කිරි කර්මාන්තය: රටින් ගෙනෙන දෙනුන් නිසා කිරි ගොවීන් අමාරුවේ ද?

ආර් ඩී චන්ද්‍රිකා

ඡායාරූප මූලාශ්‍රය, ආර් ඩී චන්ද්‍රිකා

Published

''මම ග්‍රාමීය බැංකුවෙන් ලක්ෂයක ණය මුදලක් අරගෙන පිටරටින් ගෙන ආ දෙනක් සතුන් ඇති කරන පුද්ගලයෙකුගෙන් මිලට ගත්ත රුපියල් හැත්තෑ දහසකට. මාස කිහිපයකට පසුව දෙන ගැබ්බර වුණා. දවසක් සතා වේදනාවෙන් ඉන්න බවක් දැනුණා. මම මාවතගම පශු වෛද්‍ය කාර්යාලයට දැනුම් දුන්නම ඒහි නිලධාරියෙකු ඇවිත් සතා බලල කිව්වා පැටිය බඩ ඇතුලේ මැරිලා කියල. කිරි දෙන බේරා ගන්න ඉක්මණට මැරුණු පැටව එලියට ගන්න ඕනේ කියල ගත්ත. අපිට කිව්වා මව් දෙන හොඳින් බලාගන්න කියල. අපි තව රුපියල් විසි පන්දහසක් විතර වියදම් කරලා ගව දෙනට බෙහෙත්, ඉන්ජෙක්සන් එහෙම දුන්නා. නමුත් ඒ සතත් මිය ගියා. ඒ සත්තු අපිට ඇති කරන්න අමාරුයි. කාලගුණයට ඔරොත්තු දෙන්නේ නැහැ. ලෙඩ වැඩියි.''

මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තාරපොත ග්‍රාම සේවා වසමේ පදිංචි ආර් ඩී චන්ද්‍රිකා බී බී සී සිංහල සේවයට එලෙස අදහස් දැක්වුයේ තම කිරි ගව පට්ටියේ සිටි විදේශයෙන් ආනයනය කල ජර්සි නමැති කිරි දෙනට සහ අගේ පැටවාට අත්වූ ඉරණම පිළිබඳවය. මිය ගිය කිරි දෙන කෘත්‍රිම සිංචනයට ලක්කර පැටවකු ලබාගැනීමට උත්සහ කර තිබිණි.

විගණකාධිපතිගේ විශේෂ වාර්තාව

මේ අතර 2006 වර්ෂයේ රාජ්‍ය ප්‍රතිපත්තියට හා මහින්ද චින්තනයට අනුව 2007 වර්ෂයේ සිට අදියර කිහිපයකින් මෙරටට කිරි ගවයින් ආනයනය කිරීමට සැලසුම් සකස් කෙරිණි. ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද එම කිරි ගවයින් සම්බන්ධයෙන් පසු කාලීනව ඇතිවුයේ මතභේදාත්මක තත්ත්වයකි. ඒ පිළිබඳව විගණකාධිපතිවරයා විසින් 2018 මැයි 04 දින විශේෂ වාර්තාවක් නිකුත් කළ අතර එම වාර්තාව මගින් මෙම ගවයින් ගෙන්වීමේදී හා ගොවින් අතට පත්කිරීමේදී සිදුව ඇති අකටයුතුකම් ගණනාවක් අණාවරණ කෙරිණි.

දෙවන අදියර යටතේ 2015 වර්ෂයේදී ගවයින් 2495 ක් ගෙන්වීම හා එම සතුන් හම්බන්තොට සත්ත්ව ගොවිපලක රඳවා තැබීම (ඔවුන්ට ඔරොත්තු නොදෙන පරිසරයක) හා 2017 වසරේ තෙවෙනි අදියරයේ කිරිගවයින් 5000 ක් ගෙන්වා බෙදාහැරීම යන කටයුතු නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොතිබූ බව එම විශේෂ වාර්තාවේ දැක්වේ.

