එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ බැඳීම්වලින් ඉවත්වීමට ඉරාන පාර්ලිමේන්තුව පනතක් සම්මත කරයි

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය සමග පැවති සහයෝගීතාව අත්හිටුවීමේ පනතක් සම්මත කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, තම න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායල සහ ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර උපුටා දක්වමිනි.

සාරාංශය

  • එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ බැඳීම්වලින් ඉවත්වීමට ඉරාන පාර්ලිමේන්තුව පනතක් සම්මත කරයි.
  • මෙම පියවර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) සමග පවතින ආතතීන් උත්සන්න කරන අතර එමගින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගෝලීය වශයෙන් සිදුවන නිරීක්ෂණයේ විශාල පරතරයක් ද ඇති කළ හැකියි.
  • ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට 'දැඩි ලෙස හානි' සිදුවී ඇති බව CIA අධ්‍යක්ෂවරයා පවසයි.

සජීවී වාර්තාකරණය

  1. ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල රෝහලකට හානි

    Israeli Hospital

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    ඉරානය රාත්‍රියේ එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් දකුණු ඊශ්‍රායලයේ බීර්ෂිබාහි රෝහලකට හානි සිදුව තිබෙනවා.

    මෙම ප්‍රහාරයෙන් සොරෝකා රෝහලට විශාල වශයෙන් හානි සිදුවී ඇති බව ප්‍රකාශකයෙකු පවසන අතර ඊශ්‍රායලයේ හදිසි සේවා පවසන්නේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

    ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, මිසයිල ප්‍රහාරය රෝහල අසල පිහිටි හමුදා ස්ථානයක් ඉලක්ක කර ගත් බවත් රෝහල ඉලක්ක කර නොගත් බවත් ය.

    අපගේ වාර්තාකරුවන් රෝහලට යමින් සිටින අතර තොරතුරු ලද වහා ම ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.

    Israeli Hospital

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

  2. බදාදා රාත්‍රියේ සිට මෙතෙක් සිදුව ඇත්තේ මොනවා ද?, ආයුබෝවන්, සුබ උදෑසනක්!

    තවකාලික විරාමයකින් පසු නැවත ඔබට ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම පිළිබඳව සජීව තොරතුරු ගෙන ඒමට අප සූදානම්.

    ඇමෙරිකාව ඊශ්‍රායල ප්‍රහාර සමඟ "එක්විය හැකි" බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් පසුව, බදාදා රාත්‍රිය පුරා ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකාට ප්‍රහාර එල්ල කළා.

    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා රාත්‍රියේ ඉරානයට පහර දීමේ සැලසුම් අනුමත කළත් ඉරානයට පහර දිය යුතුද යන්න පිළිබඳව ඔහු මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව බීබීසීයේ ඇමරිකානු සහකරු CBS වාර්තා කර සිටියා.

    ඉරානය, රුසියාව, චීනය, පකිස්ථානය සහ ඇල්ජීරියාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිකුරාදා හදිසි සැසියක් කැඳවා තිබෙන අතර, එහිදී පවතින ගැටුම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

    මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, සාන්ත පීටර්ස්බර්ග්හිදී මාධ්‍ය ප්‍රධානින් සමඟ පැවති වට මේස සාකච්ඡාවකදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම ගැන අදහස් දක්වා තිබෙනවා.

    එහිදී රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය මේ දක්වා රුසියාවෙන් කිසිදු සහයක් ඉල්ලා නොමැති බවයි.

    එමෙන්ම ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමේ හැකියාව පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට, රුසියානු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් පවසා ඇත්තේ තමන්ට ඒ සියල්ල ඇසෙන නමුත් ඒ ගැන සාකච්ඡා කිරීමට පවා අවශ්‍ය නොමැති බවයි.

    මේ අතර ඇමරිකානු ප්‍රහාරයක් සිදු විය හැකි යැයි වැඩි අවධානයක් යොමු වී ඇති ස්ථානය වන්නේ ඉරානයේ න්‍යෂ්ටික යුරේනියම් බලගැන්වීමේ ෆෝඩෝ සංකීර්ණය යි.

    ටෙහෙරාන් නගරයට කිලෝමීටර් 96ක් (සැතපුම් 60ක්) පමණ දකුණින් පිහිටි ෆෝඩෝ භූගත බලාගාරය, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන යුරේනියම් බලගැන්වීම සිදුකරන ප්‍රධාන ස්ථාන දෙකෙන් එකක්.

    මෙම ස්ථානය මීටර් 80-90ක් භූගතව පිහිටා ඇති අතර, ඊශ්‍රායල බෝම්බවලට ළඟා විය නොහැකි තරම් ගැඹුරු යැයි කියවේ. එයට පහර දිය හැකි තරම් බලගතු “බංකර් බස්ටර්” බෝම්බය ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සතුව පමණයි.

  3. විරාමයක්...

    ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම පිළිබඳව සජීව තොරතුරු ගෙන ඒම අප තාවකාලිකව අවසන් කරනවා.

    නමුත්, යම් විශේෂ සිදුවීමක් වුවහොත් අප ඒ පිළිබඳව ඔබ වෙත තොරතුරු එසැණින් ගෙන ඒමට සූදානමින් සිටිනවා.

    අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි.

    මේ සම්බන්ධයෙන් මෙතෙක් අප විසින් පළ කරන ලද ලිපි කියවීම සඳහා පිවිසෙන්න...

  4. ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරයට ළඟා විය හැක්කේ ඇමෙරිකාවේ 'බංකර් බස්ටර්වලට' පමණයි, ක්‍රිස් පාර්ට්‍රිජ්, බීබීසී පුවත් අවි විශ්ලේෂක

    Bunker Buster

    දැන් සියලු දෙනාගේ ම අවධානය යොමු වී ඇත්තේ, එක්සත් ජනපද ගුවන් හමුදාවේ B-2 බෝම්බ හෙලන යානා දියෙගෝ ගාර්සියාහි ඉන්දියානු සාගර හමුදා කඳවුරට ආපසු යයි ද යන්න දෙසයි.

    'ස්පිරිට්ස්' යනුවෙන් හැඳින්වෙන මේවා, මේ වසර මුලදී යේමනයේ හූති ඉලක්කවලට එරෙහි ඇමෙරිකානු මෙහෙයුම්වලට සහය දැක්වීම සඳහා යෙදවූවා.

    මිසූරිහි වයිට්මන් ගුවන් හමුදා කඳවුරේ ඇති රහසිගතව පියාසර කළ හැකි මෙම යානාවලට, අඩි 200ක් භූගත ඉලක්ක විනාශ කළ හැකි යැයි කියනු ලබන GBU-57 Massive Ordnance Penetrator (MOP) හෙළීමට හැකියාව පවතී. එය ලොව ඇති විශාලතම "බංකර් විනාශ කළ හැකි බෝම්බය," වෙනවා.

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ළඟා වීමට නොහැකි වූ ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික භූමියට සැබවින් ම ළඟා විය හැකි එක ම වර්ගයේ යුද්ධ අවිය එය වේ. GBU-57 බෝම්බයේ බර රාත්තල් 30,000ට තරමක් අඩු වන අතර එහි පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 5,300ක් පමණ අඩංගු වේ. එහි ඇති ඝන පිටත ආවරණය සහ විශේෂ විලායකය නිසා එය පොළොවේ ප්‍රමාණවත් තරම් ගැඹුරකට යන තුරු පුපුරා යාම වළකයි.

    ඊශ්‍රායලය සතුව තමන්ගේ ම බංකර් නාශක ඇති නමුත් ඒවා ෆෝඩෝහි ගැඹුරට ළඟා විය නොහැකි, වඩා සැහැල්ලු අවි වේ. එපමණක් නොව, GBU-57 බෝම්බ ගෙන යා හැකි ගුවන් යානා ඊශ්‍රායලය සතුව නොමැත.

    ඉතින් ප්‍රශ්නය වන්නේ, එක්සත් ජනපදය හමුදා ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙනවා ද යන්න පමණක් නොව, ඔවුන් MOP ද භාවිත කරයි ද යන්නයි.

  5. 'මම ඒක කරන්නත් පුළුවන්, නොකර ඉන්නත් පුළුවන්' - ඉරාන ප්‍රහාර ගැන ට්‍රම්ප් පවසයි

    Donald Trump

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ධවල මන්දිරයෙන් පිටත පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

    නමුත් ඔහු ඉරානය තුළ එක්සත් ජනපද මැදිහත්වීම පිළිබඳ යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළා.

    "මට එහෙම කියන්න බෑ," ඔහු පැවසුවා. "මම ඒක කරන්නත් පුළුවන්, මම ඒක නොකර ඉන්නත් පුළුවන්. මට කරන්න ඕන දේ කවුරුත් දන්නේ නැහැ. නමුත් මට මේක කියන්න පුළුවන්: ඉරානය ඉන්නේ කරදර ගොඩක් මැද සහ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවෙන්."

    ඉරාන සාකච්ඡාකරුවන් ධවල මන්දිරයට පැමිණ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටිය හැකි බවට ඉඟි කර ඇති බව ද ට්‍රම්ප් පැවසුවා.

    ඔහු තවදුරටත් පැවසුවේ, ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති විනාශ වී යාමත් සමග ගැටුම "කොපමණ කාලයක්" පවතිනු ඇත්දැයි තමාට විශ්වාස නැති බවයි.

    "ඉතා සරල වචන දෙකක්: කොන්දේසි විරහිතව යටත් වෙන්න," ඔහු පැවසුවා. "මගේ ඉවසීම නැති වෙලා ගිහින් තියෙන්නේ."

