ඊශ්‍රායලයෙන් ටෙහෙරානයට ප්‍රහාර එල්ල වන අතරේ කටාර් සහ සෞදි බලශක්ති මධ්‍යස්ථානවලට ඉරානයෙන් ප්‍රහාර

බේරූට් සහ දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 149 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කලාපය පුරා ඉරාන ප්‍රහාර අඛණ්ඩව පවතින අතර, බහරේන් සහ ඩුබායි වලින් පිපිරීම් වාර්තා වී ඇති අතර, කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අසලින් දුමාරයක් වාර්තා වී ඇත.

සාරාංශය

  • නවතම තොරතුරු සඳහා නව සජීව පිටුව වෙත පිවිසෙන්න...
  • ඉරානය සමග ඇමෙරිකා-ඊශ්‍රායල ගැටුම තෙවන දිනටත්
  • ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය වෙඩි හුවමාරුවක්
  • ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 31 දෙනෙකු මරුට - ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය
  • ලෙබනනයේ ගම්මාන 50කට වැඩි ගණනක පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස IDF දැනුම් දෙයි
  • ඇමෙරිකානු හමුදා සාමාජිකයින් තිදෙනෙක් මරුට: පස් දෙනෙකු "බරපතළ තුවාල"
  • ඇමෙරිකානු හමුදා මෙහෙයුම සති ගණනක් පැවතිය හැකි බව ට්‍රම්ප් පවසන අතර ඉරානයට එරෙහි ප්‍රහාර දැඩි කිරීමට ඊශ්‍රායලය ප්‍රතිඥා දෙයි
  • ගෝලීය තෙල් මිල ඉහළට
  • ගල්ෆ් ගුවන් අවකාශය වසා දැමීමත් සමග සංචාරකයින්ට බාධා

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. ජනාධිපතිවරයා සහ තවත් දෙදෙනෙකු සංක්‍රාන්තිය කාලය අධීක්ෂණය කරන බව ඉරානය නිවේදනය කරයි

    තම ජනාධිපතිවරයා, අධිකරණ ප්‍රධානියා සහ බලවත් ආයතනයක් වන ගාඩියන් කවුන්සිලයේ නීතිවේදීන්ගෙන් කෙනෙකු - අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු සංක්‍රාන්ති කාලය අධීක්ෂණය කරන බව නිවේදනය කර තිබෙනවා.

    අපගේ වාර්තාකරු මීට පෙර පැහැදිලි කළ පරිදි, පූජකවරුන්ගෙන් සැදුම් ලත් මණ්ඩලය - දැන් කමේනිගේ අනුප්‍රාප්තිකයා පත් කිරීම සඳහා යොමු වනු ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි හැකි ඉක්මනින් සිදුවිය යුතු වෙනවා.

    නමුත් ආරක්ෂක හේතු මත සියල්ලන් ම ඉක්මනින් රැස් කිරීම දුෂ්කර විය හැකියි. රුහොල්ලා අයතුල්ලා කොමේනි මියගිය දිනයේ ම කමේනි පත් කෙරුණා.

  2. ඉරානයේ සිවිල් වැසියන් 130කට අධික සංඛ්‍යාවක් මරුට - මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය

    වොෂින්ටනය පදනම් කරගත් ඉරාන අයිතිවාසිකම් කණ්ඩායමක් වන මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, සෙනසුරාදා ආරම්භ වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන සිවිල් වැසියන් 133 දෙනෙකු මිය ගොස් 200 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    මෙම සංඛ්‍යා ප්‍රකාශයට පත් කර ඇත්තේ, ප්‍රදේශ 18ක් පුරා අවම වශයෙන් ප්‍රහාර 58ක් වාර්තා වී ඇති බවත්, වැඩි ම සිදුවීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ටෙහෙරාන් නුවරින් බවත් සඳහන් වන මූලික වාර්තාවක් මත පදනම්වයි.

    හමුදා නිලධාරීන් ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර යටිතල පහසුකම් සහ අධ්‍යාපන මධ්‍යස්ථානවලට සිදු වූ හානි මෙන් ම අන්තර්ජාලය ප්‍රවේශ වීමට ඇති දැඩි බාධාවන් පිළිබඳව ද මෙම කණ්ඩායම වාර්තා කළා.

  3. ඉරානය දැඩි 'විනාශකාරී ප්‍රහාරයක්' ගැන අනතුරු අඟවයි

    ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායෙන් අපට දැන් ප්‍රකාශයක් ලැබී ඇති අතර, ඔවුන් ඇමෙරිකානු කඳවුරු සහ ඊශ්‍රායලයට පහර දෙන බවට අනතුරු අඟවා තිබෙනවා.

    "ඉරාන ඉස්ලාමීය ජනරජයේ ඉතිහාසයේ වඩාත් ම විනාශකාරී ප්‍රහාරාත්මක මෙහෙයුම, අත්පත් කරගෙන සිටින භූමි ප්‍රදේශ සහ ඇමෙරිකානු කඳවුරු වෙත සුළු මොහොතකින් ආරම්භ වනු ඇත," යනුවෙන් එහි සඳහන් වෙනවා.

  4. අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරාන උත්තරීතර නායකයාගේ මරණය එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළ මොහොත

    ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරනවා. එමෙන් ම, ඉරානය සිය ආධ්‍යාත්මික නායකයාගේ අභාවය වෙනුවෙන් දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඉරාන උත්තරීතර ආරක්ෂක කවුන්සිලය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයට, අනුව උත්තරීතර නායකයාගේ මරණය සිදුවූ ආකාරය සඳහන් කර නොමැති අතර ඔහුගෙන් පසුව එරට නව උත්තරීතර පාලකයෙක් ද මෙතෙක් නම් කර නැහැ.

    මේ අතර, ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුණුපුරා ද ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය, උත්තරීතර නායක කාර්යාලයේ "මූලාශ්‍ර" උපුටා දක්වමින් වාර්තාවක සඳහන් කර තිබෙනවා.

    ප්‍රහාරවලදී "කමේනිගේ ලේලියක් ද මිය ගොස් ඇති බව පවසා ඇත" යනුවෙන් ෆාර්ස් පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

    බුද්ධි අංශ මූලාශ්‍රයක් සහ හමුදා මූලාශ්‍රයක් බීබීසීයේ ඇමෙරිකානු මාධ්‍ය සහකරු වන CBS ප්‍රවෘත්ති සේවය වෙත පවසා ඇත්තේ, ප්‍රහාරවලින් ඉරාන නිලධාරීන් 40 දෙනෙකු පමණ මිය ගිය බවයි.

    මෙම මරණ සිදුව ඇත්තේ එක් ස්ථානයක ද එසේත් නැතනම් ස්ථාන කිහිපයක ද යන්න පැහැදිලි නැහැ.

    මියගිය අය අතර ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි මෙන් ම ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරියා සහ ආරක්ෂක අමාත්‍යවරයා ද සිටින බව ඔවුන් කියා සිටියා.

  5. අයතුල්ලා අලි කමේනි යනු කවුද?

    වීඩියෝ ශීර්ෂ වැකිය, 1989 සිට අයතුල්ලා අලි කමේනි ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කරයි.

    1989 සිට අයතුල්ලා අලි කමේනි ඉරානයේ උත්තරීතර නායකයා වන අතර, 1979 විප්ලවයෙන් පසු ඔහු රටේ දෙවන නායකයා බවට පත්වුණා.

    ඔහු බලයේ නොමැති ජීවිතයක් තරුණ ඉරාන ජාතිකයන් කිසි දා දැන සිටියේ නැත.

    ඔහු ප්‍රධාන බලයක් දරන අතර, ඕනෑ ම ප්‍රතිපත්තියක් අවහිර කිරීමට සහ විවිධ බල කණ්ඩායම් තුලනය කරමින්, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඕනෑ ම කාරණයක් නිෂේධ කිරීමට සහ රාජ්‍ය තනතුරු සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට ඔහුට හැකියාව ඇත.

    රාජ්‍ය නායකයා සහ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ඇතුළු හමුදාවේ සේනා විධායකයා ලෙස, ඔහුගේ තනතුර ඔහුව බලවත් තැනැත්තෙකු බවට පත් කොට තිබේ.

    ඔහු 1939 දී ඉරානයේ දෙවන විශාලතම නගරය වන මෂාඩ්හි උපත ලැබුවා.

    ආගමික පවුලක දරුවන් අට දෙනාගෙන් දෙවැන්නා වූ ඔහුගේ පියා ඉරානයේ ප්‍රමුඛ නිකාය වන ඉස්ලාම් ආගමේ ෂියාවරුන්ගේ මධ්‍යම පෙළේ පූජකයෙකි.

    ශක්තිමත් කථිකයෙකු වූ කමේනි, පසුව ඉස්ලාමීය විප්ලවයෙන් බලයෙන් පහ කරන ලද ෂා රජුට විරුද්ධ වූ අය සමඟ එක් වුණා.

    වැඩිදුර කියවන්න : අලි කමේනි යනු කවුද?

  6. කමේනි මිය ගොස් ඇති බව ට්‍රම්ප් පවසයි

    "ඉතිහාසයේ වඩාත් ම නපුරු මිනිසුන්ගෙන් කෙනෙකු වුණු කමේනි මිය ගොස් ඇත," යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

    වැඩිදුරටත් එම සටහනේ සිය අදහස් දක්වමින් "මෙය ඉරානයේ ජනතාවට පමණක් නොව, සියලුම ශ්‍රේෂ්ඨ ඇමරිකානුවන්ට වූ යුක්තිය," බව ඔහු පවසනවා.

    "මෙය ඉරාන ජනතාවට තම රට ආපසු ලබා ගැනීමට ඇති එක ම විශාලතම අවස්ථාව" බව ද ඔහු සිය ඔහුගේ දීර්ඝ සටහනේ දක්වා තිබෙනවා.

    Donald J Trump

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

  7. ඉරානයේ උත්තරීතර නායකයා මියගොස් ඇති බවට තහවුරු නොකළ වාර්තා පළ වේ

    ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගොස් ඇති බවට තහවුරු නොකළ වාර්තා පළවෙමින් තිබෙනවා.

    ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවයි.

    ටෙහෙරානයේ කමේනිගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් ඔහු මිය ගිය බවට එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති යෙෂියෙල් ලයිටර් ඇමෙරිකානු නිලධාරීන්ට දැනුම් දී ඇතැයි මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඇක්සියෝස් පවසනවා.

    නිව්ස් 12 සහ ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් ඇතුළු ඊශ්‍රායල මාධ්‍ය කිහිපයක්, ඉරාන උත්තරීතර නායකයා මියගොස් ඇති බව ඊශ්‍රායල නිලධාරීන් ද ප්‍රකාශ කරන බවට උපුටා දක්වනවා.

    වීඩියෝ ශීර්ෂ වැකිය, 1989 සිට අයතුල්ලා අලි කමේනි ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කරයි.
  8. "කමේනි ජීවතුන් අතර නැති බවට වන ලකුණු වැඩි වෙමින් පවතිනවා"-බෙන්ජමින් නෙතන්යාහු

    Khamenei giving speech

    ඡායාරූප මූලාශ්‍රය, EPA

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය හමුවකට එක්වුවා.

    "ඒකාධිපති නායකයා ජීවතුන් අතර නැති බවට වන ලකුණු වැඩි වෙමින් පවතිනවා" යැයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ටෙහෙරාන් හි පිහිටි නිවාස සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවා.

    මෙම ප්‍රහාර ඔවුන්ට "කෲර පාලනයෙන් මිදීමට" උපකාරී වනු ඇතැයි නෙතන්යාහු ඉරාන ජනතාව අමතමින් කියා සිටියා.

    ඉරාන පාලනය පෙරලා දැමීමට ඔවුන්ට "පරම්පරාවකට එක් වරක් ලැබෙන අවස්ථාවක් හිමිවී තිබෙනවා. සමූහ වශයෙන් වීදි බැස ඒ කර්තව්‍ය නිමා කරන්න. ඔබ එකට එකතු වී ඓතිහාසික මෙහෙවරක් සඳහා එක්වීමට කාලයයි" ඊශ්‍රායල් අගමැතිවරයා එහිදී කියා සිටියා.

  9. බහරේනයේ සිටින ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක් එරට තත්ත්වය බීබීසීයට පැහැදිලි කරමින්

    වීඩියෝ ශීර්ෂ වැකිය, බහරේනයේ සිටින ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක් එරට තත්ත්වය බීබීසීයට පැහැදිලි කරමින්
  10. ඩුබායි සුඛෝපභෝගී හෝටලයකට ප්‍රහාරයක්

    ඩුබායිහි සුඛෝපභෝගී හෝටලය

    ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ඩුබායිහි සුඛෝපභෝගී හෝටලයකට හානි වී තිබෙනවා.

    බීබීසී විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝවක සටහන් වී තිබුණේ, 'ෆෙයාර්මොන්ට් ද පාම් හෝටලයේ' ගින්නක් හටගෙන ඇති ආකාරයයි. ඝන කළු දුමාරයක් අහසට නැගෙන අයුරු එහි දැක්වුණා.

    පාම් ජුමෙයිරා ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ගින්න පාලනය කර ඇති බවත් ඩුබායි බලධාරීන් පැවසුවා.

  11. ඉරාන නායකයින්ගේ තත්ත්වය තහවුරු කිරීමට හැකියාවක් නැතැයි ජ්‍යෙෂ්ඨ ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියයි

    ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉලක්ක කරන ලද ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ සාමාජිකයින්ට හානියක් සිදුවී ඇත්දැයි යන්න "තහවුරු කිරීමට තමාට හැකියාවක් නොමැති" බව ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි පවසයි.

    මීට පෙර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එන්බීසී පුවත් වෙත පැවසුවේ, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඔහු දන්නා පරිදි "ජීවතුන් අතර" සිටින නමුත් ඉරානයට සිය "අණ දෙන නිලධාරීන් එක් අයෙක් හෝ දෙදෙනෙක් අහිමි වන්නට ඇති" බවයි.

    කමේනිගේ කාර්යාල සහ නිවාස ඉලක්ක කර ගත් බවට වාර්තා වීමෙන් පසුව, බීබීසීයේ ජාත්‍යන්තර පුවත් වාර්තාකාරිනී ලීස් ඩූසෙට් එම වාර්තා තහවුරු කරන ලෙස හෝ ප්‍රතික්ෂේප කරන ලෙස බගායිගෙන් තරයේ ඉල්ලා සිටියා.

    "රට පුරා බොහෝ ස්ථානවලට ප්‍රහාර එල්ල වූ බව මට ඔබට කියන්න පුළුවන්," යැයි බගායි පවසන්නේ ගැහැනු දරුවන් 150කට වැඩි පිරිසක් මිය ගොස් ආබාධිත තත්ත්වයට පත් වූ බව ද පවසමින්.

    මෙම පාසල ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා කඳවුරක් අසල පිහිටියේ ද යන්න විමසූ විට, ඔහු මෙලෙස පිළිතුරු දුන්නා: "ඒක හුදෙක් ම්ලේච්ඡත්වය සහ ම්ලේච්ඡ අපරාධ සාමාන්‍යකරණය කිරීමේ ක්‍රමයක්." අනෙකුත් අරාබි රටවලට ද ඉරානය පහර දී ඇති බව වාර්තා වුණා.

    ඉරානයට එරෙහිව ආක්‍රමණශීලී ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදය එම රටවල් යොදා ගත් බව බගායි පවසන අතර "අපි අපගේ මිතුරන් අගය කරනවා" යනුවෙන් පැවසුවා. "අපි කලාපයේ කිසි ම රටකට පහර දෙන්නේ නැහැ, අපේ අරාබි අසල්වැසියන් සමග අපට කිසිදු ගැටලුවක් නැහැ. අපි කරන එක ම දෙය තමයි ඒ [ඇමෙරිකානු] කඳවුරුවලට එරෙහිව ආත්මාරක්ෂක ක්‍රියාවක් සිදු කිරීම," ඔහු සඳහන් කළා.

  12. 'ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් මේ දක්වා 200කට අධික පිරිසක් මිය ගිහින්'

    ඉරාන රතු අඩසඳ සංවිධානයේ ප්‍රකාශිකා මොජ්තාබා කලීඩි පවසන්නේ අද (පෙබරවාරි 28) දින එරටට එල්ල වූ ප්‍රහාරවලින් මේ දක්වා පුද්ගලයින් 201 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

    තවත් පුද්ගලයින් 747 දෙනෙකු තුවාල ලබා ඇති බව පවසන කලීඩි, ඉරානයේ පළාත් 31න් 24කට ම ප්‍රහාර එල්ල වී ඇති බව පවසනවා.

    මේ අතර ප්‍රහාරක ජෙට් යානා 200ක් පමණ අද උදෑසන "ඊශ්‍රායල ගුවන් හමුදා ඉතිහාසයේ විශාලතම හමුදා ගුවන් මෙහෙයුම" සම්පූර්ණ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසනවා.

    ටෙලිග්‍රෑම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල් හමුදාව පවසන්නේ ජෙට් යානා "බටහිර සහ මධ්‍යම ඉරානයේ ඉරාන ත්‍රස්තවාදී තන්ත්‍රයේ මිසයිල පෙළට සහ ආරක්ෂක පද්ධතිවලට එරෙහිව පුළුල් ප්‍රහාරයක් දියත් කළ" බවයි.

    ජෙට් යානා "ආසන්න වශයෙන් ඉලක්ක 500ක් ඉලක්ක කර ගනිමින් බෝම්බ සිය ගණනක් හෙළූ" බව ඊශ්‍රායලය පවසනවා.

    එය "ඉරාන තන්ත්‍රයේ ප්‍රහාරක හැකියාවන් දැඩි ලෙස පිරිහීමට ලක් කර ඇති" බව ඊශ්‍රායල හමුදාව සිය නිවේදනය මගින් කියා සිටිනවා.

  13. බහරේන්හි ශ්‍රී ලාංකික පුරවැසියන්ට තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක්

    බහරේන් රාජධානියේ වාසය කරන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට තානාපති කාර්යාලය විසින් දැනුම් දෙන්නේ, බහරේන් රාජධානියේ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් සහ අනතුරු ඇඟවීම් දැඩි අවධානයෙන් අනුගමනය කරමින් සුරක්ෂිතව සිටින ලෙසයි.

    හදිසි අවස්ථාවකදී, පහත සඳහන් මාර්ග ඔස්සේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැක:

    දුරකථන සහ WhatsApp:33530290 ජී.එම්.ඩී. තරංගිකා Attaché – (+973) 3597 0290/(+973) 3510 6301 ගෝතමී , කම්කරු නිලධාරිනී – (+973) 3371 2875

    විද්‍යුත් තැපෑල: slemb.bahrain@mfa.gov.lk

  14. චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්වන ඉරාන උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට සිදුව ඇති හානිය

    චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්වන ඉරාන උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට සිදුව ඇති හානිය

    ඡායාරූප මූලාශ්‍රය, Airbus DS 2026

    BBC Verify අද උදෑසන ටෙහෙරානයෙන් ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාලය සහ ඔහුගේ නිවාස සංකීර්ණයේ කොටසකට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව පෙන්නුම් කරනවා.

    Airbus විසින් ලබා ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපයේ කළු පැහැ ගැන්වී ඇති ගොඩනැගිලි, සුන්බුන් සහ එම ස්ථානයෙන් නැගී එන දුම් වළාවක් දැක ගත හැක.

    මෙම ස්ථානය අද උදෑසන ටෙහෙරානයෙන් ලැබුණු දර්ශන සමග ගැළපෙන අතර, එහි එම ප්‍රදේශයේ පිපිරීම්වලින් සිදු හානිය පෙන්න්නුම් කරනවා.

    මේ අතර, ඉරානයේ නගර රැසක අන්තර්ජාල සේවා ක්‍රියා විරහිතව පවතින පසුබිමක ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි NBC ප්‍රවෘත්ති නාලිකාව සමග සජීවී සම්මුඛ සාකච්ජාවකට එක්වුණා.

    ඉරානයට “අණ දෙන නිලධාරීන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් අහිමි වන්නට ඇති බවත් තමන් දන්නා පරිදි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි "ජීවතුන් අතර" සිටින බව ඔහු එහිදී කියා සිටියා.

    ඉරාන ජනාධිපති සහ හමුදා ප්‍රධානියා ඇතුළු ඉරාන නිලධාරීන් සහ අණ දෙන නිලධාරීන් ගණනාවක් ඝාතනය වී ඇති බවට පළ වන වාර්තා ඉරාන මාධ්‍ය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    මේ අතර, අද දින ප්‍රහාරවලින් පසු ඉරාන රජයේ "ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු මරණයට පත්ව ඇති" බව ඊශ්‍රායල හමුදා නිලධාරියෙක් පවසනවා.

    මෙහෙයුම අතරතුර ඉරාන රජයේ සාමාජිකයින් රැස් වූ ස්ථාන තුනකට එකවර පහර දුන් බව එම නිලධාරියා සඳහන් කළා.

  15. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි, ගොන්චේ හබීබියසාඩ් ජ්‍යෙෂ්ඨ වාර්තාකරු, බීබීසී පර්සියානු සේවය

    හෝමූස් සමුද්‍ර සන්ධිය

    ඡායාරූප මූලාශ්‍රය, Gallo Images via Getty Images

    ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධිත මාධ්‍ය ආයතනයක් වන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ, උපායමාර්ගික වැදගත්කමක් සහිත හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමනු ඇති බවයි.

    "මූලාශ්‍ර" උපුටා දක්වමින් තස්නිම් වාර්තා කළේ, කිසිදු නෞකාවකට සමුද්‍ර සන්ධිය හරහා යාමට අවසර නොමැති බව පවසමින් IRGC වෙතින් නෞකාවලින් පණිවිඩ ලැබෙන බවයි.

    හොමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ අනතුරු ඇඟවීම් යාත්‍රාවලට ලැබී ඇති බවට බාහිර වාර්තා කිහිපයක් ලැබී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් කාර්යාලය ද පවසනවා.

    මෙම සමුද්‍ර සන්ධිය ලෝකයේ වඩාත් ම වැදගත් සමුද්‍රීය වෙළෙඳ මාර්ගවලින් එකක් ලෙස සැලකෙන අතර තෙල් ප්‍රවාහනය සඳහා තීරණාත්මක ස්ථානයක් ලෙස සැලකෙනවා. ලෝකයේ තෙල් හා ගෑස්වලින් පහෙන් එකක් පමණ ඒ හරහා බෙදා හැරෙනවා.

  16. වීසා වලංගු කාලය තුළ ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග බලා පිටවීමට නොහැකි ගුවන් මගීන්ට සහනයක්

    මැදපෙරදිග බලා යන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන්, සිය වීසා බලපත්‍ර වලංගු කාලය තුළ ශ්‍රී ලංකාවෙන් පිටවීමට නොහැකි වන ගුවන් මගීන්ට සහනයක් ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

    ඒ අනුව වීසා අවලංගු වීමෙන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් එම විදේශිකයින්ට මෙරටින් නැවත පිටත්වන තෙක් රට තුළ රැඳී සිටීමට ඉඩ සැලසෙන පරිදි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නොමිලේ දින 7ක වීසා දීර්ඝ කිරීමක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, එම මගීන්ගේ වත්මන් වීසා බලපත්‍රය කල් ඉකුත් වූ දින සිට දින 7ක කාලයක් සඳහා එම වීසා දිගුව ලබා දෙන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසනවා.

  17. ඩුබායි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සිව් දෙනෙකුට තුවාල

    ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මැද පෙරදිග ඇමෙරිකානු කඳවුරු ඉලක්ක කරමින් නව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය උපුටා දක්වමින් AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

    මේ අතර, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන ඩුබායි වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රජය නිවේදනය කරනවා.

    මේ අතර, කුවේට්හි සිවිල් ගුවන් සේවා මහජන අධිකාරිය පවසන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කරගත් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එක් මගී පර්යන්තයකට සුළු හානි සිදු වූ බවයි.

    තත්ත්වය පාලනය කර ඇති බවත් මගීන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාව බවත් කුවේට් බලධාරීන් අවධාරණය කරනවා. ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින් ද යන්න කුවේට් බලධාරීන් නම් කර නොමැත.

  18. මැද පෙරදිග කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව, (ආසන්න වශයෙන්, 2026.02.28 වන විට)

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 350,000

    සෞදි අරාබිය - 246,139

    කුවේට් - 175,000

    කටාර් - 140,000

    ඕමාන් - 32,000

    ඊශ්‍රායල් - 30,000

    ජෝර්දානය - 14,500

    බහරේන් - 13,130

    ඉරානය - 35

    යේමනය - 27

    සිරියාව - 20

    පලස්තීනය - 4

    මූලාශ්‍රය - ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය

  19. ඉරානය තම මුස්ලිම් අසල්වැසියන්ට පහර දෙන්නේ ඇයි?

    ඉරානය ඊශ්‍රායලයට පමණක් පහර දීම වෙනුවට දෝහා සිට අබු ඩාබි, ඩුබායි කුවේට්, මනාමා සහ රියාද් දක්වා නගර තම ප්‍රහාරවලින් භීතියට පත් කර තිබෙනවා.

    මේවා අහඹු පහර දීම් නොවේ.

    සමස්තයක් වශයෙන්, එක්සත් ජනපදයට අවම වශයෙන් ගල්ෆ් කලාපයේ ස්ථාන දහනවයක හමුදා පහසුකම් පවතින අතර, ඉන් අටක් බහරේනය, ඊජිප්තුව, ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, කටාර්, සෞදි අරාබිය, සිරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල පිහිටා තිබෙනවා.

    කටාර්හි දෝහා අගනුවර අසල පිහිටා ඇති අල් උඩෙයිඩ්, මැද පෙරදිග විශාලතම ඇමෙරිකානු ගුවන් කඳවුර ලෙස සැලකෙන අතර එය දහස් ගණනක් ඇමෙරිකානු නිලධාරීන්ගේ නිවහන ද වෙනවා.

    තව ද එය එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ ඉදිරි පෙළ මූලස්ථානය ද වෙනවා.

    ගල්ෆ්, රතු මුහුද සහ අරාබි මුහුදේ මුර සංචාරයේ යෙදෙන එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණිය බහරේනයේ සිටිනවා.

    එක්සත් ජනපද ප්‍රහාර දිගට ම පැවතුණහොත්, කලාපයේ සෑම ඇමෙරිකානු කඳවුරක් ම, ඒවා කුමන රටක පැවතිය ද, ඉලක්ක බවට පත්වන බව ටෙහෙරානය නැවත නැවතත් අනතුරු අඟවා තිබෙනවා.

  20. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හමුදා ප්‍රධානියා ඝාතනය කළ බවට පළ වන වාර්තා ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රතික්ෂේප කරයි, BBC Monitoring

    අද දින ඉරානයට එල්ල වූ ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර මාලාවෙන් එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන නිලධාරීන් සහ හමුදා ප්‍රධානියා මිය ගිය බවට පළ වන වාර්තා ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ආරක්ෂිතව සිටින බව එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් X සටහනක් තබමින් පැවසුවා.

    ජනාධිපතිවරයාගේ පුත් යූසෙෆ් පෙසෙෂ්කියාන් ටෙලිග්‍රෑම් සටහනක් තබමින් "මෙවර ඔවුන්ගේ ඝාතන උත්සහයන් සාර්ථක වී නැත" යනුවෙන් පැවසුවා.