''2014 ජූනි 20 වැනි දිනැති අමාත්‍ය මණ්ඩලය තීරණයකට අනුව තුන්වැනි අදියර යටතේ කිරි ගවයින් 20,000 ක් ආනයනය සදහා අනුමැතිය ලබා දීමේදී ආනයනික සතුන් සෘජුවම ගොවිපල වෙත ලබා නොදී රාජ්‍ය ගොවිපල භාරයේ තබා රැක බලා පසුව එම දෙවන පරම්පරාවේ ගවයින් ගොවින් වෙත බෙදදිමට තීරණය කර තිබූ නමුත් එයට අනුගත නොවී කිරි ගවයින් 5000 ක් සෘජුවම කිරි ගොවින් වෙත ලබාදීමට 2017 වර්ෂයේදී කටයුතු කර තිබුණි. ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා වාර්තා ප්‍රමාණවත් වෘත්තියමය මට්ටමකින් යුතුව පිළියෙළ කර නොතිබූ බවද නිරීක්ෂණය විය. තවද ව්‍යාපෘතිය සදහා රුපියල් බිලියන 7.9 ක මුදලක් වැයකර තිබුණද අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන අයුරින් ව්‍යාපෘතිය මෙහෙයවීමට අදාළ නිලධාරියා අපොහොසත් වී තිබුණි.'' යනුවෙන් 2018 විගණකාධිපති විශේෂ වාර්තාවේ සඳහන් විය.

"ගේන්න කලින් ගෙනාපු අය ගැන සොයන්න"

එවැනි ඉතිහාසයක් ඇති පසුබිමක එවක සිටි ඇතැම් නිලධාරින්ම යළි මුලිකත්වය ගෙන නැවත වතාවක් කිරි ගවයින් දිවයිනට ආනයන කිරීමට සැලසුම් කරන බවට කිරි ගව කර්මාන්තකරුවෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ ගවයින් අලුතින් ආනයන කිරීමට පෙර කලින් ගෙන්වන ලද ගවයින්ට සිදුව තිබෙන්නේ කුමක්ද යන්න සොයා බලන ලෙසය.

නිශාන් ද සිල්වා

ඡායාරූප මූලාශ්‍රය, Nishantha de silva

ඡායාරූප ශීර්ෂ වැකිය, නිශාන් ද සිල්වා

''2015 දී කිරි ගවයින් 5000 ක් බෙදා දීමේදී මම සතුන් සියයක් මිලට ගත්ත. අපිට කිව්වා එක සතෙකුගෙන් කිරි ලීටර් 20 ක් ගන්න පුළුවන් කියල මේ කර්මාන්තය පිළිබඳ පෙර අත්දැකීම් අපිට තිබුණේ නැහැ. නමුත් ඒ සතුන්ගෙන් කිරි ලීටර 8-10 ක සාමාන්‍ය අගයක්‌ පමණයි ගන්න පුළුවන්කම තිබුණේ. කිසිම සැලසුම් සහගත ක්‍රමයක් එම වැඩපිළිවෙල තුළ තිබුණේ නැහැ. මම අදටත් රුපියල් ලක්ෂ 8 ක් 10 ක් මාසිකව පාඩු ලබනවා මේ සතුන් නඩත්තු කරන්න. එම නඩත්තුවට මම මුදල් වියදම් කරන්නේ මගේ අනෙකුත් ව්‍යාපාරවලින්. මොකද මේ සත්තු මරන්න දෙන්න බැහැ'' හතරලියද්ද කැමිලියා සත්ත්ව ගොවිපලේ හිමිකරු වන නිශාන් ද සිල්වා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ 2015 වසරේ පමණක් ආනයනය කළ කිරි ගවයින් පන්දහසෙන් සතුන් දහසක්වත් වර්තමානය වන විට ජිවත්ව නොසිටින බවය. ''හැමෝම සත්තු ටික විකුණුවා. ඇතැම් සත්තු අඩු වසසින් මැරුණා. බහුතරයක් කර්මාන්තය අතහැරිය. මේ සත්තු මරන්නේ නැතුව ගන්න කෙනෙක් ඉන්නවනම් මම හෙට ඒ පුද්ගලයට මේ සතුන් ටික දීලා කර්මාන්තය අත හරිනවා.''

හතරලියද්ද කැමිලියා සත්ව ගොවිපල
ඡායාරූප ශීර්ෂ වැකිය, හතරලියද්ද කැමිලියා සත්ත්ව ගොවිපල

අයවැයෙන් කරලියට එන කිරි ගොවියා

මේ අතර 2021 වර්ෂය සදහා අයවැය මගින් නැවත වරක් කිරි ගොවින් කරලියට ගෙන ආ රජය ඔවුන්ට සහන ලබාදෙන බවට යෝජනාවක් ඉදිරිපත් කරන්නට විය. අයවැය කතාව කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ''කිරි ගොවීන්ට සහන" යන ශීර්ෂය යටතේ ඒ සඳහා කරුණු ඉදිරිපත් කළේය.

"කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 300 (රුපියල් බිලියන 55 පමණ) කට අධික වාර්ෂිකව වැයවන විදේශ විනිමය අඩු කරගැනීමේ අරමුණින් දියර කිරි ආශ්‍රිතව ගොවීන්ට සහන සැලසීමට යෝජනා කර තිබේ. ඒ යටතේ කිරි ගවමඩු සකස් කරගැනීම හා උපකරණ මිලදී ගැනීමට සියයට 7.5 ක වාර්ෂික පොලී යටතේ රුපියල් ලක්ෂ 5 ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත." යනුවෙන් අගමැතිවරයා සඳහන් කළේය.

කිරිපිටි ආනයනය නතර කිරීම මෙන්ම කිරි ගොවියාට සහන සැලසීම යහපත් සාධනීය කටයුතු වන නමුත් ඉතිහාසය පිරික්සීමේදී එය සිදුවී තිබේද යන්න ගැටලු සහගත බව කර්මාන්තයේ නියැලෙන පිරිස් පවසති.

ගව පාලනය පිළිබඳව වසර 15 ක අත්දැකීම් ඇති මාවතගම මඩව පදිංචි පී අබේගුණතිලක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පවසා සිටියේ සෑම අයවැයකදීම කිරි ගොවීන් ගැන මතක් කර ගොවීන්ට සලකන බවට රටට බොරු පණිවිඩයක් දෙන බවය.

පී අබේගුණතිලක
ඡායාරූප ශීර්ෂ වැකිය, පී අබේගුණතිලක

''කිරි ගොවින් ශක්තිමත් කරනවා කියලා ඔය රජය කරන්නේ බොරු පික්චර් එකක් රටට දෙන එක විතරයි. මම මේ කර්මාන්තය කරන්නේ අවරුදු 15 කට වැඩි කාලයක ඉඳල. මම ගොවියෝ තිස් දෙනෙක් හැදුවා. ඒ අය හදන කිරි එකතු කරලා කිරි ගන්න ආයතනවලට විකුණලා මුදල් අරන්දුන්නා. ඔබතුමාට කියන්න මම කොච්චර මහන්සි වුණාද මේ ගොවියන් ටික හදන්න. නමුත් කණගාටුයි කියන්න අද ඉන්නේ ගොවියෝ හත් දෙනයි. මම හෙට කර්මාන්තය නතර කළොත් ඒ හත්දෙනාත් නතර වෙනවා.

අබේගුණතිලක පවසන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැටලු සහගත බවය. විශේෂයෙන් රාජ්‍ය බැංකු හරහා සේවා ලබාගැනීමේදී ගැටලු ගණනාවක් මතු වන බව ඔහු පැවසීය.

''ඔවුන් අපිට පෙන්වනවා අඩු පොලියකට ණය නිකුත් කරනවා කියල නමුත් සිද්ධවෙන්නේ අපිට බොරුව කරලා ඉහළ ණය අනුපාත අපෙන් අය කරනවා. වරක් රාජ්‍ය බැංකුවක් මගෙන් ගිවිසුම් පොලියට වැඩිය අයකරගෙන තිබුණා. මම බැංකුවේ ලෝන් ඔෆිසර් ගෙන් ප්‍රශ්න කලාම ඔහු කිව්වා කලින් හිටපු කෙනා තමයි වැරැද්ද කරලා තියෙන්නේ මට කරන්න දෙයක් නැහැ කියල. මං කිව්වා එහෙමනම් තමුන්නාන්සේ ඔය පුටුව කරන්න පුළුවන් පුද්ගලයෙකුට දීල යනවා යන්න කියල. අපි බැංකු සමග ගනුදෙනු කරන්නේ පුද්ගලයෝ බලලද? අනික බලන්න ණය නිකුත් කළාම කිසිදු පසු විපරමක් සිදු කරන්නේ නැහැ. ඇතැමුන් කිරිගොවි නිෂ්පාදනයට ණය කියල ණය අරන් වෙන වෙන වැඩ කරනවා. නමුත් බැංකු මේ මුදල් අදාළ කාරණයට යොදවනවාද යන්න පිළිබඳව සොයා බැලීමක් කරන්නේ නැහැ.''

