ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ බැඳීම්වලින් ඉවත්වීමට ඉරාන පාර්ලිමේන්තුව පනතක් සම්මත කරයි

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය සමග පැවති සහයෝගීතාව අත්හිටුවීමේ පනතක් සම්මත කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, තම න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායල සහ ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර උපුටා දක්වමිනි.

සාරාංශය

  • එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ බැඳීම්වලින් ඉවත්වීමට ඉරාන පාර්ලිමේන්තුව පනතක් සම්මත කරයි.
  • මෙම පියවර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) සමග පවතින ආතතීන් උත්සන්න කරන අතර එමගින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගෝලීය වශයෙන් සිදුවන නිරීක්ෂණයේ විශාල පරතරයක් ද ඇති කළ හැකියි.
  • ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට 'දැඩි ලෙස හානි' සිදුවී ඇති බව CIA අධ්‍යක්ෂවරයා පවසයි.

සජීවී වාර්තාකරණය

  1. සුබ උදෑසනක්!

    ඔබ යළිත් එක්ව සිටින්නේ, ඉරාන-ඊශ්‍රායල ගැටුමේ තොරතුරු සජීවීව ගෙන වෙබ් පිටුව සමගයි.

    ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව ට්‍රම්ප් පවසන නමුත් තවමත් අදහස් දක්වා නොමැත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අප මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා.

  2. ඊශ්‍රායලය සහ ඉරානය 'පූර්ණ' සටන් විරාමයකට එකඟ වී ඇති බව ට්‍රම්ප් පවසයි

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලය සහ ඉරානය අතර "පූර්ණ" සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    සෑම රටක් ම තම හමුදා මෙහෙයුම් "ක්‍රමයෙන් අත්හිටු වූ" පසු "දැන් සිට ආසන්න වශයෙන් පැය හයක් ඇතුළත" සටන් විරාමය ආරම්භ වන බව ට්‍රම්ප් පවසනවා.

    කාලයත් සමග සටන් ක්‍රමයෙන් අඩු වන බවත්, පැය 24කට පසු යුද්ධය නිල වශයෙන් අවසන් වන බවත් ට්‍රම්ප්ගේ නිවේදනයේ සඳහන් වෙනවා.

    ඊශ්‍රායලය සහ ඉරානය තවමත් සටන් විරාමයකට එළඹ ඇති බව තහවුරු කර නැහැ.

    කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයේ ප්‍රතිචාරය බලා සිටි අතරතුර, ටෙහෙරානයේ සහ ඒ අසල නගරයක් වන කරජ් සහ උතුරු නගරයක් වන රාෂ්ට්හි ජනතාවගෙන් ඔවුන්ට විශාල පිපිරීම් ඇසුණු අප වාර්තාකරුවන් වාර්තා කළා.

    ඉදිරි පැය කිහිපය තුළ ආරම්භ වන බව පැවසූ ට්‍රම්ප්ගේ සටන් විරාම නිවේදනයට ටෙහෙරානයෙන් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැත.

    නමුත්, ඊශ්‍රායලය සහ ඉරානය යන දෙක ම සටන් විරාමයට එකඟ වී ඇති බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් බීබීසීයේ ඇමෙරිකානු ප්‍රවෘත්ති සහකරු වන CBS වෙත පැවසුවා.

    ට්‍රම්ප් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග ඍජුව ම සන්නිවේදනය කළ අතර, ඉරානයෙන් තවදුරටත් ප්‍රහාරයක් එල්ල නොවන තාක් කල් ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව CBS වාර්තා කරනවා.

  3. විරාමයක්...

    මැද පෙරදිග තත්ත්වය පිළිබඳ සජීව තොරතුරු ගෙන ඒම අප තාවකාලිකව අවසන් කරනවා.

    නමුත්, යම් විශේෂ සිදුවීමක් වුවහොත් අප ඒ පිළිබඳව ඔබ වෙත තොරතුරු එසැණින් ගෙන ඒමට සූදානමින් සිටිනවා.

    අප සමග රැඳී සිටි ඔබට ස්තූතියි.

  4. "මේ වගේ ඇටෑක් එකක් වේවි කියලා අපිට කවුරුවත් දැනුම් දීලා තිබුණේ නැහැ.", - කටාරයේ සිටින ලාංකිකයෙකුගේ අත්දැකීම

    කටාරයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අල් උඩෙයිඩ් හමුදා කඳවුරු සංකීර්ණය වෙත ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී තමන් ලද අත්දැකීම කඳවුර ආසන්නයේ සිටින ශ්‍රී ලාංකිකයෙක් වන නිෂාත් අහමඩ් නෂීම් බීබීසී සිංහල සේවය වෙත මෙලෙස විස්තර කළා.

    "මේ වගේ ඇටෑක් එකක් වේවි කියලා අපිට කවුරුවත් දැනුම් දීලා තිබුණේ නැහැ."

    "මම ඉන්න තැන ඉදලා අල් උඩෙයිඩ් හමුදා කඳවුරට කිලෝමීටර් 15-20ක් වාගේ දුරක් තියෙන්නේ."

    "අපි එක පාර ම අහසේ එළි යනවා වගේ දැක්කා. ඒ එක්ක ම අල් උඩෙයිඩ් කඳවුර පැත්තෙන් නිකම් කවුන්ටර් ඩ්‍රෝන්ස් වගේ යනවා දැක්කා."

    "ඒ වෙලාවේ මිනිස්සු පාරවල්වල ඉඳන් ඒවා වීඩියෝ කරනවා, වාහනත් යනවා. මිනිස්සු බය වෙලා හිටියේ. මේ දේවල් ඔක්කොම වෙන්න ගියේ විනාඩි 15ක් වගේ."

    "අල් උඩෙයිඩ් හමුදා කඳවුර තියෙන්නේ දෝහා ඉඳන් කිලෝමීටර් 30 ක් වගේ ඈතින් කාන්තාරේ මැද්දට වෙන්න. එතනට කිලෝමීටර් 10ක් වගේ ළඟින් තමයි ඉන්ඩස්ට්‍රියල් සෝන් එක තියෙන්නේ."

    "එතැන ඉන්නවා මගේ ලංකාවේ යාළුවෝ වගයක්. දැන් ඒ අය මම ඉන්න තැනට එනවා කිව්වා. මොකද තව පාරක් ඇටෑක් එකක් ආවොත් කියන බය තියෙන නිසා."

    "ඉස්සරහට මොකක් ද වෙන්නේ කියලා අපි බලන් ඉන්නවා," ඔහු පැවසුවා.

  5. බහරේනය සයිරන් නාද කරමින් ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යන ලෙස ඉල්ලා සිටී

    සයිරන් නාද කරමින් "ළඟම ආරක්ෂිත ස්ථානයකට" යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

    අනතුර පිළිබඳව විස්තර නොකර, "අනතුර පහව යන තුරු" ජනතාවට ගොඩනැගිල්ලක හෝ වෙනත් ආවරණය කරන ස්ථානයක රැකවරණය ලබන ලෙස එම අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

    "පිපිරීමක් සිදුවුවහොත් ප්‍රවේශම් වන්න" සහ පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස බහරේන් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

  6. කටාර්හි අල් උඩෙයිඩ් ඇමෙරිකානු කඳවුර ගැන ඔබ දැන ගතයුතු කරුණු

    කටාර්හි අගනුවර වන දෝහා ආසන්නව පිහිටා ඇති අල් උඩයිඩ්, මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද මධ්‍යම විධානයේ ගුවන් මෙහෙයුම් මූලස්ථානය ලෙස පවත්වාගෙන යන අතර එක්සත් ජනපද හමුදා භටයින් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් එහි සේවය කරනවා.

    බ්‍රිතාන්‍ය හමුදා භටයින්ද මේ කඳවුර හරහා හුවමාරු වන අතර එය අබු නක්ලා ගුවන්තොටුපළ ලෙසද හැඳින් වෙනවා.

    මෙම කඳවුරු දැනට ඉරාකයේ එක්සත් ජනපද මෙහෙයුම් සඳහා මූලස්ථානය සහ සැපයුම් සේවා මධ්‍යස්ථානය ලෙස කටයුතු කරන අතර ඊට ගල්ෆ් කලාපයේ දිගම ගුවන් ධාවන පථය ද ඇතුළත්.

    2000 දී කටාර් රාජ්‍යය එක්සත් ජනපදයට අල් උඩෙයිඩ් කඳවුරට ප්‍රවේශය ලබා දුන්නා. 2001 දී ඇමෙරිකානුවන් කඳවුරු කළමනාකරුවන් ලෙස වැඩ භාර ගැනීමෙන් පසු, 2002 දෙසැම්බර් මාසයේදී දෝහා සහ වොෂින්ටනය ගිවිසුමක් අත්සන් කළා.

    ඒ අනුව අල් උඩෙයිඩ් කඳවුරේ එක්සත් ජනපද හමුදාව රැඳ වීම නිල වශයෙන් පිළිගත් බව ලන්ඩනයේ පිහිටි බුද්ධි සමාගමක් වන ග්‍රේ ඩයිනමික්ස් සඳහන් කර සිටියා.

    කටාර්හි සිය හමුදා රැඳවීම තවත් වසර 10 කට දීර්ඝ කිරීමට එක්සත් ජනපදය එකඟතාවයකට පැමිණි බව 2024 දී, CNN වාර්තා කළා.

  7. ප්‍රහාරය කටාර් රාජ්‍යය නොව ඇමෙරිකාව ඉලක්ක කරගත් එකක් බව ඉරානය කියයි

    කටාර්හි ඇමෙරිකානු ගුවන් කඳවුරට ඉරානය ප්‍රහාර එල්ල කළ නමුත් ප්‍රහාරය කිසිදු ආකාරයකින් "කටාර් රාජ්‍යයට හෝ එහි ජනතාවට කිසිදු අනතුරක් නොකරන" බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

    කටාර් රාජ්‍යය සමඟ "උණුසුම් හා ඓතිහාසික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට" ඉරානය කැපවී සිටින බවද ඉරානය අවධාරණය කළා.

    මේ අතර, එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන අල් උඩෙයිඩ් කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරය කටාර් රාජ්‍යය තහවුරු කළා.

    එය "බරපතල උල්ලංඝණයක්" ලෙස කටාර් රාජ්‍යය විසින් හඳුන්වන අතර සෘජුවම ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බවද අවධාරණය කළා.

    එල්ල වූ සියලුම මිසයිල ප්‍රතිග්‍රහණය කළ බවත් ජීවිත හානි පිළිබඳ වාර්තා නොමැති බවත් කටාර් බලධාරීන් අනාවරණය කළා.

  8. කටාර් සහ ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර - ඉරාන රාජ්‍ය මාධ්‍ය

    ඇමෙරිකානු ප්‍රහාරවලට එරෙහිව ඉරානය සිය "බලවත් සහ ජයග්‍රාහී" ප්‍රතිචාරය ආරම්භ කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළා.

    ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක භටයින් කටාර් සහ ඉරාකයේ ඇමෙරිකානු කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය පුවත් එජන්සියක් වන ටස්නිම් ඒජන්සිය අනාවරණය කළා.

    අල්-උදෙයිද් ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය "දැඩි ලෙස හෙළා දකින" බව කටාර් රජය සඳහන් කළා.

  9. කටාර්හි තත්ත්වය පිළිබඳව අප මෙතෙක් දන්නා දේ

    කටාර්හි තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් අප දන්නා කරුණුවල සාරාංශයකි මේ.

    • දෝහා අවට පිපිරීම් ඇසෙන බවට රොයිටර් සහ ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කළා.
    • කටාර්හි අල් උඩෙයිඩ් හි එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන සන්ධාන ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයට "විශ්වසනීය තර්ජනයක්" පවතින බව බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් කියා සිටියා.
    • පැය කිහිපයකට පෙර, කටාර්හි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු පුරවැසියන්ට පැවසුවේ "නැවත දැනුම් දෙන තුරු" ආරක්ෂිත ස්ථානවල වී සිටින ලෙසයි.
    • ඉන්පසු එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී කටාර්හි සිටින එක්සත් රාජධානියේ පුරවැසියන්ට එම උපදෙසම නිකුත් කළා.
  10. ඉරානය සහ ඊශ්‍රායලය අතර අද දිනයේ සිදුවූයේ කුමක්ද?, ෆොඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයටත් යළි ප්‍රහාර

    ඊශ්‍රායලයේ ප්‍රහාරක ජෙට් යානා අද දිනයේදී ඉරානයේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ තමන් "පෙර නොවූ විරූ බලයකින්" ඉරානයට පහර දෙන බවයි.

    ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා 50 කට අධික සංඛ්‍යාවකින් ටෙහෙරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කළා.

    ෆොඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය :

    ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා ඉරානයේ ෆොඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට අද නැවත වරක් ප්‍රහාර එල්ල කළා. න්‍යෂ්ටික බලාගාරයට ඇති "ප්‍රවේශ මාර්ග අවහිර කිරීම" සඳහා එම ස්ථානයට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව කියා සිටියා. මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ඉකුත් ඉරිදා ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කළා.

    එවින් බන්ධනාගාරය:

    ටෙහෙරාන් අගනුවර පිහිටි එවින් බන්ධනාගාරයේ කොටසකට ඊශ්‍රායලය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් හානි වී තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසන්නේ බන්ධනාගාරය තුළ ඉරාන පාලන තන්ත්‍රයට ‘විරුද්ධවාදීන්’ සිටින බවයි.

    මීට අමතරව ඉරාන රජයට එරෙහි විරෝධතා මර්දනය කිරීම සඳහා බොහෝ විට යොදා ගන්නා සන්නද්ධ කණ්ඩායමක් වන බසීජ් හි මූලස්ථානයට ද ඊශ්‍රායල හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවා.

    මේ අතර ඉරානයද ඊශ්‍රායලයට තවත් ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඊශ්‍රායල බලධාරීන් කිසිදු ජීවිත හානියක් වාර්තා කර නොමැති නමුත් දකුණු දිග ඊශ්‍රායලයේ සිටින පුද්ගලයින් 8,000 කට පමණ විදුලි සැපයුම නොමැති බව ඊශ්‍රායලය සඳහන් කළා.

    ඉරානයේ 500ක් මරුට

    මේ අතර ජුනි මස 13 වැනිදා සිට ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 500 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 3000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

    රොයිටර් පුවත් සේවය උපුටා දක්වන ලද නාවික ගමනාගමන දත්තවලට අනුව, නෞකා 03ක් හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ආපසු හරවා තිබෙනවා.

    ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන නෞකා තුනක් මෙලෙස හෝමූස් සමුද්‍ර සන්ධියෙන් හරවා සිය ගමන් මාර්ගය වෙනස් කර ඇති බව එහි දැක්වෙනවා.

  11. 'ප්‍රබල ප්‍රතිචාරයක්' දක්වන බවට ඉරානය ඇමෙරිකාවට අනතුරු අඟවයි

    ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බවට ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදා නායකයින් කිහිප දෙනෙකු තර්ජනය කර තිබෙනවා.

    ඉරානයේ ප්‍රධාන අණදෙන නිලධාරී අමීර් හටමි, මෙහෙයුම් මැදිරියකදී සෙසු නිලධාරීන් සමග කතා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉරාන මාධ්‍ය විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.

