ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරය: හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සිකුරාදා (ජූලි 31) මරණ දඬුවම නියම කෙරිණි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩු තීන්දුව මුලින් ප්‍රකාශයට පත් කෙරුණු අතර ඉන් පැය කිහිපයකට පසු හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාග වුණු අතර බහුතර විනිසුරුවරුන්ගේ තීරණය මත ඔවුන්ට මෙලෙස මරණීය දණ්ඩය නියම විය.
හිටපු පොලිස්පතිවරයාට ලැබුණු තීන්දුව
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරුන් තීන්දු කළේ, බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වරදකරු කරන බව ය.
එම තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මෙලෙස පැවසීය.
"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා.
"අදාළ කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි.
"නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වන දා සවස එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබා දී තිබුණා.
"එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත් කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා."
ඒ අනුව, විත්තිකරු සිදුකර තිබෙන වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බව බහුතර විනිසුරු මඩුල්ල සඳහන් කළේ ය.
සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරිය පැවසුවේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස්කොට නිදහස් කරන බවත් ය.
හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරායට ලැබුණු තීන්දුව
විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු පැමිණිල්ල විසින් එල්ල කරනු ලැබ තිබූ චෝදනා 855න් චෝදනා 854කට වරදකරු කරන බව විනිසුරු මඩුල්ලේ ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු සිය බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළහ.
එහිදී බහුතර විනිසුරුවරු මෙලෙස පැවසූහ.
"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන පසු දා එල්ල වීමට නියමිත ප්‍රහාරය පිළිබඳව විත්තිකරුට දැනුම් දී තිබුණා.
"නමුත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. ඔහුට බුද්ධි අංශ රැස්වීමක් කැඳවා ගත යුතු පියවර ගැන සාකච්ඡා කරන්න තිබුණා.
"ඒ වගේ ම ත්‍රිවිධ හමුදාව සමග සාකච්ඡා කර ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නැහැ.
"මේ තුළින් විත්තිකරු මෙම ප්‍රහාරය හේතුවෙන් මිනීමැරුම් සිදුවිය හැකි බවට හොඳට ම තොරතුරු දනිමින් එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ."
ඒ අනුව, රාජකාරිය නොකර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යන චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බවත් බහුතර විනිසුරුවරු පැවසූහ.
නමුත් සුළුතර තින්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරිය ප්‍රකාශ කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව ය. ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා පැවසීය.
කෙසේ වෙතත්, බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත හේමසිරි ප්‍රනාන්දුට ද මරණීය දණ්ඩනය පනවනු ලැබිණි.