ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වලස්සු ගමට ඇවිත්: "ලොරිය යට වලහෙක් නිදාගෙන ඉන්නවා"
කන්තලේ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ, අනූ තුන සහ අනූ හත සැතපුම් කණු අතර පිහිටි ගම්මාන සමූහය අතිශයින්ම ජනාකීර්ණ ප්‍රදේශයකි.
එම ගම්මානවල පසුගිය මාර්තු මාසය අවසානයේ දිනක් ආරම්භ වූයේ පැටවෙකු සමඟ පැමිණි වැලහින්නක් අනූ තුන ගමේ තරුණයෙකුට පහරදී ඇති බව කියවෙන ලොමු දැහැ ගැන්වෙන ආරංචියක් ද සමඟය. වලස් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලද තරුණයා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කෙරිණ.
"පුංචි පැටියා මොනවද දන්නේ? ඌ දුවගෙන දුවගෙන කැළෙන් එළියට ඇවිත් ගමට එන්න ඇති. අම්මත් ඒ පස්සෙන්ම ඇවිත් තියෙනවා. මේක අහඹු සිද්ධියක්."
ගම්වැසියන් පැවසුවේ කන්තලේ වනජීවී නිලධාරීන් තමන්ට එසේ කී බවය.
දින කීපයකට පසුව කුණු වී ගිය වලස් මළසිරුක් වනජීවී නිළධාරීන් විසින් ගම්මානයේ පාළු ලිඳකින් ගොඩගනු ලැබීය.
"ගෑණු සතෙක් ද පිරිමි සතෙක් ද කියලා හඳුනාගන්න බැරි තරමට මළ කුණ නරක් වෙලයි තිබුනේ. අර සතාද වෙනත් එකෙක්ද කියලා කියන්න අමාරුයි."
එය ද වනජීවී නිලධාරීන්ගේ පිළිතුරකි.
මේ අතර සතියකට පමණ පසු එනම් අප්‍රේල් පස්වැනිදා හිමිදිරියේම අනූ හත මංසන්ධියේ දී තරුණයන් සිවුදෙනෙකුට වලස් ප්‍රහාරයක් එල්ල විය. කථා වෙනත් අතකට යොමුවන්නේ එයින් පසුවය.
"මගේ ලොකු පුතා උදේ පහට පමණ අවදිවෙලා මිඳුලට එනකොට ලොරිය යට බිම වලහෙක් නිදාගෙන ඉන්නවා දැකලා කෑගහුවා," අනූ හත මංසන්ධියේ පදිංචි පළතුරු වෙළෙන්දෙකුවන එම් එම් නසීර් බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළේය.
"පිරිමි හැමෝම පල්ලි යන වෙලාවනෙ. පුතා කෑ ගහන සද්දෙට සෙනඟ දුවගෙන ආවා. වලහා හොඳටම භය වුනා. ඌ එක ළමයෙකුට ඉස්සරහ කකුල් දෙකෙන් ගැහුවා. මිනිස්සු ගල්වලින් ගහන්න පටන් ගත්තා. අන්තිමේදී වලහා තවත් මිනිස්සු තුන්දෙකුට පහර දීලා ගෙදරක ඉස්සරහ දොර කඩාගෙන ඇතුළට ගිහින් ගෙයි මුල්ලක හැංගුනා." ඔහු පැවසීය.
"අපි කෑකෝ ගහනකොට ඌ එතනින් එළියට පැනලා මහපාර දිගේ දුවන්න ගත්තා. ඔය අතරේ තමයි කන්තලේ වනජීවී මහත්තුරු එතනට ආවේ. හරියට අඳුනනවා වගේ වලහා වනජීවී නිලධාරීන්ගේ වාහනයට ගොඩ වෙන්න හැදුවා. එයාලා භයවෙලා වෙඩි තිබ්බා. එහෙම නොකළානම් මොකින් මොකක් වෙයිද දන්නේ නෑ."
තවත් සති තුනකට පමණ පසුව අනූහතර දුම්රිය මාර්ගය අසලින් වැලහින්නකගේ මළ සිරුරක් හමුවිය.
"එළදෙන කෑගහනකොට මමත් මහත්තයත් එලීයට ඇවිත් ටෝච් එක ගහලා බැලුවා වලහා වැස්සිගෙ තනබුරුල්ල හපාගෙන හිටියා. පස්සේ කෝච්චිපාර පැත්තට දිව්වා. උදේ තමයි දැක්කේ වැස්සිගේ හොම්බටත් කටගහල තියෙන විත්තිය."
කිරි එළදෙනගේ හිමිකාරිය ශීලා කල්‍යාණි බීබීසී සිංහල සේවයට එසේ විස්තර කළාය.
මෙම සිදුවීමෙන් පසුව ද කිහිප අවස්ථාවකම ගම්වැදීමට උත්සාහ දැරූ වලසුන් කීපදෙනෙකුම කෑකෝ ගසා එළවා දැමූ බව ගම්වැසියෝ පැවසූහ.
"තවමත් මේ කරදරේ නැවතිලා නෑ අපිත් සූදානමෙන් තමයි ඉන්නේ," ඔවුහු කියති.
දිගින් දිගටම වලසුන් ගම්වැදීමත් විශේෂයෙන්ම වනජීවී නිලධාරීන් විසින් වලසෙකුට වෙඩිතබා මරාදමනු ලැබීමත් පිළිබඳව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලගම සිය අවධානය යොමුකළේ හිටපු වනජීවී ඇමතිවරයාගේ ඉල්ලීමක් අනුවය.
"මට වනජීවී ඇමතිතුමා දැනුම්දීමක් කළා මේ තත්වයට හේතු සොයා බලා වාර්තාවක් සපයන්න කියලා. ඒ නිසාම තමයි මම තමුන්නාන්සේලා කැඳෙව්වේ," පරිසරවේදීන් කණ්ඩායමක් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු පැවසීය.
ගෝණතොට පරිසර සංවිධානයේ සභාපති අනුර බණ්ඩාර මෙහිදී අවධාරණය කළේ යුද්ධය හමාරවීමෙන් පසුව ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කය තුළ සිදුවෙන මහා පරීමාණ වනසංහාරය වලසුන් ගම්වැදීමට ප්‍රධාන හේතුව බවය.
"දැන් වලස්සු විතරක් නොවෙයි කොටිත් ගම්වලට කඩා වදිනවා. පසුගිය අවුරුද්දේ තඹලගමුව උල්පත්වැව ගම්වැසියන්ගේ එළ ගවයින් තුන්දෙනෙක් කොටින්ට ගොදුරු වුනා. අපේ අධ්‍යයනයට අනුව වලසුන් පන්සියයක් පමණ දිස්ත්‍රික්කයේ කැළෑ තුළ ගැවසෙනවා," රැස්වීම අමතමින් ඔහු පැවසීය.
"අරිසිමලේ පුල්මුඩේ කින්නියාව කියන ප්‍රදේශවල අක්කර අටදහසකට වඩා මහ වනය මිනිස් ජනාවාස බවට පත්වෙලා ඉවරයි. නිලාවලි මොරවැව මාර්ග අතර තිබුන කැලෑව අද දකින්නට නෑ. ඉතින් වාසභූමි අහිමිවුන වනසත්තු ඉබාගාතේ ඇවිදිනවා. කන්තලේ ත්‍රීකුණාමල ප්‍රධාන මාර්ගයට උතුරෙන් පිහිටි සංගිලිමලේ කඳුයායේ ස්ථාන කීපයකම ගල්වලවල් පවත්වාගෙන යනවා. මේ නිසා වලසුන් ලගින ගල්ගුහා විනාශ වෙනවා. දවස පුරා සිදුකෙරෙන ගල් වෙඩි දැමීම් නිසා වනසතුන්ට තබා ඒ අවට පදිංචිකරුවන්ටවත් නිදහසක් නෑ."
සොබාදහම පරිසර කේන්ද්‍රයේ ලේකම් නීරංග වික්‍රමසිංහ ද එම සාකච්ඡාවට එක් වී සිටියේය.
"වලසුන් ආහාරයට ගන්නා පළු වීර කෝන් මොර වැනි පලතුරු මිනිස්සු කඩාගෙන ඇවිත් නගරයේ විකුනණවා. මී වද කියන්නේ වලසුන්ගේ ප්‍රියතම ආහාරයක්. අද මේ සියල්ලක්ම වෙළෙඳ භාන්ඩ," ඔහු පැවසීය.
මිනිසුන්ට අනතුරුදායක අන්දමින් හැසිරෙන වනසතෙකුවත් මරා දැමීම වනජීවී අනපනත් වලට අනුව තහනම් වන අතර, ඒ සඳහා අධිකරණයෙන් අවසර ගත යුතු බැවින් වනජීවී නිලධාරීන් කළේ "වැරදි වැඩක්" බව ද නීරංග වික්‍රමසිංහ එහිදී දැඩිව කියා සිටියේය.
"සතා නිර්වින්දනය කර හෝ දැලක් දමා අල්ලාගන්න තිබුණා. ඇයි ඔවුන් එහෙම නොකළේ?" ඔහු ප්‍රශ්ණ කළේය.
පරිසරවේදීන් පෙන්වාදී ඇති සියලුම කරුණු සත්‍ය බවත් වලසා මරාදැමීම පිළිබඳ පරීක්ෂණ කටයුතු තවමත් අවසන් නැති බවත් ත්‍රීකුණාමල දිස්ත්‍රික් සහකාර වනජීවී අධ්‍යක්ෂ නීතිඥ ඩබ්ලිව් ලලිත් කුමාර බීබීසී සිංහල සේවය කළ විමසුමේදී සඳහන් කළේය.
"වලසුන් ගම්වැදීම තවමත් අවසන් නැති බව මට වාර්තා වෙනවා. ත්‍රිකුණාමල නාවික හමුදා වැඩබිම් අභයභූමිය තුළ පවත්වාගෙනයන ගොවිපොල ඉවත් කරනතුරු ඔය ප්‍රශ්ණය විසඳන්න බෑ."
සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.
තවත් කියවන්න: