මිකී ආතර්: වසර අටක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 11 වෙනි පුහුණුකරු

මිකී ආතර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් තෝරාගෙන තිබේ. 

වසර අටක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පදවියට පත්වන 11වැනි පුද්ගලයා ඔහුය.

මිකී ආතර් පුහුණුකරන සිව් වැනි ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවය. ඔහු මීට ඉහතදී දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ අවසන් වරට පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ කටයුතු කළේය.

පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු, යෝජිත පාකිස්තාන සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කර සංචාරයෙන් අනතුරුව වසර 2ක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කිරීම නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.  

ඒ අනුව ජනවාරි මාසයේ ඉන්දියාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේදී මිකී ආතර් නිල වශයෙන් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකාර ධුරය භාරගැනීමට නියමිතය.

එතෙක් ඔහු කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස දැනට තාවකාලික පදනමකින් ප්‍රධාන පුහුණුකරු ධුරය දරන රුමේෂ් රත්නායකට සහය වීමට නියමිතය. විශේෂයෙන්ම ලෝක ටෙස්ට් ශුරතාවයේ කොටසක් ලෙස පාකිස්තානයේ පැවැත්වෙන තරග දෙකට පාකිස්තානයේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති මිකී ආතර්ගේ අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇති බව විශ්වාස කෙරේ.

2012 වසරේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සමග මිකී ආතර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2012 වසරේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සමග මිකී ආතර්

මිකී ආතර් ගැන කරුණු 5ක්:

  • 1968 දී දකුණු අප්‍රිකාවේ උපත ලද 51 හැවිරිදි ජෝන් මිකී ආතර් දකුණු අප්‍රිකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග 110 කට සහභාගි වූ ක්‍රීඩකයෙකි. 1986 සිට 2000 වසර දක්වා දිවුණු ඔහුගේ ක්‍රිකට් දිවියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගැනීමට ඔහුට නොහැකි විය. 2001 වසරේ සිට ඔහු ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කරයි.
  • ජාත්‍යන්තර කණ්ඩායමක පුහුණුකරු ලෙස මිකී ආතර් පත්වූයේ 2005 වසරේදීය. ඒ තම රට වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමක් ලැබීමත් සමගයි. එවකට 37 හැවිරිදි වියේ පසුවූ මිකී ආතර් වසර 5ක කාලයක් එනම් 2010 වසර දක්වා දකුණු අප්‍රිකානු පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. එම කාල සිමාවේ දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයට ගෙන ඒමට ඔහුට හැකිවිය. 
  • 2011 වසරේ නොවැම්බර් මාසයේ ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට පත්වූ මිකී ආතර්, එම තනතුරට පත් පළමු විදේශිකයා විය. 2015 ලෝක කුසලානය දක්වා ඔස්ට්‍රේලියාව සමග ගිවිසුම්ගත වූ ඔහු එම තනතුරින් 2013 වසරේ ඉවත් කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කළේය. ඒ එම කාලවකවානුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් හේතුවෙනි.
මිකී ආතර් තම පවුලේ සාමාජිකයන් සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මිකී ආතර් තම පවුලේ සාමාජිකයන් සමග

4. 2016 වසරේදී නැවතත් මිකී ආතර් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකරු ලෙස පත්වූයේ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසිනි. 2019 වසරේ ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඔහු එම තනතුරින් ඉවත්කරන තෙක් ඔහු පකිස්ථානය සමග කටයුතු කළේය. 2017 වසරේ චැම්පියන්ස් කුසලාන ජයග්‍රහණය, පාකිස්තානය විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ පළමු ස්ථානයට පැමිණීම එම කාලවකවානුවේ පාකිස්තානය ලබාගත් ජයග්‍රහණ අතර වේ.

5. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර ධූරය අර්බුද සහිත තනතුරක් ලෙසින් ජාත්‍යන්තරව පවා ප්‍රකටව පවතින අතර එම තනතුර භාරගැනීම ලොව ප්‍රකට පුහුණුකරුවන් අවස්ථා ගණනාවකදීම ප්‍රතික්ෂේප කර තිබුණේ එම තනතුර නිතර වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙනි. මිකී ආතර් එම තනතුරට පත්වූයේ ශ්‍රී ලංකාව වැඩිම මිලක් ගෙවා ගෙන්වාගත් පුහුණුකරු ලෙස සැළකෙන චන්දික හතුරුසිංහ තවමත් නිල වශයෙන් තම තනතුරින් ඉවත්වී නොමැති අවස්ථාවකය. චන්දික හතුරුසිංහ තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත් ගතවී සිටින අතර ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීම නීතිමය ගැටළුවක් දක්වා දුර දිග යෑමට නියමිත බව ද වාර්තාවේ.