ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලි මදිවට කොටි
ඉන්දියාවේ ජාර්කාන්ද් ප්‍රාන්ත කඳුකරයේ පහරියා ගෝත්‍රිකයන් රැය පහන් කරන්නේ නිදි වර්ජිතව ය.
පසුගිය මාස කිහිපය ඇතුළත පමණක් මේ ප්‍රදේශයේ වන අලින්ට ගොදුරු වී මියගිය මිනිසුන්ගේ ගණන 15කට අධිකය.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිලිභිට් වන සංරක්ෂිතයේ කොටි ගහනය අධිකය. ඒ අවට ගම්වැසියන් ද මේ දිනවල සිටින්නේ අවි අමෝරාගෙන ය.
පසුගිය ඔක්තෝම්බරයේ පටන් මේ දක්වා යටත්පිරිසෙයින් 16 දෙනෙකුවත් කොටින්ට බිලි විය.
අභය භූමිවලින් ගහන ඉන්දියාවේ දකුණු සහ නැගෙනහිර පෙදෙස්වලින් ද ඇසෙන්නේ මෙවැනිම පුවත් සම්භාරයකි.
වන සතුන්ගේ ප්‍රහාරයන්ට මිනිසුන් ලක්වූ පුවත් වාර්තා වුයේ ඈත පිටිසර, වනබද ගම්මානවලින් පමණක් නොවේ. කුඩා නගර සහ ජනාකීර්ණ ප්‍රදේශ ද දැන් මෙම තර්ජනයට මුහුණ දෙයි.
ඉන්දීය පරිසර අමාත්‍යංශය පවසන පරිදි 2014 අප්‍රේල් සිට 2017 මැයි දක්වා කාලය ඇතුළත වන අලින්ට සහ කොටියන්ට ගොදුරු වී මිය ගිය මිනිසුන්ගේ ගණන 1144 කි.
දිවියන් සහ වෙනත් වන සතුන්ගේ ප්‍රහාරයන්ට ලක්ව මිය ගිය මිනිසුන්ගේ ගණන ද ලැයිස්තුගත වුයේ නම් මෙම සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනු ඇති බව විශේෂඥයෝ පවසති.
වන සතුන් හා මිනිසා අතර පවතින නිරන්තර ගැටුම ඉන්දියාවට ද විශාල අභියෝගයක් වී ඇත.
ඉන්දියාවේ කොටි ගහනය පහළ යාමත් සමඟ 1970 දී ඉන්දීය බලධාරීහු කොටි සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කළහ. සංරක්ෂිත කලාප නම් කෙරුණි. නව සත්ව සංචිත නිවේදනය කෙරුණි. සතුන් දඩයමට දැඩි නීති පැනවුණි.
ප්‍රතිඵලය වූයේ යළිත් සත්ව ගහනය ඉහළ යාම ය.
අද ලෝක කොටි ගහනයෙන් තුනෙන් එකක් ම ජීවත් වන්නේ ඉන්දියාවේ ය. 1700 ක් වූ ඉන්දීය කොටි ගහනය පසුගිය පස් වසර තුළ 2200ක් බවට පත් විය.
මෙතෙක් වන අලින්ට සහ කොටින්ට නුහුරු වනාන්තරවලට පවා ඔවුන්ඇදී එන්නට පටන් ගෙන ඇත්තේ ඇතැම් වන සංචිත තුළ සත්ව ගහනය, භූමි ප්‍රමාණයට ඔරොත්තු නොදෙන මට්ටමින් ඉහළ යාම හේතුවෙනි.
වන අලින්ගෙන් පමණක් බේරී ජීවත් වන්නට සිදුවූ ගම්වැසියන්ට දැන් නිතරම කොටි තර්ජනවලට ද මුහුණ දෙන්නට සිදු වී තිබේ.
වෙනදාට වඩා වැඩි වශයෙන් නිවෙස් අසල සහ මාර්ග අවට සැරිසරන කොටි සහ දිවියන් දැකගත හැකි බව ගම්වැසියෝ පවසති.
ආසියාතික වන අලි ගහනයෙන් 60% ක් පමණ ජීවත් වන්නේ ද ඉන්දීය වනාන්තර තුළ ය. ඇස්තමේන්තුගත සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ ඉන්දියාවේ වන අලින් 24,000ත් 32,000ත් අතර ප්‍රමාණයක් ජීවත්වන බව ය.
කෙසේ නමුත් අලි මිනිස් ගැටුම නිසා සෑම වසරකම ඉන්දියාව පුරා මිය යන මිනිසුන්ගේ ගණන 500ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.
ජනගහනය ඉහළ යාමත් සමඟ ජනාවාස වැඩිවී අලිමංකඩ ඇහිරී ඇති හෙයින් වන අලින් කුඩා භූමි භාගයකට කොටුවීම හේතුවෙන් එම සතුන් ගම්වදින බව විශේෂඥයන්ගේ මතය වී තිබේ.
ඉන්දියාවේ ජනගහනය බිලියන 1.2 කි. එය තව තවත් වැඩි වෙමින් පවතී. ජනාවාස සහ කර්මාන්ත සඳහා භුමියේ අවශ්‍යතාව වේගයෙන් ඉහළ යයි.
පරිසර ඇගයීම් නොතකමින් සංවර්ධනය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවට ඉන්දීය ආණ්ඩුවට චෝදනා එල්ල වෙයි.