කෝපයට පත් පිරිසක් පකිස්ථානයේ කරච්චි නුවර ඇමෙරිකා එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කර එම ගොඩනැගිල්ල විනාශ කළ අතර, එහිදී සිදුවූ වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපද කොන්සල් කාර්යාලය කරච්චි වරාය අසල පිහිටා ඇත.
සමාජ මාධ්‍යවල පළව ඇති වීඩියෝවලින් පෙනී යන්නේ ඇතැම් පුද්ගලයින් කොන්සියුලර් කාර්යාලයේ ගේට්ටුව කඩා ඊට ඇතුළු වී ඇති අතර, පසුව එහි පිළිගැනීමේ සහ ආරක්ෂක කාමරයේ ජනෙල්වලට පහරදීමෙන් ඊට හානි කර තිබෙනවා.
මෙය ආගමික නායකයෙකු ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් සාමාන්‍ය ජනතාව එක්සත් ජනපද කොන්සල් කාර්යාලය ඉදිරිපිට සිදුකළ මහජන විරෝධතාවක් බව මජ්ලිස්-ඊ-වහ්දත් මුස්ලිම්හි ප්‍රකාශකයෙකු කියා සිටියා.
විරෝධතාකරුවන්ට කොන්සියුලර් කාර්යාලයේ ඇතුළත සිට වෙඩි තැබූ බව ඔවුන් සඳහන් කළා.
විරෝධතාකරුවන්ට වෙඩි තැබුවේ කවුරුන් විසින් ද යන්න පිළිබඳව පොලිසිය හෝ බලධාරින් මේ දක්වා කරුණු පැහැදිලි කර නැහැ.
පොලිස් ශල්‍ය වෛද්‍ය සමියා සයිඩ් තහවුරු කළේ පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කරච්චි පොලිසියේ නැගෙනහිර කලාපයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ කෝපයට පත් පුද්ගලයින් කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට සමත් වූ නමුත් පොලිසිය එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කළ බවයි.
මේ අතර පළාත් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සියාඋල් හසන් ලන්ජාර් ඇමෙරිකානු කොන්සල් කාර්යාලයෙන් පිටත පැවති විරෝධතාව සම්බන්ධයෙන් කරච්චි අතිරේක පොලිස්පතිවරයාගෙන් විස්තර ඉල්ලා ඇත.
කිසිවෙකුට නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන බවත්, නීතිය හා සාමය කඩාකප්පල් කරන කොටස්වලට එරෙහිව නීතියට අනුව පියවර ගත යුතු බවත් පළාත් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
නගරයේ මර්මස්ථානවල ආරක්ෂාව තවදුරටත් තර කරන ලෙස ඔහු පොලිසියට උපදෙස් දී ඇත.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය බව තහවුරු වීමෙන් පසුව, ලොව පුරා විවිධ රටවල ඇමෙරිකානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවලින් පිටත විරෝධතා වාර්තා වී තිබේ.
ඉරාකයේ බැග්ඩෑඩ් හි විරෝධතාකරුවන් ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇති ආරක්ෂිත ප්‍රදේශයට කඩා වැදීමට උත්සාහ කරමින් සිටිනවා.

ඡායාරූප මූලාශ්‍රය, Social Media
ඡායාරූප ශීර්ෂ වැකිය, කෝපයට පත් පිරිසක් කරච්චිහි ඇමෙරිකානු කොන්සල් කාර්යාලයට ඇතුළු වෙයි