
සන්ඩේ ලීඩර් මාධ්‍යවේදී ෆාරෂ් සෞකට් අලි ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යවේදීන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමේ වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට ඇති බව කියා සිටියි.
"පසුගිය කාලයේ ජනමාධ්‍ය වේදීන්ට එල්ල වූ ප්‍රහාර කිසිවකට යුක්තිය ඉටු වී නැති පරිසරයකයි මෙම පහරදීම වාර්තා වී තිබෙනවා"
සුනිල් ජයසේකර
නාදුනන තුවක්කුකරුවන් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද ෆාරෂ් සෞකට් අලි මාධ්‍යවේදියා තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ඔහුගේ තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි රෝහල් ආරංචි මාර්ග වලින් ප්‍රකාශ වන්නේ.
රජය අපොහොසත්
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කිරීම හැර වෙනත් තොරතුරු ලැබී නැති බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර, මාධ්‍ය වේදීන්ට එල්ල වන ප්‍රහාර නැවත්වීමට රජය අපොහොසත් වී ඇති බවයි පවසන්නේ.
"පසුගිය කාලයේ ජනමාධ්‍ය වේදීන්ට එල්ල වූ ප්‍රහාර කිසිවකට යුක්තිය ඉටු වී නැති පරිසරයකයි මෙම පහරදීම වාර්තා වී තිබෙනවා" යයි ඔහු කියා සිටියි.
ජනමාධ්‍යවේදී ෆාරෂ් සෞකට් අලි ට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව එක්ව පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සංදේශයට ප්‍රකාශ කලේ.
තම ජීවිතයට තර්ජනය ඇති බවට මාධ්‍යවේදී ෆාරෂ් සෞකට් අලි විසින් කිසිඳු පොලිසියකට පැමිණිල්ලක් කර ඇති බවට තොරතුරු නැතැයිද ඔහු කියා සිටියේය.












