ළමුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරා ම වැඩිපුර එළවළු කෑමට උපකාරී වන පුරුදු

A little boy with vegetables

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, මෙලීසා හෝගන්බූම්
    • Role, BBC Future
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

කුඩා කාලයේදී ළමයින් ආහාර ලබා ගන්නා ආකාරයේ සිදු කරන සුළු වෙනස්කම් පවා, ඔවුන් කෑමට ගන්නා දෑ කෙරෙහි දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි ය.

දරුවන්ට ප්‍රමාණවත් ලෙස එළවළු කෑමට දීම අරගලයක් විය හැක. දෙමාපියන්ගේ සාකච්ඡා මණ්ඩප සහ දුරකථන සංවාද සමූහ තුළ "මගේ දරුවා සැකසූ ආහාර විතරක් කන එක සාමාන්‍ය දෙයක් ද?" වැනි ප්‍රශ්නවලින් පිරී ඇත.

මීට එක් හේතුවක් වන්නේ, කුඩා අවදියේ සිටම ළමයින් පැණිරස ආහාරවලට වැඩි රුචිකත්වයක් දැක්වීම යි. මව්කිරි වල පවා ස්වාභාවික සීනි අඩංගු වන බැවින් ඒවායේ යම් පැණිරස ගතියක් පවතියි. එම නිසා, දරුවන්ට ඝන ආහාර හුරු කරන විට බ්‍රොකොලි කැබැල්ලක් හෝ නිවිති හැන්දක් කවා ගැනීම අපහසු විය හැකි ය.

එහෙත්, දරුවන්ට පළතුරු සහ එළවළු රැසක් අඩංගු, විවිධාංගීකරණය වූ ආහාර වේලක් අවශ්‍ය වේ. පෝෂණයෙන් අඩු ආහාර වේලක් දරුවාගේ බුද්ධි වර්ධනයට, ඒකාග්‍රතාවයට, හැසිරීමට මෙන්ම අධ්‍යාපනික කටයුතුවලට පවා බලපායි. ළමුන් අතර තරබාරුකම ද දැකිය හැකි අතර, එය දිගුකාලීන සෞඛ්‍ය ගැටලුවලට මෙන්ම අධ්‍යාපනික පසුබෑමටද හේතු වේ.

දෙමාපියන්ගේ වාසනාවකට මෙන්, දරුවන්ගේ ආහාර රටාවන් වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂකයන් නව ක්‍රමවේදයන් සොයා ගෙන ඇත. ඔබට නිවසේදී ම උත්සහ කර බැලිය හැකි සරල පියවර 6 ක් මෙහි දැක්වේ.

1. නිතර නිතර ලබා දීම

කුඩා අවදියේදීම දරුවන්ට හැකි තරම් විවිධ වර්ගයේ එළවළු වර්ග ආහාරයට දීම සහ එය නිතර නිතර සිදු කිරීමෙන් වෙනසක් ඇති කළ හැකි බව එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ ජෛව මනෝවිද්‍යා පිළිබඳ මහාචාර්ය මේරියන් හෙතරින්ටන් පවසයි. ඔබේ දරුවාගේ එළවළු කෙරෙහි ඇති කැමැත්ත වැඩි දියුණු කිරීමට වඩාත්ම සාර්ථක කාලය පෙර පාසල් වයස යි.

"වයස අවුරුදු පහට පෙර ඔබ දරුවන්ට නිතර නිතර එළවළු හුරු කිරීමට පටන් නොගත්තොත්, පසුව එය අභියෝගයක් වෙනවා," යැයි හෙතරින්ටන් පවසයි. "එය පවසන්නට අමාරු පණිවිඩයක් වුවත්, ඇත්ත ම කතාව නම් දරුවෙකුට කුඩා කාලයේදී ඒ නිරාවරණය මගහැරුණොත්, පසුව එය වෙනස් කිරීම කළ හැකි වුණත් ඒක ඉතා අමාරු කාර්යයක්." අධ්‍යයන මගින් සොයාගෙන ඇත්තේ දරුවෙකු යම් ආහාරයක් පිළිගැනීමට පෙර නැවත නැවත නිරාවරණය කළ යුතුව ඇති බව යි.

