ප්‍රංශයෙන් එංගලන්තයට පියඹා ගිය මිනිසා

Flying board

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කිලෝමීටර 35.4ක දුරක් යෑමට ඔහුට ගත වූයේ මිනිත්තු 22ක් පමණි
Published

පියාඹන උපාංගයක (flyboard) නැගී සාර්ථක ලෙස ඉංග්‍රීසි ඕඩය තරණය කර එංගලන්තයට ගොඩබැසීමට ප්‍රංශ ජාතිකයෙකු වන 'ෆ්‍රෑන්කි සපාටා' සමත් වී තිබේ.

ඉරිදා (අගෝස්තු 04) ප්‍රංශයේ 'කැලේ (Calais)' ප්‍රදේශයෙන් පැතලි හැඩයේ උපාංගයට නැගුණු හතළිස්‌ හැවිදිරි ෆ්‍රෑන්කි සපාටා, එංගලන්තයේ 'ඩෝවර්' නගරයේ පිහිටි ශාන්ත මාගරට් මුහුදු බොක්කට ගොඩ බසින ලදී.

පිටේ එල්ලාගත් භූමිතෙල් පිරවූ ටැංකියකින් ක්‍රියාත්මක වන මෙම උපාංගයෙන් කිලෝමීටර 35.4ක දුරක් යෑමට සපාටාට ගත වූයේ මිනිත්තු 22ක් පමණි.

වීඩියෝ ශීර්ෂ වැකිය, "මට අදහගන්න බෑ"

ජෙට්-ස්කී ක්‍රීඩාවේ ශූරයෙකු වන ෆ්‍රෑන්කි සපාටා ජූලි 25 වෙනිදා ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. නැවත ඉන්ධන පිරවීමේ දී සිදු වූ අවුල්සහගත තත්වයන් ඊට හේතු වී තිබේ.

"අපි මේ යන්ත්‍රය හැදුවේ අවුරුදු තුනකට කලින්... හැබැයි දැන් අපි ඉංග්‍රීසි ඕඩය තරණය කළා. මට අදහගන්න බෑ,' ඔහු කඳුළු වගුරමින් පැවසීය.

"මෙය ඓතිහාසික මොහොතක්ද නැද්ද කියන එක තීරණය කරන එක කරන්න ඕනේ මම නෙමෙයි. එය කාලය විසින් තීරණය කරයි," ඔහු තවදුරටත් පැවසුවේය.

Flying board

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, එංගලන්තයේ ඩෝවර් නගරයට ඇතුළු වන ෆ්‍රෑන්කි සපාටා

සිය පියාඹන උපාංගය පැයට කිලෝමීටර 170ක් දක්වා වේගයකින් ගමන් කළ බව එංගලන්තයේ ඩෝවර්හි රැස්ව සිටි පිරිස ඇමතූ ෆ්‍රෑන්කි සපාටා පැවසුවේය.

ගමනින් හරි අඩක් පැමිණි විට පිටේ එල්ලා ගෙන සිටි තවත් බෑගයකින් ඉන්ධන මාරු කර ගැනීම ඔහු මුහුණ දුන් විශාලතම අභියෝගයයි.

මින් පෙර එම උත්සහය අතරතුර බෝට්ටුවකට ගොඩ බැසීමේ දී සමබරතාව ගිලිහී ගොස් ෆ්‍රෑන්කි සපාටා ජලයට ඇද වැටිණි.

මෙවර විශාලත්වයෙන් වැඩි බෝට්ටුවක් සහ වේදිකාවක් යොදා ගැනීමට කටයුතු කර තිබූ අතර, හෙලිකොප්ටර් තුනක් ද ඔහු වටා ගමන් කරනු දක්නට ලැබිණි.

Flying board

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශ රජය මෙම තාක්ෂණය වැඩි දියුණු කිරීමට ක්‍රියා කරමින් සිටී

ජූලි මස පැරීසියේ පැවති 'බැස්ටිල් දින' හමුදා සැමරුම්වල දී ෆ්‍රෑන්කි සපාටා සිය පියාඹන උපාංගයේ නැගී සංදර්ශනයක් පැවැත්වීමත් සමග ඔහු ගැන දැඩි අවධානයක් යොමු විය.

ප්‍රංශ රජය මෙම තාක්ෂණය වැඩි දියුණු කිරීමට ක්‍රියා කරමින් සිටින අතර, ෆ්‍රෑන්කි සපාටාගේ ආයතනයට (Z-AIR) ඩොලර් මිලියන 1.4ක් ප්‍රදානය කර තිබේ.

ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ ප්‍රංශ ආරක්ෂක ඇමතිවරයා 'පියාඹන උපාංගය' ගැන අදහස් දක්වමින් පැවසුවේ, "මෙවැනි පියාඹන යන්ත්‍ර මගින් ප්‍රයෝජන කිහිපයක් ලබා ගන්න පුළුවන්" යනුවෙනි.

සැපයුම් ගෙන යෑමට හෝ ප්‍රහාර එල්ල කිරීම සඳහා එවැනි උපාංග යොදා ගැනීමට හැකි බව ඔහු පැවසීය.

Flying board

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය බිරිඳගේ සහයෙන් ප්‍රංශයෙන් පිටත් වීමට සූදානම් වෙමින්

මේ තොරතුරුද කියවන්න: