තමන්ගේ, දරුවන්ගේ සහ මවගේ අසනීප ගැන කියා ඇප ඉල්ලූ සුගීෂ්වර බණ්ඩාරට ඇප නොලැබුණේ ඇයි?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අගෝස්තු 12 වන දා ප්‍රතික්ෂේප කළේ ය.

සැකකරුගේ, ඔහුගේ දරුවන්ගේ සහ මවගේ රෝගී තත්ත්වයන් ඇප ලබා දීමට සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි බව මෙහිදී අධිකරණය සඳහන් පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, සැකකාර සුගීශ්වර බණ්ඩාර අගෝස්තු 25 වන දා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේ ය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර සුගීෂ්වර බණ්ඩාර මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

වීඩියෝව නරඹන්න

'හෘදයේ ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක්'

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"ස්වාමීනී.... මෙම සැකකරු මේ වන විට දින 54කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වෙනවා. සැකකරුගේ හෘදයේ ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතිනවා. මේ හේතුවෙන් ධමනි තුවාල වීම් හා ලේ විෂවීම් සිදුවන අතර ඊට ඔහු ප්‍රතිකාර ලබන තැනැත්තෙක්. දිගු කාලයක් බන්ධනාගාරගත වී සිටීම නිසා එම ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එමෙන් ම, සැකකරු රිමාන්ඞ් භාරයට පත්ව සිටීම නිසා ඔහුගේ එකොළොස් හැවිරිදි දියණිය දැඩි මානසික ආතතියකට ලක්ව සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා. සැකකරුගේ දොළොස් හැවිරිදි පුත්‍රයාගේත් ආතති තත්ත්වය උත්සන්න වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මධ්‍යස්ථ විශාද තත්ත්වයකට පත්ව තිබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කරන තිබෙනවා."

"එපමණක් නොව මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසා ඔහුගේ මවගේ මානසික තත්ත්වය ද ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බවත් සඳහන් කළ යුතු යි. මෙම සැකකරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් පත්වුණේ, 2019 වසරේ නොවැම්බර් මස 19 වන දා. 2022 වසරේ ජූලි මස 20 වන දා ඔහුගේ පත්වීම අවසන් වෙනවා. ඉන් පසුව යි ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ වශයෙන් පත්වීම් ලබන්නේ. ඒ තුළින් මෙම සැකකරු ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලැබූ බව පැමිණිල්ල විසින් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප වෙනවා."

ඒ අනුව මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරු ඕනෑ ම කොන්දේසියක් සහිතව ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

'සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි යි'

ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, " ස්වාමීනී... අද දින මෙම සැකකරුට ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කරුණු මීට පෙරත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණා. ඒවා සුවිශේෂී කරුණු සේ සැලකිය නොහැකි බව සඳහන් කරමින් ප්‍රතික්ෂේප කර ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එම නිසා අද දින ඉදිරිපත් කරන කරුණු සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි බව අධිකරණයට දැනුම් දෙනවා. මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ පොදු දේපළ පනත යටතේ. විමර්ශනවලදී නවතම කරුණු අනාවරණය වෙනවා. එම නිසා ඒ සම්බන්ධයෙනුත් වැඩිදුර විමර්ශන පැවැත්වීමට සිදුව තිබෙනවා," යනුවෙන් සඳහන් කළ විමර්ශන නිලධාරීහු සැකකරුගේ ඇප ඉල්ලීමට විරෝධය පළ කර සිටියහ.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය "මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ පොදු දේපළ පනත යටතේ. පොදු දේපළ පනතේ ප්‍රතිපාදන යටතේ සැකකරුවෙකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු යි. ඇප නියම කළ හැක්කේ සාමාන්‍ය තත්ත්වය යටතේ අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක පමණි. නමුත් සැකකරු වෙනුවෙන් අද දින ඉදිරිපත් කළ සැකකරුගේ රෝගී තත්ත්වයන්, ඔහුගේ දරුවන්ගේ සහ මවගේ රෝගී තත්ත්වයන් සාමාන්‍ය තත්ත්වය යටතේ අසාමාන්‍ය කරුණු ලෙස සැලකිය නොහැකි යි. සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේදී ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා," යනුවෙන් සඳහන් කළේ ය.

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද අධිකරණය සඳහන් කළේ ය.

සැකකාර සුගීශ්වර බණ්ඩාර ලබන 25 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද අධිකරණය නියම කර සිටියේ ය.