කෙසේ වෙතත්, දරුවෙකු යම් ආහාරයක් පිළිගැනීමට එය කොපමණ වාර ගණනක් දිය යුතුද යන්න පිළිබඳව ඇත්තේ මිශ්‍ර සාක්ෂි වන අතර එය වාර 5 සිට 15 දක්වා විය හැකි ය. (මෙයින් පැහැදිලි වන්නේ සියලු දරුවන් එකිනෙකාට වෙනස් බව යි.)

නමුත්, නව ආහාර අත්හදා බැලීමට ඇති බිය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින වයස අවුරුද්දට අඩු දරුවන්ට, පෙරපාසල් වයසේ (අවුරුදු 3-4) දරුවන්ට වඩා අඩු වාර ගණනකින් මෙය හුරු කළ හැකි ය.

එමෙන් ම, මෙම ක්‍රියාවලිය ඔබේ දරුවා උපත ලැබීමටත් පෙර සිටම ආරම්භ කළ හැකි ය. මවක ගන්නා ආහාර පිළිබඳ සංඥා කළලවාරික තරලය හරහා කළලයට ගමන් කරන අතර, එය බිළිඳාගේ ආහාර රුචිකත්වය හැඩගැස්විය හැකි බවට සාක්ෂි තිබේ.

2. එළවළු පළමුව ලබා දෙන්න

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ළමයින්ට යම් ආහාරයක් සෞඛ්‍යයට හිතකරයි කියා පැවසීම අසාර්ථක විය හැකි යි. ඊට හේතුව වන්නේ "සෞඛ්‍යයට සම්පන්න යි" කියනවාට වඩා "රසයි" කියා විස්තර කරන ආහාර තෝරා ගැනීමට ළමයින් වැඩි කැමැත්තක් දක්වන බැවින් ය. ඒ වෙනුවට, කෑම වේලකදී ඔබ ඔවුන්ට එළවළු ලබාදෙන්නේ කුමන අවස්ථාවේ ද යන්න ගැන සිතා බලන්න.

දරුවන්ට හොඳින් ම කුසගින්න ඇති වේලාවට, එනම් කෑම වේලෙහි මුලින් ම එළවළු ලබා දීමෙන් ඔවුන් ඒවා පරිභෝජනය කිරීමට ඇති කැමැත්ත වැඩි වේ. "ළමයි ගොඩක් වෙලාවට මුලින්ම කන්න ආසම දේ තෝරගන්නවා," හෙතරින්ටන් පවසයි. "ඉතින් ඔවුන් ඇට වර්ග වැනි දේ ආහාරයට ගැනීමේ අවස්ථාව එන විට ඔවුන්ට ඒවා තවත් කන්න ඕනෑ වෙන්නේ නැහැ." එම නිසා වෙනත් වැඩි කැලරි සහිත කෑම සමග තරග කිරීම වැළැක්වීමට එය උදව් විය හැකි ය.

පළමුව එළවළු ආහාරයට ගැනීමට දිරිගැන්වීම දරුවන් ප්‍රමාණයට වඩා ආහාර නොගෙන සිටීමට ද උපකාරී වන බව එක්සත් ජනපදයේ පෙනිසිල්වේනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය බාබරා රෝල්ස් පවසයි.

බටහිර ආහාර වේලකදී සාමාන්‍යයෙන් උදේ ආහාරය සඳහා එළවළු ඇතුළත් නොවන නමුත්, උදෑසන අවදි වූ සැනින් ම ඒවා ආහාරයට ගත නොහැකි වීමට කිසිදු හේතුවක් නැත. ඔබට ඔම්ලට් එකකට හතු සහ නිවිති හෝ, උදෑසන මෆින් සඳහා මල්ගෝවා එකතු කර බැලිය හැකි ය. ඔබට ඔම්ලට් එකකට හතු සහ නිවිති හෝ උදෑසන මෆින් සඳහා සූකිනි එකතු කර බැලිය හැකිය. එක්සත් රාජධානියේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන අටක 2023 දී පවත්වන ලද අත්හදාබැලීමකදී පර්යේෂකයින් සොයා ගත්තේ, උදේ ආහාරය සඳහා එළවළු ලබා දුන් අවස්ථාවලින් 60%කට වඩා වැඩි වාර ගණනක් දරුවන් ඒවා අනුභව කළ බව යි.

3. සෞඛ්‍ය සම්පන්න ආහාරවල ප්‍රමාණය වැඩි කරන්න

උදෑසන ආහාරයට හෝ කෑම වේලකට පෙර එළවළු හඳුන්වා දීම ප්‍රායෝගික නැතැයි හැඟේ නම්, කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ පිළිගන්වන කෑම වර්ගවල අනුපාතය වෙනස් කිරීම යි. එනම්, එළවළු ප්‍රමාණය වැඩි කර අධික කැලරි සහිත අඩංගු ද්‍රව්‍ය අඩු කිරීම යි.

