ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය ශ්‍රී ලංකාව අලුත් කරයි: රුමේෂ් තරංගගෙන් ඓතිහාසික රන් පදක්කමක්
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 89.75කි.
ඔහුට හිමි වූ පළමු අවස්ථාව සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර දෙවන අවස්ථාවේදී මීටර 89.75ක දක්ෂතාව දැක්වීය.
මූලික වටයේදී මීටර් 82.84ක දුරක් වාර්තා කරමින් පෙරමුණ ගත් ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් තරගයේදී රන් පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීමට සමත් විය.
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත් පළමු වන ඓතිහාසික අවස්ථාව මෙය ලෙස සටහන් වේ.
ග්ලාස්ගෝ ස්කොට්ස්ටන් ක්‍රීඩාංගණයේදී රුමේෂ් තරංග මෙම ජයග්‍රහණය වාර්තා කළේ, ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා යමිනි.
ඒ අනුව, පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනා ගත් රන් පදක්කම් ගණන 5ක් දක්වා ඉහළ යන අතර 1950 වසරේදී ඩන්කන් වයිට්ගෙන් අනතුරුව මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව දිනූ පළමු පොදුරාජ්‍ය මණ්ඩල රන් පදක්කම බවට මෙය පත් වනු ඇත.
සුදුසුකම් ලැබීමේ තරගයේ දැක්වූ දක්ෂතාව
ජුලි 30 වන දා පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයේ ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව රුමේෂ් තරංග අවසන් තරගයට පිවිසියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු ඉහළ නංවමිනි.
රුමේෂ් මෙම සුදුසුකම් ලැබීමේ තරගයේදී මීටර් 82.84ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් තමන්ට හිමි වූ පළමු අවස්ථාවේදී ම අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තහවුරු කර ගත්තේ ය.
එම සුදුසුකම් ලැබීමේ තරගයේදී ක්‍රීඩකයෙකු ප්‍රදර්ශනය කළ ඉහළ ම දක්ෂතාව ද එය විය.
ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකට සහභාගි වන්නේ පළමු වරට ය.
සිය පළමු පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී තමන්ට හිමිවූ පළමු අවස්ථාවේදී ම අවසන් තරගයට පිවිසීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව රුමේෂ් ප්‍රකාශ කළේ ය.
එමෙන් ම ක්‍රීඩාංගණයේ පැවති සුළඟේ වේගය මත ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ද අවසන් තරගයට පිවිසීමට නොහැකි වූ බව ඔහු සඳහන් කළේ ය.
කලක් මෙරට අංක එකේ හෙල්ල විසි කිරීමේ ශූරයාව සිටි සුමේධ රණසිංහ සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගී වූ නමුත් ඔහුට සාර්ථක වීමට හැකි වූයේ නැත.
ශ්‍රේණීගත කිරීම් අනුව ලෝක දෙවන ස්ථානය
23 හැවිරිදි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වේ වර්තමාන ශ්‍රේණිගතකිරීම් අනුව ලොව දෙවන ස්ථානයේ පසු වේ.
හෙල්ල විසි කිරීමේ ඉසව්වට මෙවර තරග සමයේ ලොව ඉහළ ම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා වන්නේ ද රුමේෂ් තරංග ය.
පසුගිය ජූනි 4 වන දා පැවති රෝමයේ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු මීටර් 92.62ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේ එම ඉසව්වට මෙවර තරග සමයේ ඉහළ ම දක්ෂතාව මෙන් ම, ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමිනි.
රුමේෂ් තරංග යනු කවුද?
2003 වසරේ මාර්තු 21 වන දා කළුතරදී උපත ලද රුමේෂ් තරංග පතිරගේ මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙනි.
පසුව ඔහු බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළු විය.
ඔහුගේ පියා හිටපු යගුලිය විසිකිරීම සහ කවපෙත්ත විසි කිරීමේ තරග ඉස්ව්වල ශූරයෙකි.
ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයෙක් වූ රුමේෂ් 2019 වසරේ පැවති යොවුන් වේග පන්දු යවන්නන් තේරීමේ තරගාවලියකදී පැයට කි.මි 134ක දක්ෂතාවක් දැක්වීය.
හෙල්ල විසිකිරීම පුහුණුකරුවෙකු වන ටෝනි ප්‍රසන්න ඔහුව හෙල්ල විසිකිරීමේ ඉසව්වට කැඳවා ගත්තේ ඉන් අනතුරුව ය.
ඔහු මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරයි.
රුමේෂ්, 2024, 2025 ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කම දිනූ අතර පසුගිය වසරේ ජපානයේ පැවති මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී 7 වන ස්ථානයට පත් විය.
වසර 20කට පසු ශ්‍රී ලංකාව ලද රන් පදක්කම
ශ්‍රී ලංකාව අවසන් වරට පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනා ගත්තේ මීට වසර 20කට පෙරදීය.
2006 මෙල්බර්න් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙලේදී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ එම පදක්කම දිනා ගත්තේය.
ශ්‍රී ලංකාව මේ දක්වා පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලවලදී හිමිව ඇත්තේ රන් පදක්කම් 4ක් පමණි.
බොක්සින් ක්‍රීඩක බාර්නි හෙන්රික්ස් 1938 වසරේදී ද, මීටර 440 කඩුලු මතින් දිවීම ඉසව්වෙන් ඩන්කන් වයිට් 1950 වසරේදී ද, ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් පුෂ්පමාලී රාමනායක සහ මාලි වික්‍රමසිංහ 1994 වසරේදී ද අනෙකුත් පදක්කම් දිනා තිබේ.
විසි වසරක පොදුරාජ්‍ය මණ්ඩල රන් පදක්කම් පිපාසය සංසිඳුවීමට රුමේෂ් තරංග මෙවර තරගාවලියේදී සමත්විය.