
ශ්‍රී ලංකාවේ යුද්ධය වැනි අර්බුද සම්බන්ධයෙන් ක්‍රියා කිරීමෙහිලා එක්සත් ජාතීන්ගේ ක්‍රියා පටිපාටිය වඩාත් සංවිධානාත්මක විය යුතු බව මහ කොමසාරිස්වරිය පවසයි
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව සැලකිල්ලෙන් බලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ ඒ බව සඳහන් කළේ භාෂණයේ නිදහස සහ වෛරී සහගත ප්‍රකාශන මැයෙන් සෙනසුරාදා ලන්ඩන් ආර්ථික විද්‍යාලයේදී දේශණයක් පවත්වමින්.
එමෙන්ම පසුගිය වසරේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්රියාධරයන්ට ආණ්ඩුවේ දූත පිරිසෙන් කෙරුණු හිරිහැර සහ විදේශ අමාත්‍යංශ වෙබ් අඩවිය මඟින් ඔවුන්ට තර්ජනය කිරීම පිළිබඳව අවධානය පළ කරමින් තමන් විදේශ අමාත්‍ය ජී එල් පීරිස්ට ලිපියක් යැවූ බවද ඇය සඳහන් කළාය.
මහ කොමසාරිස්වරිය ඒ බව සඳහන් කළේ සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදී ෆරාස් ශෞකටලි මාධ්‍යවේදියාට නාඳුනන පිරිසක් විසින් ඔහුගේ නිවසේදී වෙඩි තැබීමෙන් දිනකට පසුවයි.
මාධ්‍යවේදියාට වෙඩි තැබීම

සිද්ධියේ සැකකරුවන් හඳුනා ගෙන ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් වහාම කළ යුතු බව බ්‍රිතාන්‍යය ද අවධාරණය කරයි
සන්ඩේ ලීඩර් මාධ්‍යවේදියාට වෙඩි තැබීම පිළිබඳව ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට්, සිද්ධියේ සැකකරුවන් හඳුනාගෙන ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් වහාම කළ යුතු බව අවධාරණය කරයි.
මේ අතර ඉන් දින කිහිපයකට පෙරාතුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමතූ මහා කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්රයේ අවධානය පළ විය යුතු විශේෂ අංශ හතරක් පිළිබඳව සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් පිළිබඳව විශ්වසනීය තොරතුරු ඉක්මනින් දැන ගැනීමට අවස්ථාව සැලසෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් නිසි තීරණ ගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට අවස්ථාව හිමිවන බව ඇය පවසන්නීය.
එවැනි උල්ලංඝනයන් පිළිබඳව වාර්තාවීම වැළැක්වීමේ අරමුණින් එවැනි ගැටුම් පැවැත්වෙන ප්‍රදේශවලට පැමිණ නිරීක්ෂණ කිරීම සඳහා එක්සත් ජාතීන්ට අවසර දීම අදාළ බලධාරීන් ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දෙන ඇය, අනෙක් අතට එවැනි අවස්ථා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ටද දීර්ඝ කාලයක් ගත වන බව ද සඳහන් කරන්නීය.
එමෙන්ම මෙවැනි අර්බුද සම්බන්ධයෙන් ක්‍රියා කිරීමෙහිලා එක්සත් ජාතීන්ගේ ක්‍රියා පටිපාටියද වඩාත් සංවිධානාත්මක විය යුතු බවත් ඇය පෙන්වා දෙන්නීය.
මානව හිමිකම් උල්ලංඝනයන් වැළැක්වීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාකාරීව මැදිහත් විය යුතු බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය අවධාරණය කරන්නීය.
රුවන්ඩාවේදී මෙන්ම ශ්‍රී ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදීත් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර ඉක්මන් සම්මුතියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරුණු බවයි, ඇය පවසන්නේ.












