ජනාධිපතිවරණය: එජාප ජනපති අපේක්ෂකත්වය සඳහා සජිත්ට "කොන්දේසි"

එජාප ජනපති අපේක්ෂකත්වය : සජිත්ට "කොන්දේසි"
Published

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණින් තමන් කිසිදු කොන්දේසියකට යටත් නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස බීබීසි සිංහල සේවයට පැවසීය.

ඔහු කියා සිටියේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය දීම සඳහා කොන්දේසි පනවා ඇති බව තමන් නොදන්නා බවකි.

කොන්දේසි කිහිපයකට එකඟවීමට යටත්ව සජිත් ප්‍රේමදාස වෙත ජනාධිපතිධුර අපේක්ෂකත්වය දීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (24) රැස්වූ එම පක්ෂයේ නායකයන්ගේ සාකච්ඡාවකදී එකඟවී තිබෙන බව වාර්තාවිණි.

රැස්වීමෙන් අනතුරව මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟතාව පළ කළ බවය.

මෙම සාකච්ඡාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගිවී නොසිටි නමුත් ඔහුගේ පාර්ශවය නියෝජනය කරමින් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සහභාගී වී තිබේ.

"විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරිම, ජාතික ගැටලුවට විසඳුම් සොයන නව ව්‍යවස්ථාවක් ඇතිකිරීම, අගමැති ධුරයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ දිගටම කටයුතු කිරීම, පක්ෂ උපනායක රවී කරුණානායකගේ තනතුර වෙනස් නොකිරීම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ කර නොගැනීම වගේ කරුණු කිහිපයක් එතුමාට කොන්දේසි විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඒ සාකච්ඡාවේ හිටියේ නැහැ. ඔහුගේ නියෝජිත පිරිසක් හිටියේ. ඒ ගැන ඔහුගේ ප්‍රතිචාරය සාකච්ඡා කරන්න අද තවත් සාකච්ඡා කිහිපයක් තියෙනවා" යැයි නම සඳහන් කිරීමට අකමැතිවූ එහෙත් ඊයේ සාකච්ඡාවට එක්වූ අමාත්‍යවරයෙක් කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන හා සජිත් ප්‍රේමදාස

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ කර නොගැනීම එක් "කොන්දේසියකි."

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයට හෙට (27) පැවැත්වීමට නියමිත පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එළැඹීමට නියමිත අතර ඉන් පසු එම තීරණය එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් වෙත යොමුකිරිමට නියමිතය. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් බහුතරය මේවන විට අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළකර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ද නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට කැමත්ත පළකර තිබේ. ඊයේ දින විශේෂ නිවේදනයක් නිකුත් කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස, රට ගොඩනැගීම සඳහා තමා සමග එක්වන්නැයි පක්ෂයෙන් ඈත් වූ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත්සභා මන්ත්‍රීවරු, සියලු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නිකුත් කළ එම නිවේදනයේ දැක්විණි.

"පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ, අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරන" බවද එහි සඳහන් කර තිබිණි.

එම ඉල්ලීම තමන් පිළිගන්නා බව පවසමින් තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලිපියක් යවා ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තාවේ.