බැංකුව අපේක්ෂා කරන්නේ මාසය අවසානයේ ණය වාරිකය පමණක් බවත් එහි අවසන් ප්‍රතිඵලය කර්මාන්තය දියුණුවට වෙන්කළ මුදල් වෙනත් අරමුණු සදහා වැය වීමත් බවත් අබේගුණවර්ධන පැවසීය.

''ඒකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? කර්මාන්තය සම්පුර්ණයෙන් බිඳ වැටීම. හැම අවුරුද්දකම ප්‍රගතිය බලනකොට හැමදාම කර්මාන්තය එක තැන යැයි ඔහු පැවසීය.

කිරි නිෂ්පාදනයේ නියුතු තරුණයකු වන ඉෂාන් නිමන්ත අදහස් දක්වමින් පැවසුවේ මෙම කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම මීට වඩා තිබිය යුතු බවය.

ඉෂාන් නිමන්ත

ඡායාරූප මූලාශ්‍රය, ඉෂාන් නිමන්ත

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉෂාන් නිමන්ත

"අඩුම තරමින් තණකොළ ටිකක්වත් අලුතින් අපි වවල නැහැ. බඩ ඉරිගු ගොවින් දැන් සත්ත්ව අහාර සදහා බඩඉරිඟු දෙන්නේ නැහැ. ඒ අයට වෙන තැන් වලින් ඉල්ලුමක් තියනවා. එතකොට ඉදිරියේදී මතුවෙන ගැටලුවක් තමයි සතුන්ට ආහාර සපයා ගැනීම. තණකොළ කිලෝ එකක මිල වුණත් ඉහළට යනවා. ඉන්දියාව වගේ රටවල් මේ කර්මාන්තය සාර්ථකව කරන්නේ මනා සැලසුමක් ඇතිවයි. නමුත් අපේ ඒ තත්ත්වය නැහැ. පසුගිය කාලේ සත්තු ගෙන්වනවා කියල රජය කලේ සල්ලි තියෙන කිහිප දෙනෙකුට සත්තු ටික බෙදල දුන්නු එක. අවසානයේ සත්තු ලබාගත් පුද්ගලයින් බරපතල පාඩු ලබල සත්තු කාට හෝ විකුණලා දැම්ම විශාල ආයෝජනයක් කරලා සත්තු ගෙනාවට කර්මාන්තයට සිදුවූ ප්‍රගතියක් නැහැ.''

ආනයනය කල සතුන් දේශගුණයට නොගැලපුණු බවත් ඔවුන් රෝගීවී මිය ගිය බවත් එම ව්‍යාපෘතිය සාර්ථක වූවානම් අලුත් සතුන් රටේ මේ වනවිට බිහිවි තිබිය යුතු බවත් ඉෂාන් නිමන්ත වැඩි දුරටත් පැවසීය.

කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් හා කිරි ගොවිපලක් පවත්වාගෙන යන උපමාලි මනතුංග බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ රජය මැදිහත්වී සහනයක් දෙන හැම අවස්ථාවකම සතුන්ට ආහාර හා පෝෂණ ද්‍රව්‍ය සපයන ආයතන තමන්ගේ නිෂ්පාදන වල මිල ඉහළ නංවන බවකි.

