ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

අනුර කුමාර දිසානායක : නව ජනපති අලුත් ලේකම්වරුන් පත්කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබේ.ඒ අනුව එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයටත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයටත් පත් කර තිබේ. කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස පත් කර තිබේ.

සාරාංශය

  • අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි.
  • ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ලෙස පත්කෙරේ.
  • එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා නව ආරක්ෂක ලේකම් ධුරයට.
  • හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට.
  • කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ධුරයට.
  • නව ජනපති අනුරගේ කැබිනට් මණ්ඩලය කුමක් වෙයි ද? ඉදිරි පියවර මොනවා ද?

සජීවී වාර්තාකරණය

සංස්කරණය ඉෂාරා ධනසේකර, ප්‍රවෘත්ති සංස්කාරක, බීබීසී සිංහල / සම්පත් දිසානායක , ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු, බීබීසී සිංහල

  1. ඉතිහාසයේ දිග ම ඡන්ද පත්‍රිකාව මෙවර : 'මේ සැරේ ඡන්ද කොලේ දිග වැඩියි... මම දැකපු දිග ම ඡන්ද කොලේ ඒක'

    වසර 42ක ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගින් වැඩි ම නිල ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කෙරුණේ මෙවර ජනාධිපතිවරණය සඳහායි.

    ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙකු තරග කරන අතර, එයින් එක් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට පෙර මිය ගිය නමුත් ඔහුගේ නම ද ඡන්ද පත්‍රිකාවේ ඇතුළත් ය.

    මෙවර ඡන්ද පත්‍රිකාව අඟල් 27.5ක් දිගු වන අතර එය ආසන්න වශයෙන් අඩි දෙකක් සහ තවත් අඟල් 3.5ක් දිග වේ.

    මෙවර මුද්‍රණ වියදම් සඳහා රුපියල් මිලියන 800ක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබිණි.

    මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල ප්‍රදේශයේ 33 හැවිරිදි තරුණියක වන බුද්ධිනී මිටියමුල්ලෙ ආරච්චි.

    "[ඡන්ද පත්‍රිකාව] දිග වැඩියි... කට්ටියට එච්චර හුරු ගතියක් තිබුණේ නැහැ. මම දැක්ක විදිහට කට්ටිය ලොකු වෙලාවක් ගත කළා ඒක කියවන්න ම. ගේට්ටුවේ [ඡන්ද මධ්‍යස්ථානයේ] ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක බලලා මම යම් අදහසක් අරගෙන ගියේ, මට අවශ්‍ය ඒවා මේ තැන්වල තියෙන්නේ කියලා. ඒ නිසා මට ලොකු වෙලාවක් ගියේ නැහැ."

  2. ඡන්දය ප්‍රකාශ කිරීමට ඉතිරිව ඇත්තේ තවත් මිනිත්තු 30කි

    අද (සැප්තැම්බර් 21) උදෑසන 7.00ට ආරම්භ වූ ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා වන ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වීමට ඇත්තේ තව මිනිත්තු 30 කට අඩු කාලයකි.

    අද පස්වරු 4ට ඡන්ද විමසීම අවසන් වෙයි.

  3. 'දහවල් 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය 60%කට ආසන්නයි ' - පැෆ්රල්

    අද දහවල් 2.00 වන විට දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය 60%කට ආසන්න බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

    දහවල් 2.00 වනවිට මොණරාගල 60%ක් ද, බදුල්ල 55%ක් ද, පොලොන්නරුව 65%ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ඔහු පැවසීය.

    කොළඹ 60%ක්, කළුතර 60%ක්, වව්නියාව 61%ක්, මන්නාරම 56%ක ප්‍රතිශතයන් දහවල් 2.00 පමණ වන විට ඡන්දය භාවිත කර ඇතැයි බීබීසී සිංහල විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගෙන් සිදු කළ විමසීමේ දී දැනගන්නට ලැබුණි.

  4. 'ඡන්දය ප්‍රකාශ කිරීමට ඉතිරිව ඇත්තේ පැයක කාලයක්'

    2024 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට තවත් ඉතිරිව ඇත්තේ පැයක පමණ කාලයකි.

    'ඡන්දය ඔබේ අයිතියක්. එය භාවිත කරන්න'

    ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වන ශ්‍රී ලංකාව තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන අතර රටේ පාලනයට සම්බන්ධ වීමට ඔබට ලැබෙන එක ම අවස්ථාව වන්නේ, ඡන්දය භාවිත කරමින් සුදුස්සන් තෝරා ගැනීමට සම්බන්ධ වීම ය.

    එම අවස්ථාව හිමි වන්නේ, වසර 5කට වරක් පැවැත්වෙන ජනාධිපතිවරණය ඇතුළු සෙසු මැතිවරණ හරහා ය.

    බ්‍රහස්පතින්දා (සැප්: 19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේ, “ඡන්දය ඔබේ අයිතියක්. ඡන්දය ඔබේ බලය. එය භාවිත කරන්න,” යනුවෙනි.

  5. 50% නොලැබුණොත් ආයෙත් ඡන්දයක් තියන්න වේවි ද?

    නැත. එවැනි අවස්ථාවක අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් තිබේ.

    අපේක්ෂකයින් කිසිවෙකුට හෝ 50% ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයා මේ ආකාරයෙන් තෝරා ගැනේ.

    වැඩි ම ඡන්ද ගණනක් ලබා ගෙන ඇත්තේ A සහ B යන අපේක්ෂකයින් දෙදෙනා නම් ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාව මුල් වටයේදී ම දැන ගැනීමට හැකියාව තිබේ.

    ඉන් අනතුරුව අනෙක් අපේක්ෂකයින්ට ඡන්දය ලැබුණු ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය Aට හෝ Bට ලැබී ඇති දැයි බැලීම සිදු කරයි.

    එහිදී දෙවන මනාපය Aට ලැබී ඇති නම්, එම සංඛ්‍යාව Aට අයත් ඡන්ද ගොඩට එකතු වන අතර දෙවන මනාපය Bට ලැබී ඇති නම් එම සංඛ්‍යාව Bගේ ඡන්ද ගොඩට එකතු වෙයි.

    අනෙක් අපේක්ෂකයින්ට ඡන්දය ලැබුණු ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය Aට හෝ Bට ලැබී නොමැති නම් එම ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය සලකා බැලීම සිදු වේ.

    එලෙස තුන්වන මනාපය Aට හෝ Bට ලැබී ඇත්නම් ඒවා අදාළ අපේක්ෂකයාගේ ඡන්ද ගොඩට එකතු වෙයි.

    එවැනි අවස්ථාවක වැඩි ඡන්ද ගණනක් ලබා ගත් අපේක්ෂකයා 50% ප්‍රතිශතය ඉක්මවා ගොස් ඇතැයි ද යන්න නොසලකයි.

    Aට හෝ Bට කිසිදු අමතර මනාපයක් නොමැති නම්, ඡන්ද ගණන වැඩි අපේක්ෂකයා ජනාධිපති ධූරයට තේරී පත් වෙයි.

    කෙසේ වෙතත්, ඡන්ද සමාන වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට කුසපත් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට හැකියාව පවතී.

  6. 'ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ථ මට්ටමක'- පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

    පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ අද දහවල් 12.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ථ මට්ටමක පැවති බවය.

    "අද දහවල් 12.00 වෙද්දී දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ථ මට්ටමක පැවතුණා."

    "ජනතාව උනන්දුවෙන් ඡන්දය භාවිත කරන බව පෙනෙන්න තියෙනවා."

    "අපට දැනට බිම් මට්ටමෙන් ලැබෙන තොරතුරු අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50%කට ආසන්නයේ පවතිනවා."

  7. 'පළමු පැය කිහිපය සාමකාමියි'- IRES විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක

    ජනාධිපතිවරණයේ පළමු පැය කිහිපය ඉතා සාමාකාමී එකක් වූ බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    "ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති සාමකාමී මැතිවරණය මේක වෙන්න පුළුවන්. පළමු පැය කිහිපයේදී බරපතල සිදුවීම් කිසිම දෙයක් වාර්තා වෙලා නැහැ."

  8. “පැමිණිලි 85ක් ලැබිලා" - මැතිවරණ කොමිෂන් සභාව

    ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ විය.

    බීබීසී ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මේවනවිට ඡන්දදායකයින් අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බවයි.

    ජාත්‍යන්තර සහ දේශිය මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ රාජකාරි සඳහා එක්ව සිටියි.

    අද (සැප් 21) දින පෙරවරු 10.00 වන විට 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 85ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

    මැතිවරණ ක්‍රියාවලිය පුරා විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සෑම පැමිණිල්ලක්ම හොඳින් සමාලෝචනය කරන බව එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

  9. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔබ කටයුතු කළ යුත්තේ කෙසේ ද?

    ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔබ කටයුතු කළ යුත්තේ කෙසේ දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැහැදිලි කළේය.

  10. 'සමාජ මාධ්‍ය ගැන විශේෂ අවධානයක්'

    සමාජ මාධ්‍ය ගැන විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.

  11. 'ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන යාම තහනම්'

    ඡන්ද මධ්‍යස්ථානවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක ප්‍රකාශ කළේය.

  12. 2024 ජනාධිපතිවරණය : ඡන්ද විමසීම ඇරඹේ

    ආයුබෝවන්

    ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද වීමසීම අද උදෑසන 7ට ආරම්භ විය.

    අපේක්ෂකයින් 38දෙනෙකු මෙවර ජනාධිපතිවරණ තරග බීමට එක්ව ඇත. 2024 ජනාධිපතිවරණය සඳහා නව ඡන්දදායකයන් ලක්ෂ 9කට ආසන්න පිරිසක් ඇතුළුව සමස්ත ඡන්දදායකයන් මිලියන 17ක් සුදුසුකම් ලබා තිබේ.

    දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඔවුන් ඡන්දය ප්‍රකාශ කරනු ලැබේ. ඡන්ද විමසීම සඳහා නිල ඡන්ද පත්‍රිකා මිලියන 17.9ක් මුද්‍රණය කර ඇත.

    මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 2.5කට අධික පිරිසක් රාජකාරීවලට යොදවා ඇත.

    ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 63,000කට අධික පිරිසක් ද අනියුක්ත කොට තිබේ.

    2022 වසරේදී රට දරුණු ආර්ථික අර්බුදයකට පසු මුහුණදීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.

    මැතිවරණ නීති රීති වලට අනුකූලව අද උදෑසන ඡන්ද ප්‍රකාශ කිරිම ආරම්භයේ සිට ප්‍රතිඵල නිකුත් වීම අවසන්වීම දක්වා සිදුවන සියලු සුවිශේෂ තොරතුරු ඔබට මෙම සජීවී පිටුව හරහා ගෙන ඒමට අපි සුදානම්.