    එම වීඩියෝවේ, ඔහු පවසන්නේ අතීතයේදී එක්සත් ජනපදය ඉරානයට එරෙහිව "අපරාධ" සිදු කළ සෑම අවස්ථාවක ම, ඔවුන්ට "ප්‍රබල ප්‍රතිචාරයක් ලැබුණු බවත්, මෙවරත් එය එසේ ම වනු ඇති බවත්" ය.

    මේ අතර, ඉරාන හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල්රහීම් මවුසාවි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, තම හමුදාවන්ට ඇමෙරිකානු හමුදාවලට එරෙහිව "ඕනෑ ම ක්‍රියාමාර්ගයක්" ගැනීමේ හැකියාව එක්සත් ජනපදය විවෘත කර ඇති බවයි.

    ඉරානය "කිසි විටෙකත් පසුබට නොවන" බව ඔහු තවදුරටත් පැවසුවා.

    ඔවුන් නිකුත් කළ තවත් තර්ජනයක දැක්වූයේ සති අන්තයේදී එක්සත් ජනපදය සිය ප්‍රහාරවලට ප්‍රතිචාරයකට මුහුණ දෙනු ඇති බව ය.

    ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆගාරි පවසන්නේ, එක්සත් ජනපදය ඍජුව ම යුද්ධයට අවතීර්ණ වී ඉරානයේ "පූජනීය භූමිය" කෙළෙසූ බවයි.

    "බලවත් සහ ඉලක්කගත මෙහෙයුම්" හරහා එක්සත් ජනපදය "බරපතළ, කණගාටුදායක සහ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට" මුහුණ දෙනු ඇතැයි ඔහු පවසයි.

    ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඉංග්‍රීසි බසින් ඍජුව ම කතා කරමින් සොල්ෆගාරි මෙසේ පවසයි: "ට්‍රම්ප් මහත්තයෝ, සූදුකාරයෝ! ඔයාලා මේ යුද්දේ පටන් ගන්න පුළුවන් - ඒත් ඒක ඉවර කරන්නේ අපි!"

  12. ට්‍රම්ප්ගේ ඉරාන ප්‍රහාර ජාත්‍යන්තර විරෝධතා අවුළුවයි

    නරඹන්න:

  13. ඉරානයට බෝම්බ හෙළීමෙන් පසු B-2 යානා නැවත එක්සත් ජනපදයට පැමිණි අයුරු

    දශක ගණනාවකට පසු එක්සත් ජනපද ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු, එක්සත් ජනපද B-2 බෝම්බ හෙළන යානා නැවත එක්සත් ජනපදයට පැමිණෙන ආකාරය පෙන්වන දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

    නරඹන්න:

  14. මැද පෙරදිග නවතම තත්ත්වය...

    එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කර පැය 24කට වැඩි කාලයක් ගත වී තිබෙනවා.

    ඒ අනුව, මැද පෙරදිග නවතම තත්ත්වය මෙන්න:

    • ප්‍රහාර එල්ල කර යම් කාලයකට පසු ජාතිය අමතමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානය "දැන් සාමය ඇති කර ගත යුතු" බව පැවසූ අතර, අනාගත ප්‍රහාර "ඊට වඩා විශාල" වනු ඇතැයි අනතුරු ඇඟවූවා.
    • පෙන්ටගනයට අනුව, ෆෝඩෝ සහ නටාන්ස්හි භූගත න්‍යෂ්ටික පහසුකම් මෙන් ම ඉස්ෆහාන් ඉලක්ක කර ගනිමින් B-2 බෝම්බ හෙළන යානා මගින් "ඉතා රහසිගත" ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
    • ඉරානයේ "සියලු ම" න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට "බරපතළ හානියක්" සිදුවී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්ටර්නෙට් ඔස්සේ අදහස් පළ කළා.
    • ට්‍රම්ප් මෙම ප්‍රහාර මගින් ඉරානය මෙන් ම ඇමරිකානුවන් ද "පාවා දී ඇති" බව ටෙහෙරානය පැවසූ අතර ඉන් "සදාකාලික ප්‍රතිවිපාක" අත්විඳීමට සිදුවනු ඇතැයි පැවසුවා.
    • එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ, මෙම ප්‍රහාර ගැටුම්වල බරපතළ වැඩිවීමක් බවත් ඒවා ඉක්මනින් පාලනයෙන් මිදිය හැකි බවත් ය. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ද පැවසුවේ කොපමණ හානියක් සිදුවී ඇත්දැයි නිසි ලෙස තක්සේරු කිරීමට නොහැකි වූ බවයි.
    • ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ට්‍රම්ප්ගේ "නිර්භීත තීරණය" ප්‍රශංසා කළ අතර, මෙම ප්‍රහාර ඇමෙරිකානු නීති සම්පාදකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාරයක් ලැබීමට හේතු වුණා.
    • බීබීසීයේ උතුරු ඇමෙරිකානු වාර්තාකරු සඳහන් කරන පරිදි, ඉරාන-ඊශ්‍රායල් ගැටුමට සම්බන්ධ වීමට ට්‍රම්ප් ගත් තීරණය දේශපාලනික වශයෙන් පසුබෑමකට තුඩු දිය හැකි වේ.
    • ඉරානය සහ ඊශ්‍රායලය දෙපාර්ශවය ම තවමත් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගන්නා අතර ඊශ්‍රායලය තුවාල ලැබූවන් කිහිප දෙනෙකු පිළිබඳව ද ඉරානය මරණ කිහිපයක් පිළිබඳව ද වාර්තා කළා.
    • එක්සත් ජනපද ප්‍රහාරවලට තමන් සම්බන්ධ නැති බව තහවුරු කළ එක්සත් රාජධානිය, ඉරානයෙන් ඉල්ලා සිටියේ සාකච්ඡාවලට නැවත පැමිණෙන ලෙසයි.
  15. ලොව පුරා ඇමෙරිකානුවන්ට "අවධානයෙන් පසුවන්නැයි" අනතුරු අඟවයි

    ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවලින් පසුව, ලොව පුරා සිටින ඇමරිකානුවන්ගෙන් අවධානයෙන් පසුවන ලෙස සඳහන් කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

    "විදේශයන්හි සිටින ඇමෙරිකානුවන්ට සහ කටයුතුවලට විරෝධතා එල්ල විය හැකියි. ලොව පුරා සිටින ඇමෙරිකානු පුරවැසියන්ට වැඩි අවධානයකින් පසුවන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි," යනුවෙන් එහි සඳහන් වේ.

  16. ගත වුණු පැය 48 තුළ සිදු වූයේ මොනවා ද?

    • ඉරානයට එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් "පාලන වෙනසක්" ගැන ඉඟි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ පැවසුවා: "වත්මන් ඉරාන පාලනයට ඉරානය නැවත ශ්‍රේෂ්ඨ කිරීමට නොහැකි නම්, පාලන තන්ත්‍ර වෙනසක් සිදු නොවන්නේ ඇයි?"
    • මේ අතර, එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට පහර දීමෙන් පසු, එක්සත් ජනපදය "අසාධාරණ හේතුවක්" හුවා දක්වමින් "යුද්ධ කරන" බවට එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපතිවරයා චෝදනා කළා.
    • ගෝලීය තෙල් මිල ඉහළ යමින් පවතින අතර හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානයට බලපෑම් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චීනයෙන් ඉල්ලීමක් කර තිබුණා.
    • ඉරානයේ හානිය සම්බන්ධයෙන් තවමත් අවිනිශ්චිතතාවක් පවතී: එක්සත් ජනපද ප්‍රහාර "බෝම්බයක්" නිපදවීමට ඉරානයට තිබුණු හැකියාව නැති කළ බව ට්‍රම්ප් පවසන නමුත් ෆෝඩෝ බලාගාරයේ වත්මන් තත්ත්වය කුමක් දැයි තීරණය කළ නොහැකි බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පැවසුවා.
  17. සුබ උදෑසනක්!, ආයුබෝවන්!

    ඔබ යළිත් එක්ව සිටින්නේ, ඉරාන-ඊශ්‍රායල ගැටුමේ තොරතුරු සජීවීව ගෙන වෙබ් පිටුව සමගයි.

  18. ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරවලින් පසු ඉරාන න්‍යෂ්ටික පරිශ්‍රයේ ආවාට සෑදී ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළිවෙයි

    ඉරානයේ ෆෝඩෝ හි භූගත න්‍යෂ්ටික බලාගාර සංකීර්ණයට ඊයේ රාත්‍රියේ එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරවලින් පසු තත්ත්වය නව චන්ද්‍රිකා ඡායාරූපවලින් දැක්වෙනවා.

    ජුනි 22 වන දින මැක්සාර් ටෙක්නොලොජීස් වෙතින් ලබාගත් ඡායාරූපවල නව ආවාට හයක් - බොහෝ විට ඇමෙරිකානු බෝම්බ එල්ල කරන ලද ස්ථාන - මෙන්ම ප්‍රහාර හේතුවෙන් කඳු බෑවුමේ ආශ්‍රිතව විසිරී ඇති අළු දූවිලි සහ සුන්බුන් වලින් දැක ගත හැකි වනවා.

  19. ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු, 'සදාකාලික ප්‍රතිවිපාක' ගැන ඉරානයෙන් අනතුරු ඇඟවීම්

    ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි, කියා සිටියේ ඇමෙරිකානු ප්‍රහාර "කෝපාවිෂ්ඨ" ක්‍රියාවක් ලෙස හෙළා දකින බවය.

    "තම රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු විකල්ප" ගැන ඉරානය සලකා බලන බව ඔහු සඳහන් කළා.

    "අද උදෑසන සිදුවීම් අතිශය පිළිකුල් සහගතයි. මේක සදාකාලිකව ම ප්‍රතිවිපාක ඇති කරනු ඇති. එක්සත් ජාතීන්ගේ සෑම සාමාජිකයෙකුම මෙම අතිශය භයානක, නීති විරෝධී සහ සාපරාධී හැසිරීම ගැන කනස්සල්ලට පත්විය යුතුය," ඔහු X හි සටහනක් තබමින් අවධාරණය කර සිටියා.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය "බරපතල ලෙස උල්ලංඝණය කර ඇති" බව අරග්චි අවධාරණය කළා.

  20. ඉරානයට එල්ල කළ ප්‍රහාරය 'විශිෂ්ට මිලිටරි සාර්ථකත්වයක්' යැයි ට්‍රම්ප් කියයි, ඉරානය 'දැන් සාමය ඇතිකර ගත යුතු' බවටත් ප්‍රකාශයක්

    ඉරානය "දැන් සාමය ඇති කර ගත යුතුයි" යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

    "ඔවුන් එසේ නොකළහොත්, ඉදිරි ප්‍රහාර බොහෝ විශාල විය හැකි වගේම බොහෝම පහසු වෙන්න පුළුවන්," යැයි ට්‍රම්ප් සඳහන් කළා

    ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ජනපති ට්‍රම්ප් ජාතිය අමතමින් මේ බව කියා සිටියා.

    "අද රාත්‍රියේ මට ලෝකයට කියන්න පුළුවන් මේ ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් වූ බව" ට්‍රම්ප් පැවසුවා.

    ඔහු තවදුරටත් කියා සිටියේ "ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලගැන්වීමේ මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති" බවයි.

    "මතක තබා ගන්න, තවත් ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. අද රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය ඒ සියල්ලෙන් වඩාත්ම දුෂ්කර... සමහර විට වඩාත්ම දරුණුම ප්‍රහාරය වෙන්න පුළුවන්." ඔහු සඳහන් කළා.