වලස් කැළේ 'දඬුවමින්' දරුවා අතුරුදහන්

Published

දඬුවමක් ලබා දීමේ අදහසින් සිය දරුවා වනයේ තනි කොට පැමිණි බව උතුරු දිග ජපානයේ කඳුකර ප්‍රදේශයක අතුරුදහන් වී සිටින සත් වියැති පිරිමි දරුවකුගේ දෙමව්පියන් පිළිගෙන තිබේ.

දින දෙකක් ගත වී ඇතත්, වන වලසුන්ගේ නිවහනක් ලෙස සැලකෙන කලාපයක් වන 'හොක්කයිදෝ' ප්‍රදේශයේ දෙමව්පියන් විසින් හැර දමා ගිය දරුවා කිසිවකුට හමු වී නැත.

වනයේ හට ගන්නා එළවලු සොයමින් සිටින අතරතුර සිය දරුවා අතරමං වී ඇති බවයි දෙමව්පියන් මීට ඉහතදී පොලිසියට කියා තිබුණේ.

පසුව සිය දරුවා වනයේ හැර දමා පැමිණි බව පිළිගෙන ඇති දෙමව්පියන් පොලිසියට පවසා ඇත්තේ හැර දමා ගොස් මිනිත්තු පහකට පසු යළි පැමිණ බලන විට සිය දරුවා එම ස්ථානයේ නොසිටි බවයි.