ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලි පයට පෑගුනු රයිනෝ "දඩයක්කරු" සිංහයෝ කා දමති
දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ රයිනෝ දඩයමේ යෙදුනු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අලියෙකු විසින් පාගනු ලැබ ඇති අතර පසුව සිංහ රංචුවක් විසින් ආහාරයට ගනු ලැබ තිබේ.
අදාළ පුද්ගලයා අලියෙකු විසින් පසුගිය අඟහරුවාදා මරා දමන ලද බව ඔහු සමග සිටි සෙසු දඩයම්කරුවන් ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත පවසා තිබේ. ඥාතීන් ඒ බව උද්‍යාන පාලකවරයාට දන්වා ඇත.
කණ්ඩායමක් මෘත ශරීරය සොයා ගැනීමේ උත්සාහයක නිරත වූ අතර දින දෙකකට පසු ඔවුන්හට සොයා ගැනීමට හැකිව ඇත්තේ මිනිස් හිස්කබලක් සහ කලිසමක් පමණි.
වනෝද්‍යානයේ කළමනාකරණ විධායක නිලධාරියා ඒ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කර තිබේ.
"නීති විරෝධී ලෙස ඇතුළු වී කෘගර් ජාතික වනෝද්‍යානය තුළ ඇවිද යාම ඥාණාන්විත නැහැ" යනුවෙන් ඔහු පැවසීය.
"එමගින් අනතුරු බොහොමයක් සිදු විය හැකියි. මේ සිදුවීම ඒ සඳහා සාක්ෂියක්"
වන සතුන් දඩයම කෘගර් ජාතික වනෝද්‍යානය තුළ දිගින් දිගටම පවතින ගැටලුවකි. රයිනෝ අං සඳහා තවමත් ඇතැම් ආසියානු රටවල පවතින්නේ දැඩි ඉල්ලුමකි.
පසුගිය සෙනසුරාදා හොංකොං ගුවන් තොටුපළ බලධාරීන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන් 2.1 ක් පමණ වටිනා රයිනෝ අං තොගයක් සිය භාරයට ගනු ලැබීය.
එය, වසර පහක් තුළ අල්ලා ගන්නා ලද විශාලතම රයිනෝ අං තොගය යැයි බලධාරීහු පැවසූහ.