    ඉරාන වැසියන්ට රටේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති "චේතනාව යහපත් එකක් නොවන" බව තමා විශ්වාස කරන බව ද ඔහු පැවසුවා.

    තමා ඉරාන ජාතිකයින්ට බෙහෙවින් ඇලුම් කරන බවත්, ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ බොහෝ දෙනෙකු මුණගැසී ඇති බවත් ට්‍රම්ප් පැවසුවා.

  6. ඊශ්‍රායල-ඉරාන ගැටුමේ මෙතෙක් සිදුවී ඇති දේ දෙස හැරී බැලීමක්

    ඊශ්‍රායලය ඉරානයට පහර දීම ආරම්භ කර දින හයක් ගත වී තිබෙනවා. එතැන් පටන් ටෙහෙරානය ද ඊශ්‍රායලය දෙසට මිසයිල යවමින් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.

    මේ, ගැටුම ආරම්භ වූ දා සිට සිදු වූ දේවල්:

    සිකුරාදා, ඊශ්‍රායලය ටෙහෙරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් සහ ජනාකීර්ණ ප්‍රදේශ ඇතුළු ස්ථාන කිහිපයකට පහර දුන් අතර, එහිදී ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන්, න්‍යෂ්ටික විද්‍යාඥයින් සහ සිවිල් වැසියන් ගණනාවක් මිය ගියා. ඉන්පසු ඉරානය ඊශ්‍රායලයේ හමුදා මධ්‍යස්ථාන සහ ගුවන් කඳවුරු වෙත ඩ්‍රෝන යානා සහ බැලස්ටික් මිසයිලයක් දියත් කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කළා.

    සති අන්තයේදී දෙපාර්ශවය ම අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ගත් අතර ඉන් ඛනිජ තෙල් කැණීමේ යටිතල පහසුකම්වලට ද බලපෑම් එල්ල වුණා. සඳුදා දක්වා කාලය තුළ විවිධ ප්‍රහාර කිහිපයකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගිය බව ඊශ්‍රායලය පැවසුවා. මේ අතර, ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඉරිදා සවස වන විට පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් 1,277 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

    සඳුදා ඊශ්‍රායලය ටෙහෙරානයේ උතුරු ප්‍රදේශ සඳහා ඉවත් වීමේ නියෝගයක් නිකුත් කළා. එදින ම පසුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යවල පළ කළේ "සෑම කෙනෙකු ම වහා ම ටෙහෙරානයෙන් ඉවත් විය යුතු" බවයි.

    අඟහරුවාදා, මිලියන 10ක ජනගහනයක් සිටින ටෙහෙරානයෙන් පලා යාමට මිනිසුන් උත්සහ කළ අතර නගරය පුරා රථවාහන තදබදයක් වාර්තා වුණා. සමාජ මාධ්‍ය සටහනක වෙනම ම, ට්‍රම්ප් කමේනි "පහසු ඉලක්කයක්" බව සඳහන් කර තිබුණු නමුත් ඔවුන් දැනට ඔහුව "මරා දැමීමට" නොයන බව ද සඳහන් කර තිබුණා.

  7. ඊශ්‍රායලය ටෙහෙරානයේ ඉලක්කවලට පහර දෙයි

    ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ තම ගුවන් හමුදාව දැන් "ටෙහෙරාන් ප්‍රදේශයේ" හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවයි.

    මේ අතර, "මිසයිල කිහිපයක්" ටෙහෙරානයේ උතුරු සහ නැගෙනහිර තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගෙන ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසනවා.

  8. ට්‍රම්ප් සහ කමේනි සමාජ මාධ්‍ය ඔස්සේ වාග් සංග්‍රාමයක...

    Trump & Khameni

    අප කලින් වාර්තා කළ පරිදි, ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි, රූපවාහිනිය ඔස්සේ සිදු කළ ප්‍රකාශයකින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රතිචාර දක්වා තිබුණා.

    නමුත් මෙය ඔහු එක්සත් ජනපදයට කතා කළ පළමු අවස්ථාව නොවේ. ට්‍රම්ප් සහ කමේනි දැන් ටික කලක සිට අන්තර්ජාලය හරහා වචන හුවමාරු කර ගනිමින් සිටිනවා.

    අඟහරුවාදා (ජූනි 17) ට්‍රම්ප් කියා සිටියේ, "ඉරාන අහසේ සම්පූර්ණ පාලනය" තමන් සතු බවයි. ඔහුගේ Truth Social වේදිකාවේ තවත් සටහනක් තබමින් ඔහු කමේනිට මෙසේ අනතුරු ඇඟවූවා: "'උත්තරීතර නායකයා' කියන කෙනා සැඟවිලා ඉන්නේ කොහේ ද කියලා අපි හරියට ම දන්නවා. එයා පහසු ඉලක්කයක්, නමුත් එයා එහි ආරක්ෂිතයි - අපි එයාව එළියට ගන්නේ නැහැ (මරන්නේ!), අඩු ම තරමින් දැනට... [නමුත්] අපේ ඉවසීම අඩු වෙමින් තියෙන්නේ."

    අවසාන සටහනේ මෙසේ සඳහන් වුණා: "කොන්දේසි විරහිතව යටත් වෙන්න!" බදාදා Xහි සටහන් රාශියක් පළ කරමින් කමේනි අනතුරු ඇඟවූයේ එක්සත් ජනපදය "යුද්ධයට" ඇතුළු වීම "සියයට 100ක් ම තමන්ගේ ම අවාසියට" හේතු වන බවයි.

    ඉරානයට යටත් වන ලෙස පැවසීම "ඥානවන්ත" නොවන බව ඔහු සටහන් කර ඇති අතර, ඔවුන් "කිසිවෙකුගේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් කිසි විටෙකත් යටත් නොවන" බව පැවසුවා.

    තවත් X සටහනක් මෙසේ සඳහන් වුණා: "[ට්‍රම්ප්] විකාරසහගත විදිහට ඉරාන ජනතාවට යටත් විය යුතුයි කියලා කියනවා. ඉරාන ජාතිය ඒ වගේ තර්ජනවලට බය නැහැ."

  9. 'ආපසු හැරවිය නොහැකි හානියක්' විය හැකි බවට ඉරාන උත්තරීතර නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි, 'ඉරාන ජාතිකයන් කියන්නේ යටත් වන්නන් නෙමෙයි'

    ඊශ්‍රායල ප්‍රහාරවලට ඇමෙරිකාව සම්බන්ධ වුවහොත් 'ආපසු හැරවිය නොහැකි හානියක්' විය හැකි බවට ඉරාන උත්තරීතර නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නිවේදයක් එරට රාජ්‍ය රූපවාහිනී ඔස්සේ විකාශය කෙරුණා.

    ප්‍රකාශය කියවනු ලැබුවේ කමේනි විසින් ම නෙමෙයි. වෙනත් ඉදිරිපත් කරන්නෙක් විසින්.

    "ඕනෑම ආකාරයක ඇමෙරිකානු හමුදා මැදිහත්වීමකට නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිද්ධ වෙනවා," යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වුණා.

    කමේනිගේ ප්‍රකාශයේ සඳහන් වූයේ 'ඉරාන ජාතිකයන් කියන්නේ යටත් වන්නන් නෙමෙයි' යනුවෙන්.

    "ඉරානය, එරට ජනතාව සහ එරට ඉතිහාසය දන්නා බුද්ධිමත් අය කිසි විටෙකත් ඉරාන ජාතිකයින්ට තර්ජනාත්මක ස්වරයෙන් කතා කරන්නේ නැහැ, ඒ මොකද ඉරාන ජාතිකයන් යටත් වන අය නොවන නිසා" ඔහු කියා සිටියා.

  10. ෆෝඩෝ න්‍යෂ්ටික පරිශ්‍රය විනාශ කිරීම 'අසීරුයි' - හිටපු න්‍යෂ්ටික අවි පරීක්ෂක

    ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන - ෆෝඩෝ - මීටර් 80 (අඩි 262) ක් භූගතව පිහිටා ඇති අතර එය "විනාශ කිරීම ඉතා අපහසු" බව න්‍යෂ්ටික භෞතික විද්‍යාඥ සහ හිටපු එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි පරීක්ෂකවරයෙකු වන ඩේවිඩ් ඇල්බ්‍රයිට් ප්‍රකාශ කළා.

    ඉරාකයේ තම අත්දැකීම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට "රහස් වැඩසටහන් විමර්ශනය කිරීමේ ඇදහිය නොහැකි තරම් හොඳ ක්‍රම" දියුණු කිරීමට උපකාරී වූ බව බීබීසී රේඩියෝ 5 ලයිව් බ්‍රේක්ෆස්ට් වෙත අදහස් දක්වමින් ඔහු පැහැදිලි කර සිටියා.

    ඔහු තවදුරටත් මෙසේ පැවසුවා: "ඊශ්‍රායලය දැන් ඊට පහර දෙන නිසා, ඊශ්‍රායලයට එම ස්ථානය දිගු කලක් ක්‍රියාකාරී බවින් තුරන් කරන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. එක්සත් ජනපදයට එය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන්."

    වොෂින්ටනයේ විද්‍යා හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනයේ නිර්මාතෘවරයා ද වන ඇල්බ්‍රයිට් පවසන්නේ ෆෝඩෝ යනු "වඩාත් බලගතු" න්‍යෂ්ටික ස්ථානවලින් එකක් පමණක් බවයි.

    ෆෝඩෝ මුලින් ඉදිකරන ලද්දේ 2000 දශකයේ මුල් භාගයේදී.

  11. ඊයේ රාත්‍රියේ එල්ල කළ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මරණ කිසිවක් නැහැ, අයන් ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීමට එක් රාත්‍රියකට ඩොලර් මිලියන 250ක්

    ඊශ්‍රායලයේ අයන් ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධතිය බොහෝ මිසයිල විනාශ කර දමා ඇත

    ඡායාරූප මූලාශ්‍රය, EPA

    ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලයේ අයන් ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධතිය බොහෝ මිසයිල විනාශ කර දමා ඇත

    සෙබස්තියන් උෂර්

    මැදපෙරදිග කලාපීය සංස්කාරක, ජෙරුසලමේ සිට

    යම් හානියක් සිදුව තිබුණත්, ඉරානයෙන් ඊයේ රාත්‍රියේ එල්ල වූ නවතම මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ කිසිදු පුද්ගලයෙකු මිය ගිය ගොස් හෝ තුවාල ලැබූ බවට වාර්තා වී නැහැ.

    පසුගිය සිකුරාදා ඊශ්‍රායලය ප්‍රහාරය ආරම්භ කළ දා සිට ඉරානය විසින් බැලස්ටික් මිසයිල 400ක් පමණ එල්ල කර ඇති බවත්, ඩ්‍රෝන යානා සිය ගණනක් එවා ඇති ඇති බවත් ඊශ්‍රායල රජය සඳහන් කළා.

    ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ පසුගිය සිකුරාදා සිට ප්‍රහාර එල්ල වූ ස්ථාන 40 ක් පමණ වාර්තා වී ඇති බවත්, පුද්ගලයින් 3,800 ක් නිවාස වලින් ඉවත් කර ඇති බව.

    දැනට ඊශ්‍රායලයේ පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් 800 කට වැඩි පිරිසක් තුවාල ලබලා තියෙනවා.

    ගොඩනැගිලිවලට හානි සිදුවීම් 16,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ වාහනවලට හානි සිදුවීම් 1,000 කට වඩා වාර්තා වී තිබෙනවා.

    ඊශ්‍රායලයේ අයන් ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක අතර, වාර්තා වන අන්දමට එය ක්‍රියා කිරීම සඳහා එක් රාත්‍රියකට වැයවන මුදල ඩොලර් මිලියන 250 ක්.

  12. ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරවලට එක්වීමට ඇමෙරිකාවත් සලකා බලයි

    එක්සත් ජනපදයත් ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ගෙන යන ප්‍රහාරවලට එක්වීමට සලකා බලමින් සිටින බව ආරංචි වීමෙන් පසු වාර්තාවූ කරුණුයි මේ.

    ඡායාරූප මූලාශ්‍රය, MAXAR

    ඡායාරූප ශීර්ෂ වැකිය, ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරයට පහර දීමට එක්සත් ජනපදය ඊශ්‍රායලය සමඟ එක්විය හැකිය

    හයවන දිනටත් ඉරානය සහ ඊශ්‍රායලය අතර මිසයිල හුවමාරු වෙමින් තිබෙනවා.

    එක්සත් ජනපදයත් ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ගෙන යන ප්‍රහාරවලට එක්වීමට සලකා බලමින් සිටින බව ආරංචි වීමෙන් පසු වාර්තාවූ කරුණුයි මේ.

    • එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධයට අවතීර්ණ වී ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ගෙනයන ප්‍රහාරවලට සම්බන්ධ වීමට සලකා බලමින් සිටිනවා. ඔහු අඟහරුවාදා තම ජාතික ආරක්ෂක කණ්ඩායම සමඟ විනාඩි 90 කට ආසන්න කාලයක් පුරා රැස්වීමක් පැවැත්වුවා.
    • එක්සත් ජනපදය පහර දිය හැකි එක් ඉලක්කයක් වන්නේ ඉරානයේ ෆෝර්ඩෝ න්‍යෂ්ටික බලාගාරය. එය භූගත ගැඹුරු පරිශ්‍රයක පිහිටා ඇති අතර එය විනාශ කළ හැකි රාත්තල් 30,000 ක බෝම්බයක් ඇත්තේ ඇමෙරිකානුවන් සතුව පමණක් බව බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් සඳහන් කළා.
    • මෙම පියවර සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ උපදේශකයින් බෙදී සිටිනවා.විශේෂඥයින් පවසන්නේ ඇමෙරිකාව මීට සම්බන්ධ වීම මගින් ගැටුම "සම්පූර්ණයෙන්ම වෙනසකට ලක්වනු ඇති බවයි.
    • ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ හෙලන ගුවන් යානාවලට ඉන්ධන පිරවීම සඳහා භාවිතා කරන, ඇමෙරිකානු හමුදාවට අයත් ටැංකි ගුවන් යානා ඇතුළු යානා 30 ක් පසුගිය දින තුන තුළ, යුරෝපයට යවා තිබෙනවා.
  13. ඇමෙරිකානු හමුදා ජෙට් යානා 30ක් යුරෝපයට

    BBC Verify  සමාලෝචනය කරන ලද ගුවන් ගමන් දත්තවලට අනුව පසුගිය දින තුන තුළ අවම වශයෙන් එක්සත් ජනපද හමුදා ගුවන් යානා 30 ක් ඇමෙරිකාවේ කඳවුරු වලින් යුරෝපයට ගෙන ගොස් තිබෙනවා.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    BBC Verify සමාලෝචනය කරන ලද ගුවන් ගමන් දත්තවලට අනුව පසුගිය දින තුන තුළ අවම වශයෙන් එක්සත් ජනපද හමුදා ගුවන් යානා 30 ක් ඇමෙරිකාවේ කඳවුරු වලින් යුරෝපයට ගෙන ගොස් තිබෙනවා.

    ඒ අතරට ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ හෙලන ගුවන් යානා සහ නැවත ඉන්ධන පිරවීම සඳහා භාවිතා කරන ඇමෙරිකානු හමුදාවට අයත් ටැංකි ගුවන් යානා අයත්.

    Flightradar24 ට අනුව, මේවායින් අවම වශයෙන් හතක් - KC-135s වර්ගයේ යානා - ස්පාඤ්ඤය, ස්කොට්ලන්තය සහ එංගලන්තයේ ඇති ඇමෙරිකානු ගුවන් කඳවුරුවල නතර කර තිබෙනවා.

    ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීම සඳහා යැයි පවසමින් සිකුරාදා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් පසුව, ඊශ්‍රායලය සහ ඉරානය අතර අඛණ්ඩව ප්‍රහාර එල්ල වෙමින් ඇති අතරතුර මෙම ගුවන් යානා ඇමෙරිකාවේ සිට යුරෝපයට යවා තිබෙනවා.

    එක්සත් ජනපදයේ මෙම ක්‍රියාමාර්ගය ගැටුමට සෘජුවම සම්බන්ධද වීමේ පියවරක්ද යන්න මෙතෙක් පැහැදිලි නැහැ.

    නමුත් එක් විශේෂඥයෙක් බීබීසී වෙරිෆයි වෙත කියා සිටියේ ටැංකි ගුවන් යානා රැගෙන යාම "ඉතා අසාමාන්‍ය" බවයි.

  14. ඉරානයේ 'මිසයිල නගර' යනු මොනවා ද?

    ඉරානයේ බැලැස්ටික මිසයිල පරාසය

    'මිසයිල නගර' යනු, ඉරානයේ හමුදා බළකාය වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ විශාල භූගත මධ්‍යස්ථාන හඳුන්වන යෙදුමක්.

    අතිවිශාල, ගැඹුරු සහ එකිනෙකට සම්බන්ධව රටපුරා පැතිර පවතින ඒවා බොහෝ විට කඳුකර එනම්, උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශවල පිහිටා තිබෙනවා.

    බැලස්ටික් හා කෲස් මිසයිල මෙන් ම ඩ්‍රෝන යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති වැනි උපායමාර්ගික ආයුධ ගබඩා කිරීමට, සූදානම් කිරීමට සහ ප්‍රහාර එල්ල කිරීමට ඒවා භාවිත කෙරෙනවා.

    මෙම මිසයිල නගර කියන්නේ හුදෙක් මිසයිල ගබඩා කිරීමේ මධ්‍යස්ථාන විතරක්ම නෙමෙයි, ඉන් සමහරක් ඒවා "භාවිතයට ගැනීමට පෙර මිසයිල නිෂ්පාදනය සහ සූදානම් කිරීමේ" කම්හල් ලෙසින් ද ක්‍රියා කරන බව IRGCහි අණදෙන නිලධාරීන් සඳහන් කළා.

    මෙම මිසයිල මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ කොහේදැයි නොදන්නා අතර, නිල වශයෙන් ඒ පිළිබඳව කිසිදු විටෙකත් හෙළි කර නැහැ.

  15. සිරියාවේ සිට ඉරානය දක්වා, මැද පෙරදිග තවත් පරාජයක් ගැන රුසියාව බියෙන්, -විශ්ලේෂණයක්-

    ඉරානයට එරෙහිව ඊශ්‍රායලයේ ‘Rising Lion’ මෙහෙයුම ආරම්භ වූ විට, රුසියානු මාධ්‍ය මොස්කව්වලට ඉන් ඇති විය හැකි ධනාත්මක කරුණු ගැන කලින්ම අවධාරණය කළා.

    ඡායාරූප මූලාශ්‍රය, EPA

    ස්ටීව් රොසෙන්බර්ග්

    රුසියානු සංස්කාරක - ශාන්ත පීටර්ස්බර්ග් හි සිට

    ඉරානයට එරෙහිව ඊශ්‍රායලයේ ‘Rising Lion’ මෙහෙයුම ආරම්භ කරන අවස්ථාවේ, රුසියානු මාධ්‍ය මොස්කව්වලට ඉන් ඇති විය හැකි ධනාත්මක කරුණු ගැන කලින්ම අවධාරණය කළා.

    ඒ අතර: ගෝලීය තෙල් මිල ඉහළ යාම හමුවේ රුසියාවේ භාණ්ඩාගාරයේ සංචිත මට්ටම ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ අතර රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධය ගැන ගෝලීය අවධානය වෙනතකට යොමු වනු ඇතැයි සඳහන් කර තිබ්බා.

    නමුත්, ඊශ්‍රායලයේ මිලිටරි මෙහෙයුම දීර්ඝ වන තරමට, වත්මන් සිදුවීම්වලින් රුසියාවට බොහෝ දේ අහිමි වන බවද අවබෝධ වන කාරණයක්.

    "මාස පහකට පෙර [රුසියාව] පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමකට අත්සන් තැබූ රටකට එරෙහිව ඊශ්‍රායලය එල්ල කරන ලද මහා ප්‍රහාරයක් වැළැක්වීමට රුසියාවට නොහැකි වීම සත්‍යයක්," යැයි රුසියානු දේශපාලන විද්‍යාඥ ඇන්ඩ්‍රි කෝර්ටුනොව් සටහනක් තබා තිබෙනවා.

    පසුගිය මාස හය තුළ රුසියාවට මැද පෙරදිග සිය ප්‍රධාන සගයෙකු වූ සිරියාවේ බෂාර් අල්-අසාද් අහිමි වුණා. මෙම තත්ත්වය සමග ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් ඇතිවීමේ අපේක්ෂාව, කලාපයේ තවත් උපායමාර්ගික සහකරුවෙකු අහිමි වීමේ සිතුවිල්ල රුසියාවේ කනස්සල්ලට මූලිකව ම තුඩුදිය හැකිවනවා.

  16. ඉරානය 'කිසි විටෙකත් සම්මුතියකට එළඹෙන්නේ නෑ' - ඉරාන උත්තරීතර නායකයා පවසයි

    ඉරානය "කිසි විටෙකත් සියොන්වාදීන් සමඟ සම්මුතියක් ඇති කර නොගන්නා" බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, X හි සටහන් තබමින් පවසා තිබෙනවා.

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    ඉරානය "කිසි විටෙකත් සියොන්වාදීන් සමඟ සම්මුතියක් ඇති කර නොගන්නා" බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, X හි සටහන් තබමින් පවසා තිබෙනවා.

    "අපි සියොන්වාදීන්ට කිසිදු අනුකම්පාවක් නැහැ" යනුවෙන් ඔහු තැබූ සටහනේ පරිවර්තනයක සඳහන් වෙනවා. තවත් සටහනක "සටන ආරම්භ වනවා" යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

    කමේනිගේ විවිධ භාෂා ගිණුම් හරහා පළ කරන ලද මෙම සටහන්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කමේනි සිටින ස්ථානය එක්සත් ජනපදය දන්නා නමුත් "අඩුම තරමේ දැනට ඔහුව ඝාතනය නොකරන " බව පැවසීමෙන් පසු ප්‍රසිද්ධියේ අදහස් පළ කළ පළමු අවස්ථාව මෙය වනවා.

    මේ සතියේ මුලදී, ට්‍රම්ප් කමේනි ඝාතනය කිරීමේ ඊශ්‍රායල සැලැස්මක් නිෂේධ බලය යොදා ප්‍රතික්ෂේප කර ඇති බව අප වාර්තා කළා.

  17. එක් ඇමෙරිකානු අවියකින් ඊශ්‍රායල-ඉරාන ගැටුම වෙනස් කළ හැකි ආකාරය

    = B-2 ස්පිරිට් බෝම්බ හෙලන යානයක්

    ඡායාරූප මූලාශ්‍රය, USAF

    ඡායාරූප ශීර්ෂ වැකිය, B-2 ස්පිරිට් බෝම්බ හෙලන යානයක්

    කඳු ආශ්‍රිතව භූගතව ඇති ෆෝඩෝ න්‍යෂ්ටික පරිශ්‍රය ඇතුළුව ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් විනාශ කිරීම තම ප්‍රධාන ඉලක්කයක් බව ඊශ්‍රායලය පවසයි.

    මෙය සාක්ෂාත් කරගත හැකි එක් ආයුධයක් තිබෙනවා - දැනට දන්නා පරිදි එවැනි ආයුධයක් පවතින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සතුව පමණයි.

    බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් කලින් ලියා තිබූ ආකාරයට, මෙය රාත්තල් 30,000 ක ප්‍රශ්නයක්.

    මක්නිසාද කියනවා නම්, එම බෝම්බයේ බර (කිලෝග්‍රෑම් 13,600)ක්. කන්දක් යට මීටර් 90 (අඩි 295) ක් ගැඹුරේ භූගතව තිබෙන ඉරානයේ වඩාත්ම රහසිගත හා වටිනා න්‍යෂ්ටික උපකරණ වෙත ළඟා වීමට අවශ්‍ය මේ ආයුධයේ බර ප්‍රමාණය රාත්තල් 30,000 ක්.

    මේ අවියේ සම්පූර්ණ නම, GBU-57 MOP , Massive Ordnance Penetrator යනුවෙන් හැඳින්වෙන මෙම අවියට භූගතව මීටර් 61ක් තරම් ගැඹුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට හැකියි.

    මෙම දැවැන්ත, නමුත් න්‍යෂ්ටික නොවන බෝම්බය රැගෙන යා හැකි එකම ගුවන් යානය USAF B-2 Spirit බෝම්බ හෙළන යානය වන අතර එයට එකවර බෝම්බ දෙකක් රැගෙන යන්න පුළුවන්.

    මේ ගැන මෙතැනින් වැඩිදුර කියවන්න...

  18. මෙතෙක් සිදුව ඇත්තේ මොනවාද?

    ආයුබෝවන් සුබ උදෑසනක්

    ඉරාන - ඊශ්‍රායල් ගැටුම මේවන විට තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

    කොන්දේසි විරහිතව යටත්වන ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට පවසන අතරේ ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ෆෙටා-1 'හයිපර්සොනික්' මිසයිලයක් එල්ල කර ඇත.

    අයතුල්ලා කමේනි සිටින්නේ කොහේදැයි "අපි හරියටම දන්නවා" "ඔහු පහසු ඉලක්කයක්” යැයිද ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

    මේ අතුළු සුවිශේෂී තොරතුරු මෙම සජීවී වෙබ් පිටුව ඔස්සේ දැන ගැනීමට බීබීසී සිංහල සමග රැඳී සිටින්න.

  19. විරාමයක්...

    ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම පිළිබඳව සජීව තොරතුරු ගෙන ඒම අප තාවකාලිකව අවසන් කරනවා.

    නමුත්, යම් විශේෂ සිදුවීමක් වුවහොත් අප ඒ පිළිබඳව ඔබ වෙත තොරතුරු එසැණින් ගෙන ඒමට සූදානමින් සිටිනවා.

    අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි.

    මේ සම්බන්ධයෙන් මෙතෙක් අප විසින් පළ කරන ලද ලිපි කියවීම සඳහා පිවිසෙන්න...

  20. මෙතෙක් සිදුවී ඇත්තේ මොනවා ද?

    ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් සිවිල් වැසියන් 224 දෙනෙකු මිය ගොස් 188 දෙනෙකු තුවාල ලබා තිබේ.

    ලාභ නොලබන සංවිධානයක් වන ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් (HRANA) ජීවිත හානි නිරීක්ෂණය කරමින් සිටින අතර ඔවුන් පවසන්නේ හමුදා සාමාජිකයින් 109 දෙනෙකු මිය ගොස් 123 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

    පුද්ගලයින් 119 දෙනෙකු මිය ගොස් 335 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් තවමත් හඳුනාගෙන නොමැත.

    ඒ අනුව 452 දෙනෙකු මිය ගොස් 646 දෙනෙකු තුවාල ලබා ඇත.

    මේ අතර, ඉරාන රජය විසින් මෙහෙයවනු ලබන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය, ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි ඒජන්සියේ මූලස්ථානය ගිනිගෙන ඇති බව පෙන්වන ඡායාරූප පෙළක් පළ කර තිබෙනවා.

    ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය උපුටා දක්වමින් තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ, මොසාඩ් සංවිධානයට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වූ බවයි.

    මේ අතර, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදුවන හානිය චර්නොබිල් හෝ ෆුකුෂිමාහි ව්‍යසන වැනි “න්‍යෂ්ටික සිදුවීමක” අවදානමක් ඇති නොකරන බව විශේෂඥයින් බීබීසී ප්‍රවෘත්ති වෙත පවසා තිබෙනවා.

    එයට හේතුව යුරේනියම් ජව ගැන්වීමේ පහසුකමක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිදු නොවන බැවිනි.

    මේ අතර, ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකතන අංකවලින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් බීබීසී සිංහල සේවය කළ කරුණු සොයා බැලීමේදී හෙළි වූයේ මේ වන විට එරට කිසිදු රාජතාන්ත්‍රික නිලධාරියෙකු සේවයේ නොමැති බවයි.

    ඉරානයේ ඇතිවී තිබෙන යුද්ධමය තත්ත්වය හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ලබා දෙන ලද දුරකතන අංක ඔස්සේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය අවස්ථා ගණනාවකදී උත්සහ දැරුවා.

    එලෙස ලබා දුන් +98 939 205 5161 සහ +98 936 636 0260 යන දුරකතන අංක ක්‍රියාත්මකව පැවතුණ ද කිසිවෙකුත් ඊට ප්‍රතිචාර නොදක්වන අතර +98 991 205 7522 යන අංකය වලංගු නොවන බවට ස්වයංක්‍රීය ප්‍රතිචාර ලැබෙනවා.

    මේ සම්බන්ධයෙන් අප පළ කර ඇති ලිපිය මෙතැනින් කියවන්න.