ආපදා මරණ ගණන 639ක් දක්වා ඉහළට

මෙරටට බලපෑ ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 639ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 203ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

සාරාංශය

  • ආපදා මරණ ගණන 639ක්: 203 දෙනෙකු අතුරුදන්
  • නැවත දැනුම් දෙන තුරු විශාල රුධිර කඳවුරු සංවිධානය නොකරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය දැනුම් දෙයි
  • දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක නම් කෙරේ
  • පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771 දෙනෙකු පීඩාවට
  • නිවාස 5,350ක් සම්පූර්ණයෙන් විනාශ වෙයි
  • ශ්‍රී පාදස්ථානයට ගමන් කරන මාර්ගයේ පැවති අවහිරතා ඉවත් කෙරේ
  • 'සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති
  • හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න - 117

සජීවී වාර්තාකරණය

  1. පුද්ගල මරණ 31ක් දක්වා ඉහළට: 14ක් අතුරුදන්

    අයපහත් කාලගුණය හේතුවෙන් නොවැම්බර් 17 වන දා සිට 27 වන දා දක්වා මරණ 31ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    එම මධ්‍යස්ථානය සඳහන් කළේ, පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    ගතවුණු කාලය තුළ නුවරඑළිය, බදුල්ල, මාතලේ, මහනුවර දිස්ත්‍රික්ක ආශ්‍රිතව මි.මී. 500 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පවසනවා.

    ඔහු සඳහන් කළේ නාය යාම් අවදානම් ඇති දිස්ත්‍රික්ක 14 ආශ්‍රිතව සිද්ධි 200ක් පමණ වාර්තා වී ඇති බවයි.

  2. ජනපති සහ ආපදාවලින් පීඩාවට පත් දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් අතර විශේෂ රැස්වීමක්

    අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (නොවැ. 27) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

    ආපදාවලින් පීඩාවට පත් දිස්ත්‍රික්ක නියෝජනය කරන සියලු ම මන්ත්‍රීවරුන් රැස්වීම සඳහා කැඳවා ඇති බව ඔහු පැවසුවා.

  3. මුළු දිවයිනට ම ඉදිරි දින කිහිපයේදී මි.මී. 100 ඉක්මවූ තද වැසි: මි.මී. 200ට වැඩි ප්‍රදේශ රැසක්

    මේ වන විට පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෑම ප්‍රදේශයකට ම තද වැසි ඇති විය හැකි බව ය.

    උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී. 200ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කෙරේ.

    ඊට අමතරව, උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150කට වැඩි වැසි ඇද හැළෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

    එම දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල මි.මී. 100ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ය.

    ජලයෙන් යටවූ නුවරඑළිය නගරය
    ඡායාරූප ශීර්ෂ වැකිය, නුවරඑළිය නගරය ජලයෙන් යටවී තිබූ අයුරු
  4. පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන් වසා දැමේ

    Manampitiya

    පවතින අයපහත් කාලගුණය හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය, ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු ම රථ වාහන ගමනාගමනය අද (නොවැ. 27) සිට නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් නතර කිරීමට කිරීමට පියවර ගෙන තිබෙනවා.

    පොලිසිය සඳහන් කළේ, මහජනතාවට දුම්රියෙන් ගමන් කළ හැකි බව ය.

    Manampitiya
  5. බදුල්ලේ නායයාම්වලින් 15ක් ජීවිතක්ෂයට

    නාය යාම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල, ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, බදුල්ල, පස්සර, ලුණුගල, ඇල්ල, ඌව පරණගම, කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් මෙම මරණ වාර්තා වී ඇති බව ය.

    මේ වන විටත්, අධික වර්ෂාවක් ඇද හැළෙන බැවින් නාය යාම්වලින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

    මේ අතර, බදුල්ල පොලිස් වසමේ හෑගොඩ ප්‍රදේශයේ නිවසක් නාය ගොස් ඇති අතර එම නිවසේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇතැයි බදුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

    ආපදාවන්ට ලක්වූවන් මුදා ගැනීම සඳහා යුද්ධ හමුදාව ඇතුළු පිරිස් යොදවා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

    බදුල්ලේ නාය යාමකට ආසන්න ස්ථානයක්
  6. නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින්න

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී තිබෙනවා.

    එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇත.

    නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

    ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

    වැසි තත්ත්වය:

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වල ඉතා තද වැසි පැවතිය හැක.

    සුළඟ:

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුර දක්වා වන දිශා වලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැක.

    මුහුදේ ස්වභාවය:

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක.

    පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

  7. අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තීව්‍ර වීමට ඉඩ

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    පීඩන අවපාතය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

    උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී. 200ට වැඩි සහ උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (60-70)ක පමණ ඉතා තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

  8. දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් අඩි 9 බැගින් විවෘත කරයි

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් අඩි 9 බැගින් විවෘත කර ඇත.

    ඉන් තත්පරයට ඝන අඩි 48000 බැගින් දැදුරුඔයට නිකුත් කරන බව වාරියපොල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා නිවේදනය කළා.

  9. අද, හෙට සහ අනිද්දා උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කරයි

    අද (නොවැ. 27) , හෙට (නොවැ. 28) සහ අනිද්දා (නොවැ. 29) යන තෙදින තුළ පැවැත්විමට නියමිත උසස් පෙළ විභාගය නොපැවෙත්වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.

    බීබීසී සිංහල කළ විමසීමකදී ඇය මේ බව තහවුරු කළා.

    දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් මත මෙම තීරණය ගෙන තිබෙනවා.

    ලබන සඳුදා සිට කාලසටහනට අනුව විභාගය පැවැත්වෙනු ඇත. කල්ගිය දින තුන සඳහා විභාගය දෙසැම්බර් 7,8, සහ 9 යන දිනවලදී.

    විභාග සම්බධීකරණ මධ්‍යස්ථානවල තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ද සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත දන්වා තිබෙනවා.

  10. පළාත් රැසකට කාලගුණයෙන් රතු නිවේදනයක්

    පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළාත් රැසකට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    කාලගුණ

    මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 50 -60 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    එම නිසා නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

    මුහුදු
  11. දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කෙරේ

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2 ක් අඩි 6 බැගින් සහ දොරටු 4 ක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. තත්පරයට ඝන අඩි 18600 බැගින් දැදුරුඔයට ජලය නිකුත් කෙරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

  12. ඉදිරි පැය 30 තුළ තීරණාත්මක වෙන කාලගුණය ගැන ඔබ දැන ගත යුතු ම කරුණු

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඉදිරි පැය 30 තුළ තීරණාත්මක වෙන කාලගුණය ගැන ඔබ දැන ගත යුතු ම කරුණු
  13. මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් යළි වසයි

    මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (නොවැම්බර් 26 වැනිදා) රාත්‍රි 10 සිට නැවත දැනුම් දෙන තුරු වසා තබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

  14. ඉදිරි පැය කිහිපය සඳහා වර්ෂාපතන අනාවැකිය

    Hourly rain forecast
  15. 'මට තව විභාගෙට දවස් දෙකක් තියනවා... පොත්, ඇදුම් ඔක්කොම යටවුණා. විභාගෙට යන්නවත් විදිහක් නෑ මට දැන්'

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඔහිය
  16. ඔහිය ප්‍රදේශයට දැඩි වැසි: ඔහිය - හෝර්ටන් තැන්න මාර්ගය අවහිර වෙයි

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔහිය - හෝර්ටන් තැන්න මාර්ගය අවහිර වී ඇතැයි ඔහිය තැපැල් ස්ථානාධිපති සිසිර කුමාර පවසනවා.

    බීබීසී සිංහල වෙත එම ප්‍රදේශයේ තත්ත්වය පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ, එම මාර්ගයේ ඇති පාලම සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව ය.

    ඔහිය - හෝර්ටන් තැන්න මාර්ගය
    ඔහිය - හෝර්ටන් තැන්න මාර්ගය
  17. ඩෙල්ෆ් දූපතේ සිට උසස් පෙළ පිළිතුරු පත්‍ර ගුවනින් රැගෙන එයි

    අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව උතුරු පළාතේ ඩෙල්ෆ් දූපතේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයේ සිට අ.පො.ස. උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයෙන් අද උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලය වෙත නැවත රැගෙන ඒම සිදු කර තිබෙනවා.

    Helicopter

    ඡායාරූප මූලාශ්‍රය, SLAF

    Helicopter

    ඡායාරූප මූලාශ්‍රය, SLAF

    Helicopter

    ඡායාරූප මූලාශ්‍රය, SLAF

  18. 'අනිද්දා වෙනකම් වැස්ස වැඩි වෙයි. ලංකාවට අඩු පීඩන කලාප දෙකක බලපෑම තියෙනවා'

    වීඩියෝ ශීර්ෂ වැකිය, 'අනිද්දා වෙනකම් වැස්ස වැඩි වෙයි. ලංකාවට අඩු පීඩන කලාප දෙකක බලපෑම තියෙනවා'
  19. ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10කට අයත් ප්‍රදේශවලට නාය යාමේ අනතුරු ඇඟවීම්

    Land Slide

    පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10කට අයත් ප්‍රදේශවලට නාය යාමේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ලෙසට නම් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ ඊ.ආර්. බන්දුල පවසනවා.

    ගාල්ල මහ නගර සභාව, අක්මීමණ, බද්දේගම, ඇල්පිටිය, ඉමදූව, නාගොඩ, නෙළුව, නියාගම, යක්කලමුල්ල, තවලම යන ප්‍රාදේශීය සභා එලෙස අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

    ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ, මුලටියන, පස්ගොඩ, පිටබැද්දර යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන සහ වීරකැටිය යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශද නාය යාමේ අවදානමට ලක් විය හැකි ප්‍රදේශ ලෙස ද නම් කර තිබෙනවා.

  20. මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට: ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

    මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

    මූතූර්, කින්නියා, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, තමන්කඩුව, හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    මහවැලි ගඟ