පුතාගේ වෙඩි පහරට පියා ගොදුරු වූ වල් ඌරු දඩයම

Published

වල් ඌරු දඩයමේ යෙදී සිටියදී පුත්‍රයාගේ වෙඩි පහරට ලක්ව පියා මිය යාමේ පුවතක් ඉතාලියෙන් වාර්තා විය.

පිය පුතු දෙදෙනා වල් ඌරන් දඩයම් කිරීම සඳහා ඉතාලියේ දකුණුදිග පිහිටි සලේර්නෝ පළාතේ පොස්ටිලියෝනේ නගරය ආශ්‍රිත පඳුරු සහිත ප්‍රදේශයක සැරිසරමින් සිටියහ.

හදිසියේ පඳුරකට එපිටින් ඇසුණු ශබ්දයක් අනුව ඒ දෙස නෙත් යොමු කරද්දී දුටු ඡායාවක් ඉලක්ක කොට 34 හැවිරිදි පුත්‍රයා වෙඩි තබා ඇත.

එම පඳුරට මුවා වී සිටියේ පියා ය. පියා ගේ උදරයට වෙඩි පහර වැදී ඇත.

ඒ බව දැනගත් වහාම පුත්‍රයා තම පියාගේ දිවි බේරා ගැනීම සඳහා යුහුසුළු වී තිබේ. නමුත් 55 හැවිරිදි මර්ටිනෝ ගල්ඩියෝසෝ ගේ ජීවිතය රැක ගැනීමට වෛද්‍යවරු අසමත් වුහ.

මෙම පිය පුතු දෙදෙනා දඩයමේ ගොස් ඇති ප්‍රදේශය දඩයම තහනම් වූ ජාතික උද්‍යානයක් බව ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් සතුව තිබු රයිෆල් තුවක්කු පොලිස් භාරයට ගෙන ඇති අතර 34 හැවිරිදි පුත්‍රයාට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩු පවරා ඇත.

ඉතාලිය මේ වන විට "නපුරු දඩබිමක්" බවට පත්ව ඇති බව ඉතාලියේ වන ජීවීන් සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා පවතින ආයතනයේ සහාපතිනිය වන මිශේලා විටෝරියා බ්‍රම්බිලා ප්‍රකාශ කළාය.

ඉරිදා දිනයන් හි දඩයමේ යාම සපුරා තහනම් කළ යුතු බව ඉතාලියේ පරිසර අමාත්‍ය සෙර්ගියෝ කොස්තා පසුගිය ඔක්තෝබරයේ දී ප්‍රකාශ කර තිබුණි.

ඔහු එම ප්‍රකාශය කර තිබුණේ දඩයක්කරුවෙකු ගේ වෙඩි පහරකට ලක් ව 18 හැවිරිදි යෞවනයෙකු මරණයට පත්වීමේ සිද්ධියක් වාර්තා වීමෙන් අනතුරුව ය. එය සිදු වුයේ ප්‍රංශ දේශ සීමාව අද්දර ය.

ඉන් අනතුරුව එවැනිම මරණ දෙකක් වාර්තා විය. එම සිදුවීම්වලින් මරණයට පත් වී තිබුණේ 56 හැවිරිදි පුද්ගලයෙකු සහ 20 හැවිරිදි තරුණයෙකි.