අතිරේක කෑමක් ලෙස ලබා දෙන එළවළු ප්‍රමාණය වැඩි කිරීමෙන් හෝ කැරට් සහ සූකිනි වැනි එළවළු සිහින්ව ලියාගෙන සෝස් වර්ගවලට එකතු කිරීමෙන් ඔබට මෙය පහසුවෙන්ම කළ හැකි යි.

මස් සහ එළවළු අතර අනුපාතය වෙනස් කළ විට, මිනිසුන් සාමාන්‍යයෙන් එක ම ප්‍රමාණයේ ආහාර ප්‍රමාණයක් අනුභව කරන බවත්, එහිදී වැඩි එළවළු ප්‍රමාණයක් ශරීරගත වන බවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇති බැවින්, මෙය ඉතා සාර්ථක ක්‍රමයකි. ළමයෙකුගේ කෑම පිඟානට එකතු කරන පලතුරු සහ එළවළු ප්‍රමාණය 50%කින් වැඩි කළ විට, ඔවුන් ඒවා අනුභව කරන ප්‍රමාණය ද වැඩි වන බව සොයාගෙන ඇත.

ආහාර ලබා ගන්නා වේලාවන්වලදී විවිධ වර්ගයේ එළවළු තෝරා ගැනීමට අවස්ථාව ලබා දුන් විට, පෙර පාසල් වයසේ පසුවන ළමයින් වැඩිපුර එළවළු අනුභව කරන බවත්, සෞඛ්‍ය සම්පන්න නොවන කෑම වර්ග අඩුවෙන් අනුභව කරන බවත් වෙනත් පර්යේෂණ මගින් සොයාගෙන තිබේ.

a small boy with his mother

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

4. පිළිගන්වන ආකාරය වෙනස් කරන්න

දරුවෙකු තමන් ගන්නා ආහාර දකින ආකාරය වෙනස් කිරීම ද ඉතා ප්‍රයෝජනවත් වේ. අප ආහාරයට ගැනීමට කැමති බොහෝ දේ ආරම්භ වන්නේ අපගේ ඇසට පෙනෙන ආකාරයෙන් බව යන්න පිළිබඳව සැලකිලිමත් වන්න. විකල්ප කිහිපයක් හමුවේ, ළමයින් වැඩිපුරම යොමු වන්නේ තමන්ට වඩාත්ම හුරුපුරුදු සහ ආකර්ෂණීය ලෙස පෙනෙන ආහාර වෙතට යි.

මින් අදහස් වන්නේ ආහාර පිළිගන්වන ආකාරය වෙනස් කිරීමෙන් ළමයින්ට වැඩිපුර එළවළු කෑමට සැලැස්විය හැකි බව යි.

පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන ඇත්තේ කෑම පිඟානක අලුත් ආහාර කලාත්මක ලෙස සකසා පිළිගැන්වූ විට, ළමයින් ඒවා අනුභව කිරීමට ඇති ඉඩකඩ වැඩි බව යි. සමනලයෙකු, මලක් හෝ ටෙඩි බෙයාර් වැනි සිත්ඇදගන්නාසුළු හැඩතලවලට කපා ගන්නේ නම්, දරුවන් වැඩිපුර පලතුරු සහ එළවළු අනුභව කරන බව වෙනත් පර්යේෂණවලින් පෙන්වා දී ඇති අතර, සෞඛ්‍ය සම්පන්න ආහාර විනෝදජනක ලෙස පෙනෙන පරිදි සකස් කිරීමෙන් ඔවුන්ගේ ආකර්ෂණය වැඩි වන බව පෙන්නුම් කරයි.

සෞඛ්‍යයට හිතකර ආහාර කෙටි ආහාර ලෙස පහසුවෙන් පෙනෙන සහ ලබාගත හැකි ස්ථානවල තැබීමෙන් ද ඒවා අනුභව කිරීමට උනන්දු කරවන බව පර්යේෂණවලින් පෙනී යයි. වයස අවුරුදු 10-13 අතර ළමයින්ට වෙනස් පිඟන් කිහිපයක තබනවාට වඩා, එකම භාජනයක කොටස් කර වෙන වෙනම සකසන ලද එළවළු වර්ග කිහිපයක් ලබා දුන් විට, ඔවුන් වැඩිපුර එළවළු තෝරාගෙන අනුභව කළ බව සොයාගෙන ඇත. එමෙන්ම කොටස් වෙන් කරන ලද පිඟානක ආහාර ලබා දුන් විට පෙර පාසල් ළමයින් 36% ක් වැඩිපුර එළවළු අනුභව කළ බව ද සොයාගෙන තිබේ.

