ක්‍රිකට්: ශ්‍රී ලංකා - එංගලන්ත තරගයට කොරෝනාවෛරසයෙන් බලපෑම් එල්ල වේද?

Sri Lanka cricket

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් "පූර්ව ආරක්ෂක පියවර" අනුගමනය කිරීමට නියමිත නමුත්, මාර්තු මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම අවලංගු කර නැති බව එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

කෙසේනමුත්, පවතින තත්වය පිළිබඳ "නිරන්තරයෙන් අධීක්ෂණය කරන" බව ද පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දෙසැම්බර් මස දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භයේදී කොරෝනාවෛරසය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට දැඩි බාධකවලට මුහුණ දීමට සිදු විය.

"මෙම අවස්ථාවෙහිදී, අපගේ වෛද්‍ය විශේෂඥයන්ගේ සහ විදෙස් කාර්යාංශයේ උපදෙස් අනුව, කොරෝනාවෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයට අවදානමක් තිබෙන බවට කිසිදු ඇඟවීමක් නොමැති," බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයෙක් පැවසීය.

"අපගේ දැනුමට අනුව, ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇත්තේ එක් කොරෝනාවෛරස ආසාදිතයෙක් පමණයි. එය එක්සත් රාජධානියට වඩා අඩු සංඛ්‍යාවක් වන අතර, තවදුරටත් වෛරසය පැතිරීම සඳහා ඉහළ අවදානම් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකෙන්නේ නැහැ. නමුත්, මේ තත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින්, එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා."

"ශ්‍රී ලංකාවට යන ක්‍රීඩකයින් සහ නිලධාරීන් සඳහා පූර්ව ආරක්ෂක පියවර අනුගමනය කරනවා. ප්‍රතිශක්තිය හැකි උපරිම මට්ටමක පවත්වා ගැනීම ඕනෑම රෝගයක් වළක්වා ගැනීම සඳහා උපකාර වෙනවා," ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

කොදෙව්වන්ට එරෙහිව 'විශිෂ්ට' ජයක්

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පවතින එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා සමත් විය.

කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් පිළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 9 කදී බිඳ දැමීමට කොදෙවු පිල සමත් විය.

ඉන් අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 239ක සබඳතාවක් ගොඩනගා ගත්හ.

ලකුණු 345ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 184ක් පමණි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය.

තරගය අතරතුර දී විදුලි ආලෝක කුළුණක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තරගය තාවකාලිකව නැවැත්වීමට ද සිදුවිය.

එමෙන්ම, තරගය අතරතුර ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට පැමිණි පිරිසක් ඉවත් කිරීමට ආරක්ෂක අංශ දැරූ උත්සහයක දී ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ප්‍රවේශපත් කවුළු අසල දී ප්‍රහාරයකට ලක් වී තිබිණ.

ගැටුම පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ, මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත නියෝග කළ බවය.

සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ එක් කඩුල්ලකිනි.

කාන්තා 20 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය

2020 women cricket world cup

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක චමරී අතපත්තු

මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී අඟහරුවාදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තියුණු තරගයක් දෙමාට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වුව ද, දුර්වල පන්දු රැකීම් හමුවේ තරගය අවසාන වීමට පන්දු තුනක් තිබිය දී ජයග්‍රාහී ඉලක්කය කරා ළඟා වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

මෙහි දී හයේ පහර දෙකක් සමගින් නායක චමරී අතපත්තු පන්දු 38කදී අර්ධ ශතකයක් රැස් කළ අතර, උමේෂා තිමාෂිනී ලකුණු 20 ක් ද, කඩුලු රකින ක්‍රීඩිකා අනුශ්කා සංජීවනී ලකුණූ 25ක් ද රැස් කළාය.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 122 ක් රැස් කළේය.

පළමුවන පන්දුවාර හය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 19කට කඩුලු තුනක් දැවී ගිය නමුත්, අවසන් පන්දු වාරයේ දී තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.

තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් මුහුණ දුන් නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුලු හතක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

පෙබරවාරි 29 වෙනි දින ශ්‍රී ලංකාව ඉන්දියානු කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

මේ තොරතුරුද කියවන්න: