නාමල් ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙයි

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට ගෙන යමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට ගෙන යමින්
Published

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඔක්තෝබර් හයවෙනිදා (06) හම්බන්තොට නගරයේ ගෙන ගිය උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ කැඳවීමක් අනුව අද හම්බන්තොට පොලිසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් නිල නිවසේදී විනිසුරු මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 16 වෙනිදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ කණ්ඩායමට ඩී. වී. චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඇතුළත් වෙයි.

ඊට අමතරව උපාලි කොඩිකාර,සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන පළාත් සභා මන්ත්‍රීවරුන් ද ඔවුන් අතර සිටිති.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හේතු වශයෙන් නීති විරෝධී ජනරාශිය,පොදු දේපොළ වලට හානි සිදු කරනු ලැබීම,පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම ,රාජකාරියට බාධා කිරීම,අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනා ඉදිරිපත් කරනු ලැබ ඇත.

සැකකරුවන් රැගෙන යද්දී එක්තරා කණ්ඩායමක් මහා මාර්ගයේ ටයර් පුළුස්සමින් සිටි බව ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පවසති
ඡායාරූප ශීර්ෂ වැකිය, සැකකරුවන් රැගෙන යද්දී එක්තරා කණ්ඩායමක් මහා මාර්ගයේ ටයර් පුළුස්සමින් සිටි බව ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පවසති

හම්බන්තොට පොලිසිය විසින් ඉහත කී සයදෙනා අත්අඩංගුවට ගන්නා ලද බව නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

ඉහත කී විරෝධතා ව්‍යාපාරයට එක්වූ 28 දෙනෙකු "කලහකාරී ලෙස හැසිරීමේ" චෝදනාව යටතේ ඔක්තෝබර් හයවෙනිදාම අත්අඩංගුවට ගනු ලැබුණි.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ මෙම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර එහි ඇතිවූ උණුසුම් වාතාවරණය හමුවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද තුවාල ලද බව වාර්තා විය.

වීඩියෝ ශීර්ෂ වැකිය, පසුගිය 06 වෙනිදා හම්බන්තොට පැවති උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට පත් විය