5. එකට එක්ව ආහාර ගන්න

දෙමව්පියන් කන දේ දරුවන් සාමාන්‍ය ආහාර වේලක් ලෙස සිතන දේට බෙහෙවින් බලපායි. මව්පියන් සෞඛ්‍ය සම්පන්න නොවන කෙටි ආහාර අනුභව කරන්නේ නම්, ඔවුන්ගේ දරුවන් ද එසේ කිරීමට ඉඩ ඇත. ක්ෂණික ආහාර අනුභව කරන හෝ උදෑසන ආහාරය මගහරින දෙමාපියන්ගේ දරුවන් ද එසේ කිරීමට ඇති ඉඩකඩ වැඩි ය.

නවසීලන්තයේ පාසල් ළමයින් යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් ගන්නා මව්පියන්ගේ දරුවන් කේක්, චොකලට් සහ අනෙකුත් රසගන්වන ලද කෙටි ආහාර අනුභව කිරීම අඩු බව යි. ඒ හා සමානව සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගන්නා මව්පියන් ආදර්ශයට ගන්නා දරුවන් වැඩිපුර පළතුරු සහ එළවළු අනුභව කිරීමට ප්‍රිය කරන බව පෙන්වා දී ඇත.

සතියකට අවම වශයෙන් අවස්ථා තුනකදී හෝ එක්ව අසුන් ගෙන ආහාර ගැනීම, සෞඛ්‍ය සම්පන්න ශරීර බරකට, යහපත් ආහාර රටාවකට හේතු වේ. දීර්ඝකාලීන අධ්‍යයනයකින් හෙළි වූයේ, පවුලේ සැවොම එක්ව නිතිපතා කෑම වේල ලබා ගන්නා අයගේ ශාරීරික සුවතාව ඉහළ මට්ටමක පැවති අතර ඔවුන් පැණි බීම පානය කිරීම ද අඩු බව යි.

6. ආහාර ගැනීම විනෝදජනක දෙයක් බවට පත් කරගන්න

අප ආහාරයට ගන්නා බොහෝ දේ තීරණය වන්නේ ආහාර සමග අපට ඇති සබඳතාවය අනුව ය.

යම් ආහාර වර්ග අනුභව කරන ලෙස ළමයින්ට බලපෑම් කිරීමෙන් ඔවුන් ආහාරවලින් ලබන සතුට අඩුවීමට සහ අඩු සෞඛ්‍ය සම්පන්නභාවයෙන් අඩු ආහාර රටාවකට යොමුවීමට හේතු විය හැකි බව පර්යේෂකයෝ අනතුරු හඟවති. ඒ හා සමානව දරුවන්ට අධික තෙල් හෝ අධික සීනි සහිත කෑම වර්ග ත්‍යාග ලෙස ලබා දීමෙන්, ඔවුන් එම කෑම වර්ගවලට ඇති කැමැත්ත තවත් වැඩි විය හැක.

නමුත් අධ්‍යයනයකට අනුව, ළමයින්ට ආහාර සමග සෙල්ලම් කිරීමට ඉඩ හැරීම පමණක් වුව ද 'ආහාර නියෝෆෝබියාව' හෙවත් අලුත් ආහාරයකට ඇති බිය අඩු කිරීමට උපකාරී වේ. පර්යේෂකයන් විසින් බීට්රූට්, කඩල වැනි ද්‍රව්‍ය රස බැලීමට කිසිදු බලපෑමක් නොකර, ඒවා ඇල්ලීමට, සුවඳ බැලීමට සහ ළඟින් නිරීක්ෂණය කිරීමට ළමයින්ව දිරිමත් කරවන ලදී. එහිදී එම ළමයින් නුපුරුදු කෑම වර්ග කෙරෙහි වැඩි කැමැත්තක් දැක්වූ අතර පසුව ඒවා රස බැලීමට ද වඩාත් කැමැත්තෙන් ඉදිරිපත් වූහ.