හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අප්‍රේල් මාසය වන විට දැඩි ලේ හිඟයක් ඇතිවිය හැකි බැවින් තවදුරටත් ලේ දන්දෙන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
සෑම වසරකම මුල් මාස 4 තුළ ලේ දන්දීම අඩු බව නිරික්ෂනය වී ඇති බව පවසන ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මැතිවරණ සමයකදී එය තවත් අඩුවන බව බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළේය.
"සම්ප්‍රදායානුකුලව කටයුතු කළොත් අපි අප්‍රේල් වෙද්දී දැඩි අර්බුදයකට ලක්වෙන්න ඉඩ තියෙනවා ලේ හිඟ වෙලා. අපි අර්බුදයක් ඇතිවෙලා විසඳුම් සොයනවා නෙවෙයි, ඇතිවිය හැකි අර්බුදයකට පෙර සුදානම් වෙනවා."
ශ්‍රී ලංකාවට සාමාන්‍යයෙන් වසරකට ලේ පයින්ට් 450,000 ක් පමණ අවශ්‍ය බව තක්සේරු කෙරේ. එක් පුද්ගලයකුගෙන් ලබා ගන්නේ ලේ පයින්ට් එකක් එනම් මිලි ලීටර් 450 ක් පමණ ප්‍රමාණයකි.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
විවිධ රෝගාබාධ හා සිදුවන සැත්කම් වැඩිවීම නිසා ලේ අවශ්‍යතාවය දිනෙන් දින වැඩිවෙමින් පවතින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේය.
මේ වන විට රුධිරය රැස්කිරීමේ මධ්‍යස්ථාන 102 ක් රට පුරා ලේ එකතුකිරිම සිදුකරන අතර නිරෝගී ඕනෑම පුද්ගලයකු තමන්ට ළඟ මධ්‍යස්ථානයක් කරා යාමෙන් ලේ පහසුවෙන් දන්දී තවත් ජිවිතයක් බේරාගැනීමට හැකියාවක් ඇත.
"ෆේස්බුක් එකෙන් දැක්කා"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලේ හිඟයක් ඇති බව පවසමින් මාධ්‍ය හරහා ජනතාවගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව පසුගිය ඉරිදා (ජනවාරි 21) ජාතික ලේ බැංකුව වෙත ගිය බීබීසී සිංහල මාධ්‍යවේදීන්ට දක්නට ලැබුණි.
"ෆේස්බුක් එකෙන් පෝස්ට් එකක් දැකලා ආව ලේ දන්දෙන්න. මීට කලිනුත් එකපාරක් දීලා තියෙනවා," තම ලේ දන්දීමට පැමිණ සිටි තරුණයෙකු බීබීසියට ප්‍රකාශ කළේය.
"මම ලේ දෙන්නේ 9 වෙනි පාරට, ඒක ලොකු සතුටක් මට," තවත් අයෙක් පැවසුවේය.
"මට ලේ දෙන්න බැරිවුනා. මම බෙහෙත් වගයක් ගත්තා පෙරේදා ඒ නිසා මගේ ලේ ගත්තේ නැහැ," ලේ ලබාගැනීම ප්‍රතික්ෂේපවූ තරුණයෙක් අදහස් පළ කළේ එලෙසය.
ලේ දන්දීමට පෙර සෞඛ්‍ය පරීක්ෂණයක් පවත්වා සුදුසුකම් සපිරී නිරෝගී පුද්ගලයකු නම් පමණක් ලේ ලබාගැනීම සිදුකරයි.
වයස 18 ත් 60 ත් අතර බර කිලෝග්‍රෑම් 50 ට වැඩි රෝගාබාධ වලින් තොර පුද්ගලයන්ගෙන් එලෙස ලේ ලබාගැනීම සිදුකරයි. නිරෝගී පුද්ගලයකුහට වසරකට සිව් වතාවක් පමණ ලේ දන්දීය හැකි බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.
'සමගිය බලය වේ'
ලේ දන්දීම සඳහා ආරක්ෂක අංශවල භට පිරිස් රැසක් ද එදින ලේ බැංකුවට පැමිණ සිටියේය.
"මම පොඩි කාලේ මට ලේ දීලා තියෙනවා. ඇත්තටම මම දන්නේ නැහැ මොන ජාතියේ කෙනෙක්ගේ ලේ ද මට දුන්නේ කියලා. මම මුස්ලිම් වුනාට, ජාතින් අතර සමගියට මේක හොඳ තැනක්," ලේ දන් දීමට පැමිණි සිටි එම් මොහමඩ් ලේ දන් දීමට හා ලේ ලබාගැනීමට ජාති ආගම් නැති බව මතක් කරමින් ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Blood.lk
"ගොඩක් අය බයයි කටු අනිනවා, අතුරු ආබාධ එනවා කියලා. එහෙම කිසිම දෙයක් නැහැ, මම කිපවතාවකම ලේ දීලා තියෙනවා," ලේ දන්දීමට පැමිණ සිටි කාන්තාවක් අනිත් අයට ද ලේ දන්දීමට එක්වෙන ලෙස ඉල්ලීමක් කරමින් සඳහන් කළාය.
O නෙගටිව්, A/B පොසිටිව්/නෙගටිව් ලේ වර්ග හිමි අයට වැඩි වශයෙන් ලේ දන්දෙන ලෙස වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉල්ලා සිටි අතර ඒ එම වර්ගවල තිබෙන ලේ දුලබ නිසාය.
ඕනෑම කණ්ඩායමට එක්වී 15 දෙනෙකු හෝ 20 සිටී නම් ජංගම ලේ බැංකුවක් ඔවුන් සිටින ස්ථානයට යැවිය හැකි බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. ලේ දන්දීම ගැන ඕනෑම තොරතුරක් +94112369931-4 යන දුරකථන අංකවලින් ලබාගත හැකි බව ඔහු පැවසීය.
වෙනත් පුවත්:




























