ලේ හිඟය : "ලේ දන්දෙන්න" යි යළි ඉල්ලීමක් !

Sri Lankan people donate blood 14 June 2006 at the National Blood Transfusion Centre in Colombo. The centre organised a special blood donation campaign to coincide with the World Blood Donor Day.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

ලේ දන්දෙන ලෙස පසුගිය ජනවාරි මාසයේ කළ ඉල්ලීමට අනුව ජනතාව ලේ දන්දීමට පෙළඹුන ද, මාර්තු හා අප්‍රේල් මාසවල ලේ හිගයක් යළිත් ඇතිවිය හැකි තත්ත්වයක් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන බීබීසී සිංහල සේවයට පැවසුවේ ජනවාරි මාසයේ දී ලේ දන්දීමට ජනතාව වැඩිපුර ඉදිරිපත්වුව ද දැන් එය නැවත අඩුවී ඇති බවය.

මැතිවරණ සමයක් වීම එයට හේතුවක් විය හැකි බව පැවසූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාර්තු, අප්‍රේල් මාසය වන විට දැඩි ලේ හිඟයක් ඇතිවිය හැකි බැවින් තවදුරටත් ලේ දන්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවට වසරකට සාමාන්‍යයෙන් ලේ පයින්ට් 450,000 ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇත. එක් පුද්ගලයකුගෙන් ලබා ගන්නේ ලේ පයින්ට් එකක් එනම් මිලි ලීටර් 450 ක් පමණ ප්‍රමාණයකි.

විවිධ රෝගාබාධ මෙන්ම සැත්කම් වැඩිවීම නිසා ලේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේය.

Sri Lankan volunteers carry placards encouraging blood donations during a march in Colombo on June 14, 2009, held to mark World Blood Donation Day. Hundreds of activists took part in the march in a country where many volunteered to donate blood during heavy fighting between troops and Tamil Tigers that ended in May after nearly four-decades of ethnic bloodshed.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ වන විට රටපුරා පිහිටි රුධිරය රැස්කිරීමේ මධ්‍යස්ථාන 102 ක ලේ එකතු කෙරෙන අතර නිරෝගී ඕනෑම පුද්ගලයකු තමන්ට ළඟ ම මධ්‍යස්ථානය කරා ගොස් පහසුවෙන් දන්දී ලේ තවත් ජිවිතයක් බේරාගැනීමට හැකියාවක් ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

line
Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

line

ලේ දන්දීමට පෙර සෞඛ්‍ය පරීක්ෂණයක් පවත්වා සුදුසුකම් සපිරි නිරෝගී පුද්ගලයකු නම් පමණක් ලේ ලබාගැනීම සිදුවේ .

වයස 18 ත් 60 ත් අතර බර කිලෝග්‍රෑම් 50 ට වැඩි රෝගාබාධවලින් තොර පුද්ගලයන්ගෙන් එලෙස ලේ ලබා ගැනේ. නිරෝගී පුද්ගලයකු හට වසරකට සිව් වතාවක් පමණ ලේ දන්දීය හැකි බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

O නෙගටිව්, A/B පොසිටිව්/නෙගටිව් ලේ වර්ග හිමි අය වැඩි වශයෙන් ලේ දන්දෙන ලෙස වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉල්ලා සිටින්නේ එම වර්ග දුලබ හෙයිනි.

ලේ දන්දීම සඳහා එක්වන ඕනෑම කණ්ඩායමක 15 දෙනෙකු හෝ 20 දෙනෙකු සිටී නම් ජංගම ලේ බැංකුවක් ඔවුන් සිටින ස්ථානයට යැවිය හැකි බව ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. ලේ දන්දීම පිළිබඳ ඕනෑම තොරතුරක් +94112369931-4 යන දුරකථන අංකවලින් ලබාගත හැකි බව ඔහු පැවසීය.

රුධිර පරිත්‍යාග

ඡායාරූප මූලාශ්‍රය, Blood.lk