නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති

ඡායාරූප මූලාශ්‍රය, PMD
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍යවරුන් 04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කරන ලදී.
කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්, වන්නේ,
- විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස්
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන - දිනේෂ් ගුණවර්ධන
- නාගරික සංවර්ධන හා නිවාස - ප්‍රසන්න රණතුංග
- විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර
අගමැතිවරයාගෙන් සජිත්ට ලිපියක්
අග්‍රාමාත්‍ය රනිල් වික්ර්මසිංහ විපක්ෂ නායකවරයාට ලිපියක් යොමුකරමින් ආරාධනා කර සිටියේ දිනෙන් දින උග්‍ර වන මහජනතාවගේ දැවෙන ප්‍රශ්න අප්‍රමාදව විසඳීම සඳහා මෙන්ම ජාත්‍යන්තර සහයෝගය ද ලබා ගනිමින් ශ්‍රී ලංකාව ආර්ථික සමාජීය හා දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම සඳහා දරන සාමූහික ප්‍රයත්නයට සහාය වීම ජාතික වගකීමක් සේ සලකා එම වගකීම ඉෂ්ඨ කිරීමට පක්ෂ බේද නොසළකා සමගි ජන බලවේගයටත් අත්වැල් බැඳ ගන්නා ලෙසයි.
අගමැතිවරයා තම ලිපියෙන් පවසා ඇත්තේ "ශ්‍රී ලංකාව මේ මොහොතේ ඇති දැවැන්ත ආර්ථික සමාජයීය හා දේශපාලන අර්බුදයකට මුහුණ පා ඇති බව අප සියලු දෙනා හොඳින් දන්නා කරුණකි. දිනෙන් දිනම උග්‍රවන මෙම අර්බුදය අවසන් කොට ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීම සඳහා අප සියලු දෙනා අත්වැල් බැඳ ගනිමින් කටයුතු කළ යුතු බව අවිවාදයෙන් පිළිගත් යුතුය. මේ මොහොතේ අප කටයුතු කරනු ලබන ආකාරය හා අප විසින් ගනු ලබන තීරණ අනුව රටේ අනාගත දිශානතිය නිශ්චය වන බැවින් ඉදිරි පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමේ ඓතිහාසික වගකීම්ක් අප සියළු දෙනා වෙත පැවරී ඇත."
"අප මාතෘ භූමියේ ඉතිහාසයේ දැවැන්තම අර්බුදයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ මවිසින් අග්‍රාමාත්‍ය ධූරය බාර ගනු ලැබුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලබා ගනිමින් සම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා රට නව දේ දේශපාලන මාවතකට යොමු කිරීම සඳහා වන ජනතා අපේක්ෂාව මල්ඵල ගැන්වීමට මූලික අඩිතාලම සැකසීමේ බලාපොරොත්තුවෙන් බව සිහිපත් කරමි. පවතින තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සඳහා ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේ ද මෙම නව දේශපාලන මාවත ඔස්සේ ගමන් කරමින් අප සියලු දෙනාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් හා දැඩි කැපවීමෙන් රට ස්ථාවර මට්ටමකට ගෙන ඒමයි."
"ඒ අනුව, දිනෙන් දින උග්‍ර වන මහජනතාවගේ දැවෙන ප්‍රශ්න අප්‍රමාදව විසඳීම සඳහා මෙන්ම ජාත්‍යන්තර සහයෝගය ද ලබා ගනිමින් ශ්‍රී ලංකාව ආර්ථික සමාජීය හා දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම සඳහා අප දරන සාමූහික ප්‍රයත්නයට සහාය වීම ජාතික වගකීමක් සේ සලකා එම වගකීම ඉෂ්ඨ කිරීමට පක්ෂ බේද නොසළකා අත්වැල් බැඳ ගන්නා මෙන් සමගි ජන බලවේගයට ගෞරවයෙන් ආරාධනා කරමි."
"ගත වන දිනක් පාසා මෙරට අනාගතය දැඩි අවධානම් තත්ත්වයකට මුහුණ දෙමින් පවතින බැවින් ඉහත ඉල්ලීම සඳහා ඔබතුමාගේ කඩිනම් මෙන්ම ධනාත්මක ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි," යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ තම ලිපියෙන් පැවසීය.
එම පිලියට පිළිතුරු ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ ඔහු ජනපතිවරයාට පැවසූ තම ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවයි එහෙත් ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේ දී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව ඔහු පැවසීය.
"අප මාතෘභූමිය ඉතිහාසයේ මුහුණ දී ඇති දැවැන්තම ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීමේදී මහපොලොවේ ජනතා මතයට අනුව විසඳුම් සෙවිය යුතු බව සමගි ජන බලවේගයේත් සමගි ජන බල සන්ධානයේත් මතයයි. මෙම අර්බුදයේදී ජනතාව ඉල්ලා සිටින දේශපාලන විසඳුම් පිළිබඳව සලකා බැලීමේදී ඉතා පැහැදිලිව විවිධ ඉල්ලීම් සහිතව රාජපක්ෂවරුන් නොමැති පාලනයක් ඉල්ලා සිටී."
"රට හමුවේ ඇති බරපතළ අභියෝගයන් ජය ගැනීම සඳහා සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සමගි ජන බලවේගය සියලු දේශපාලන පක්ෂ සමඟ පසුගිය සති කිහිපයේ සාකච්ඡා කළ බවත් ඒ බව ජනාධිපතිතුමාට ද දැනුම් දුන් බවද සිහිපත් කරමි."
"සමගි ජන බල ධන යේ ස්ථාවරය අනුව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද ලිපි දෙකෙහිම පිටපත් මේ සමග අමුණා ඇති අතර එහි සඳහන් කරුණු වලට අදාලව අපගේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොමැති බව සඳහන් කරමි."
"එමෙන්ම ජන ජීවිතයේ ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේ දී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව තවදුරටත් දැනුම් දෙමි."
නව ආණ්ඩුවට පොදුජන පෙරමුණේ සහාය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන නව ආණ්ඩුවට සහාය දිමට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද (මැයි 14)තීරණය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්ධිරයේදී එම රැස්වීම පැවැතිවිණි.
රැසවීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 90කට අධික පිරිසක සහභාගී වී තිබේ.
සිය පක්ෂය ද රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිහිටු වීමට නියමිත ආණ්ඩුවට සහය දිමට තිරණය කල බව ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සඳහා වැදගත් පියවරක් බවත්, එය මහජන විශ්වාසය තහවුරුවන ආකරයට කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේය.






























