අකිල විරාජ් කාරියවසම්ට එරෙහි නඩුව: සැකකරුවෙකුගේ නීතිඥයෙක් අධිකරණයේදී හෙළි කළ කරුණු

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට එම කටයුතු සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් ඔහුට අයත් ඉන්ධන හලේ සේවකයෙකු අගෝස්තු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

මෙම පැමිණිල්ල අද (අගෝස්තු 21) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සැකකාර දීපාල් සංජීව රත්නායක නමැත්තා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

විමර්ශනවලදී අනාවරණය වූ කරුණු

නඩු විභාගයේදී අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවසූහ.

"ස්වාමීනී... මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් 2022 වසරේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත හා පරිපාලන) ලෙස පත්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම සැකකරු තාවකාලික පදනම යටතේ කළමනාකරන සහකාර වශයෙන් බඳවාගෙන තිබෙනවා.

"නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා මෙම සැකකරු පත් කර තිබුණත් ඔහු සේවය කර තිබුණේ සැකකාර හිටපු අමාත්‍යවරයාගේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලක. මෙම සැකකරු 2024 වසරේ පෙබරවාරි මස පළවන දා සිට 2024 වසරේ සැප්තැම්බර් මස 22 වන දා දක්වා එම තනතුරේ කටයුතු කර තිබෙනවා.

"ජනාධිපති ලේකම් කාර්යාලයට බඳවාගත් සේවකයෙකු එම ලේකම් කාර්යාලයේ ඇඟිලි සලකුණු තැබීම හා ලේඛනවලට අත්සන් තැබීම කළ යුතුයි. නමුත් මෙම සැකකරු අදාළ කාල සීමාව තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ එවැනි ඇඟිලි සලකුණු තැබීමක් හෝ ලේඛනවලට අත්සන් තැබීමක් කර නැහැ. නමුත් සේවය කළ කාල සීමාව තුළ ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ලබාගෙන තිබෙනවා."

තවදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසමේ නිලධාරීහු මෙසේ ද පැවසූහ.

"මේ සැකකරු සේවය කළ ඉන්ධන හලට ගොස් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කළා. දිවා විවේකය වෙනුවෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම නතර වූ කාල සීමාව තුළ මෙම සැකකරු විසින් පළමුවන සැකකාර අකිල විරාජ් කාරියවසම්ට දුරකතන ඇමතුම් පහක් ලබාගෙන තිබෙනවා. දුරකතන විස්තර වාර්තාවලින් ඒ බව තහවුරු වී තිබෙනවා.

"ඒ වගේ ම 2024 වසරේ පෙබරවාරි මස පළවන දා සහ 2024 වසරේ සැප්තැම්බර් මස 24 වන දා දක්වා කාල සමාව තුළ මෙම සැකකරු අවස්ථා 24කදී අදාළ ඉන්ධන හලේ මුදල් රැගෙන ගොස් බැංකුවලට තැන්පත් කර තිබෙනවා. මේ තුළින් පැහැදිලි වෙනවා මොහු මේ ඉන්ධන හලේ සේවය කර තිබෙන බවට.

"සැකකරු අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබා දී දින කීපයකින් දිවුරුම් ප්‍රකාශයක් රැගෙන කොමිසම හමුවට පැමිණියා. එම දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු ඔහුගේ මුල් ප්‍රකාශය හා සංසන්දනය කර බැලීමේදී සම්පූර්ණයෙන් ම පරස්පරයි. ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ ඔහු සඳහන් කර තිබෙනවා පළමුවන සැකකාර අකිල විරාජ් කාරියවසම්ගේ කාර්යාලයක් ඉන්ධන හල තුළ තිබුණු බවට.

"නමුත් ඔහුගේ මුල් ප්‍රකාශයේ ඔහු එවැන්නක් සඳහන් කළේ නෑ. මේ දිවුරුම් ප්‍රකාශය සකස් කර තිබෙන්නේ සිරිකොතේ සම්බන්ධීකරණ නිලධාරියෙක් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා."

ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කළහොත් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා සිදු විය හැකි හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

සැකකරුගේ නීතිඥවරයාගෙන් මැසිවිල්ලක්

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවසීය.

"ස්වාමීනී... මෙම සැකකරු අල්ලස් කොමිසමට කටඋත්තර ලබා දුන් අවස්ථාවේදී ඇතැම් වැදගත් දේවල් සඳහන් කළා. නමුත් කටඋත්තර සටහන් කර ගත් නිලධාරීන් ඒවාට ඉඩ ලබා දුන්නේ නෑ.

"ඒ නිසා ඔහු සඳහන් කළ ඇතැම් වැදගත් කරුණු එම ප්‍රකාශයේ ඇතුළත් වුණේ නැහැ. ඉන්පසුව ඔහු මේ පිළිබඳව නීති උපදෙස් ලබා ගත්තා. ඒ අනුවයි ඔහු දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ. එම දිවුරුම් ප්‍රකාශය තුළ අල්ලස් කොමිසමේ නිලධාරීන් සම්බන්ධයෙනුත් චෝදනා එල්ල කර තිබෙනවා. ඉතින් ඒවා සම්බන්ධයෙනුත් විමර්ශන සිදු කිරීම අවශ්‍යයි නේ ද?

"ස්වාමීනී... සැකකරුගේ බිරිඳ පසුගිය දා දරුවෙකු ප්‍රසූත කලා. දරුවා ඒ සමග ම මියගොස් තිබෙනවා. ඒ නිසා සැකකරුගේ බිරිඳ මෙන් ම සැකකරුත් දැඩි මානසික කම්පනයකට ලක්ව සිටිනවා. මෙම විමර්ශනය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත නොකර සිදු කළ හැකි විමර්ශනයක්."

ඒ අනුව මෙම සැකකරුට ඇප නියම කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඇප ප්‍රතික්ෂේප කරයි

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ, "මෙම සැකකරු අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශයට පටහැනි කරුණු පසුව ඉදිරිපත් කර තිබෙන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

"එමෙන් ම ප්‍රකාශ සටහන් කරගත් අතරවාරයේ මෙම සැකකරු හා පළමුවන සැකකාර අකිල විරාජ් කාරියවසම් අතර දුරකතන ඇමතුම් ගණනාවක් හුවමාරු වී තිබෙන බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

"මේ පිළිබඳ විමර්ශන සිදුකළ යුතුයි. එම තත්ත්වය යටතේ සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට මෙන් ම සාක්ෂිවලට බාධා සිදු විය හැකියි," යනුවෙනි.

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසීය.

අනතුරුව මෙම සැකකරු අගෝස්තු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියම කළේ ය.