නාමල් රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ පැමිණිල්ල ගැන වැඩිදුර විමර්ශන ඇරඹීමට නීතිපතිගෙන් CIDයට උපදෙස්

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ඉදිරිපත් වී තිබූ පැමිණිල්ල පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ජුනි 30 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග.එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි අනාවරණය කළේය.
ඉකුත් වසරේ ඔක්තෝබර් මස 14 වැනිදා නීතිපතිවරයා විසින් සිදුකරන ලද සාකච්ඡාවකදී මීට අදාළව පෑන් ඒෂියා සහ නේෂන් ට්‍රස්ට් යන බැංකු වලින් ගිණුම් වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන කරන ලෙසත් නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවත් විමර්ශන නිලධාරීහූ අධිකරණයට දැනුම් දුන්හ.
වසර 11ක් පමණ පැරණි විමර්ශනයක්
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය වසර 11ක් පමණ පැරණි විමර්ශනයක් බව පෙන්වා දුන්නේය.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම බැංකු වාර්තා ලබාගැනීම සඳහා කොපමණ කාලයක් ගතවේ දැයි විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා කියා සිටියේ කඩිනමින් බැංකු වාර්තා ලබාගෙන විමර්ශන සිදු කර ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 29 වැනිදා යළි කැඳවන ලෙස නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නේය.
චෝදනාව කුමක් ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් NR consultancy නැමති සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතර දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් යහපාලන රජය සමයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
මෙම නඩුකරය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සැකකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
