"එතකොට ආයෙත් ගොවියා හිටපු තැන. සතුන්ට ආහාර පමණක් නෙමෙයි දෙන්න තියෙන්නේ පණු බෙහෙත්, ඛණිජ ලවණ, ආදිය අවශ්‍ය වෙනවා. සතෙකු කෘත්‍රිම සිංචනය කරන හැම අවස්ථාවකම පශු වෛද්‍ය ඒකකයට රුපියල් 400 ක් ගෙවන්න ඕනේ. සමහරවිට එක වතාවෙන් සාර්ථක වෙන්නේ නැහැ. හතර පස් වතාවක් කරන්න වෙනවා. ඒ සියලු වියදම් ගොවියා දරන්න ඕනේ. ගොවියාට කිරි ලීටරයකින් ලැබෙන්නේ රුපියල් 75 ත් 85 ත් අතර සාමාන්‍ය මුදලක්. නමුත් ඔවුන්ට ඒ මුදලින් මේ කර්මාන්තයේ අඛණ්ඩව නියැලෙන්න බැහැ. අවම වශයෙන් මාසිකව රුපියල් 15,000 ක් වත් ලැබෙන්නේ නැත්තං ඒ අය කර්මාන්තයෙන් ඉවත් වෙනවා." ඇය සඳහන් කළාය.

"රටේදී ම හදන්න"

''උසස් සතුන් සමග අපේ සතුන් මිශ්‍ර කිරීමේ වරදක් නැහැ ඒක කෘත්‍රිම සිංචනයෙන් කරන්න පුළුවන්. මම පරම්පරා 5 ක සතුන් හදල තියෙනවා ඒ සතුන් ඔක්කොම හැදුවේ අපේ මේ රටේ ගව දෙනකගෙන්. එක දෙනක් හිටිය තුන්වැනි පැටිය බිහිකරලා කිරි ලීටර් දහඅට හමාරක් දුන්න. අපේ සතුන් වැඩි දියුණු කරලා ගන්න පුළුවන් කියන කාරණයට මේක හොඳ සාක්ෂියක්. ඉස්සර තවත් හොඳ වැඩක් රජය කළා. ඒ තමයි පශු වෛද්‍ය එකෙන් අපිට වැඩි දියුණු කළ සතෙක් දෙනවා ගැබ්බර සමයේදී. පසුව ඒ සතාගේ පරම්පරාවෙන්ම ගැබ්බර සතෙක් රජයට දෙන්න ගොවියට නියම කරනවා. උසස් සත්තු හදාගන්න මේක හොඳ ක්‍රමයක්. අනික ගොවියට මුලික වියදමක් නැහැ'' වසර 20 ක් කිරි ගව පාලනය පිලිබඳ අත්දැකීම් ඇති ආර් ඩී සිසිලින් චන්ද්‍රලතා බීබීසී සිංහල සේවයට පැවසීය.

ආර් ඩී සිසිලින් චන්ද්‍රලතා

ඡායාරූප මූලාශ්‍රය, ආර් ඩී සිසිලින් චන්ද්‍රලතා

ඡායාරූප ශීර්ෂ වැකිය, ආර් ඩී සිසිලින් චන්ද්‍රලතා

ගැහැණු සතෙක් බිහිවූ පසුව එම සත්ත්වයා රක්ෂණය කළ බවත් වසරක් යන තුරු රජයෙන් කෑම වේලක් ලබා දුන් බවත් එම සත්ත්වයා ගැබ් ගත් පසුව රුපියල් 3000 ක දීමනාවක් ලබා දුන් බවත් චන්ද්‍රලතා පැවසීය. ඇය වැඩිදුරටත් කියා සිටියේ මහා පරිමාණයෙන් සිදු කිරීමට පෙර මධ්‍ය ප්‍රමාණයෙන් කිරි ගව පාලනය කරන ගොවින් රැකගැනීම සදහා රජයට නිසි වැඩපිළිවෙලක් තිබිය යුතු බවය. මුලින් පාඩු ලැබිය හැකි නමුත් කර්මාන්තයේ දීර්ඝ කාලීන උන්නතියට එය අත්‍යවශ්‍ය බව චන්ද්‍රලතා වැඩිදුරටත් සඳහන් කළාය.

තුන්වන පරම්පරාව නියෝජනය කරන දෙනක්
ඡායාරූප ශීර්ෂ වැකිය, තුන්වන පරම්පරාව නියෝජනය කරන දෙනක්

මේ ගැනත් දැනගන්න: