න:
"ගාන්ධිතුමාගේ සාරධර්ම සහ පරමාදර්ශ මිල කරන්න බැහැ. ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර අනුව මට තේරෙන්නේ එම ගුණාංග තවමත් ඔවුන්ගේ සිත් තුළ කාවැදී ඇති බවයි" ඔහු පැවසීය.
ගාන්ධිතුමා මෙන් ඇඳීමේ බැරෑරුම්කම් තමන් මීට පෙර ද අත්විඳ ඇති බව ඔහු සඳහන් කළේය.
උදාහරණයක් ගෙන හැර පාමින් 'යුග්පුරුෂ්' නමැති වේදිකා නාට්‍යය අතරතුර තමන් මුහුණ දුන් අත්දැකීමක් දීපක් මෙසේ හෙළි කළේය. "දර්ශන වාරයක් අතරේදී වරක් යම් පුද්ගලයෙක් මිටියකින් ඇණයක් ගහන්න පටන්ගත්තා. එවිට මම අපහසුතාවට පත්වුණා. මම දෙබස් නවතා ඔහුට එම වැඩේ නවත්තන්න කියලා කෑ ගැසුවා".
"නාට්‍ය දර්ශනය නිමවූ පසු සමහර නරඹන්නන් මා ළඟට ඇවිත් නාට්‍යය හොඳයි. එහෙත් ඔබ ගාන්ධිතුමාගේ චරිතය රඟපාන විට කෑ ගැසීම නුසුදුසුයි කියා මට කිව්වා" ඔහු පැවසීය. "එදා ඉඳලා මම තේරුම් ගත්තා, ගාන්ධි චරිතය රඟපානකොට මම ඉවසීමෙන් ඉන්න ඕන කියලා"

ඡායාරූප මූලාශ්‍රය, FACBOOK / VIJAY RUPANI
නොමියෙන චරිත රඟපෑම දුෂ්කරයි
ගාන්ධිතුමාගේ චරිතය රඟපෑමෙන් තම පෞරුෂත්වයට සිදුව ඇති බලපෑම ගැන දීපක් පවසන්නේ, තමා වෙනස් වී ඇති බව බොහෝ දෙනාගේ අදහස බවයි.
"ඔබට කාටවත් කෑ ගහන්න බෑ. කලබලකාරී අවස්ථාවක හෝ ඔබට තරහ යා නොහැකියි".
"ඔබට කිසි කෙනෙක් හට තර්ජනය කළ නොහැකියි. ඔබ වචන තෝරා බේරා ගෙන කතා කළ යුතුයි. ගති ලක්ෂණ වර්ධනය කර ගැනීම සහ වටපිටාවේ සිදුවන දේ ගැන කල්පනාකාරී වීම ඔබගේ ස්වභාවය විය යුතුයි. ගාන්ධිතුමාගේ පින්තූර සහ වීඩියෝ බොහෝ අය දැක තිබෙන නිසා ගාන්ධිතුමා කතා කරන සහ ඇවිදින ආකාරය ඔවුන් දන්නවා".
"ඔබ රාමා හෝ රාවණාගේ චරිත රඟපානවා නම් ජනතාව රූපවාහිනී නාට්‍යවල රඟපාන නළුවන් සමග ඔබව සංසන්දනය කරනවා".
"නමුත් ගාන්ධිතුමා ලෙස රඟපෑම ඉතා දුෂ්කරයි. විශේෂයෙන් ම ගාන්ධිතුමා ලෙස ජනතාව අතර ගැවසේ නම් වඩාත් ප්‍රවේශම් විය යුතුයි" යනුවෙන් දීපක් පවසන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK / DEEPAK ANTANI
ජීවිතය වෙනස්කර ගැනීම
දීපක් අන්ටානි ගාන්ධිතුමාගේ චරිතය දිගු කලක සිට රඟපාන අතර එමගින් තම ජීවිතයට බලපෑමක් ඇතිව තිබෙන බව ඔහු පිළිගනී.
"ගාන්ධිතුමාගේ චරිතය රඟපෑම ඇරඹීමත් සමග මම සමහර ඇබ්බැහිවීම් වලින් මිදුණා. පසුගිය වසර හය තුළදී මම බොහෝ පුරුදු අත්හැරියා".
"ගාන්ධිතුමාගේ සිරුර කෙට්ටුයි. මමත් මගේ සිරුරේ හැඩය ගැන සැලකිලිමත් විය යුතුයි. "
මහත්මා ගාන්ධි මෙන් ම දීපක් ද පාද යාත්‍රාවකට සහභාගි විය. "අපි ඉස්සෙල්ලා හිතුවේ ගම්වලට වාහනවලින් යන්න".
"නමුත් අපි ගම් එකින් එකට යන විට ලැබුණු ප්‍රතිචාරය ඉහළයි. එම නිසා මම තීරණය කළා පයින් ම යන්න"
එම පාද යාත්‍රාව පාදක කරමින් වාර්තා වැඩසටහනක් නිපදවා ඇති අතර එහි සමහර දෙබස් ලියන ලද්දේ, දීපක් විසිනි.
එක් දෙබසක් ඔහු මෙසේ ඉදිරිපත් කරයි, "ඔබගේ සාක්කුවේ මගේ පින්තුරය සහිත මුදල් නෝට්ටුවක් තිබෙනවා. මට කියන්න මගේ මුහුණේ සිනහවක් ඇති කරන්නේ කෙසේ ද කියා"
"ඔබ එම මුදල් නෝට්ටුව හොඳ දෙයකට යොදවන්න, නරක දෙයකට යොදන්න එපා. එවිට එම මුහුණෙහි සිනහව ඇති වේවි."
"බ්‍රිතාන්‍යයන්ට වෙඩි උණ්ඩ තිබුණා. නමුත් මා සතුව තිබුණේ, සත්‍යයේ ආයුධයයි" යනුවෙන්ද ඔහු සටහන් කර තිබුණි.




























